Gossip

පාරවල් සහ පදික වේදිකා විෂබීජහරණය සාර්ථක ක්‍රමයක් නොවේ

විෂබීජහරණය සඳහා විවිධ රසායන ද්‍රව්‍ය ඉසීම (හෙවත් ස්ප්‍රේ කිරීම) මේ කාලයේ නිතර දකින්නට ලැබෙන්නකි. මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පසුගිය කාලයේ සාකච්ඡාවට ලක් වනු ද දක්නට ලැබිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබූ අතර ඔවුන් පවසන්නේ පාරවල්, පදික වේදිකා වැනි ස්ථානවල මේ ආකාරයෙන් විෂබීජහරණය සඳහා රසායන ද්‍රව්‍ය ඉසීම ප්‍රතිඵල රහිත ක්‍රියාවක් බවයි.

ප්‍රතිඵල රහිත වන අතරම එයින් හානිකර ප්‍රතිවිපාක ඇති විය හැකි බවටද ඔවුහු අනතුරු අඟවති.

පාරවල්, පදික වේදිකා වැනි එළිමහන් ස්ථානවල ඇති දුහුවිලි වැනි ද්‍රව්‍ය විසින් මෙම රසායන ද්‍රව්‍යවල ඇති බලය අක්‍රිය කරනු ලබන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

එමෙන්ම අදාළ ස්ථානයේ ඇති සියලු අහුමුළු ආවරණය කිරීමට මෙසේ ඉසින රසායන ද්‍රව්‍යවලට හැකියාවක් නැති බව ද, එමෙන්ම විෂබීජ විනාශ කිරීමට තරම් ප්‍රමාණවත් කාලයක් මෙම රසායන ද්‍රව්‍ය පෘෂ්ඨයන් මත රැඳී නොපවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රකාශයෙහි සඳහන්වේ.

අනික් අතට මෙම රසායන ද්‍රව්‍ය පරිසරයට මුසු වීමෙන් ජනතාවට වෙනත් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකි බව ඔවුහු පෙන්වා දෙති. මේ අතර එම සංවිධානය පවසන්නේ පාරවල්, පදික වේදිකා වැනි තැන් වෛරස ව්‍යාප්තියට උදව් වන ස්ථාන ලෙස නොසැලකෙන බවයි.

ගොඩනැගිලි ඇතුළත පෘෂ්ඨයන් මතට වුවද මෙවැනි රසායනිකයන් ඉසීම එතරම් සාර්ථක ක්‍රමයක් නොවන බව ද පෙන්වා දී තිබේ. ඔවුන් පවසන්නේ රෙදි කඩක් මෙවැනි රසායන ද්‍රව්‍යවලින් පොඟවා එයින් පෘෂ්ඨයන් පිස දැමීම වඩාත් සාර්ථක ක්‍රමයක් බවයි.

නව කොරෝනා වෛරසය කෙතරම් කාලයක් පෘෂ්ඨයන් මත රැඳී තිබෙනවා ද යන්න ගැන තවම නිශ්චිත අදහසක් නැත. පරීක්‍ෂණාගාර තුළ කරන ලද පරීක්‍ෂණවල දී අනාවරණය වී තිබුණේ ඇතැම් පෘෂ්ඨයන් මත එය දින කිහිපයක් රැඳී තිබිය හැකි බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!