Gossip

“පළමු රැකියාව ට්‍රැක්ටරයක රියදුරු. දෙවන රැකියාව බස් කොන්දොස්තර.” – වෙඩි කා මියගිය මාකඳුරේ මධූෂ්ගේ පැටිකිරිය

සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්‍ෂිත උපත ලබන්නේ 1979 වර්ෂයේ පෙබරවාරි 24 වැනිදාය. මාතපානාවත්ත ගතාර නැගෙනහිර කඹුරුපිටිය ග‍්‍රාමයේ හැදී වැඩුණු මධුෂ් කඹුරුපිටිය මහ විද්‍යාලයෙන් සහ නාරන්දෙණිය ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවේය.
මධුෂ්ගේ පියා සමරසිංහ ආරච්චිගේ ලක්‍ෂ්මන්ය. මව මාලනී සමරසිංහය. මධුෂ්ගේ මව 88/89 භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාකාරී සාමාජිකාවක වූවාය. එවකට ආරක්‍ෂක අංශ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් සොය සොයා ඝාතනය කරද්දී මධුෂ්ගේ මවද ඔවුන්ගේ ගොදුරක් බවට පත් වූවාය.
මධුෂ්ගේ මව 1989 වර්ෂයේ ජුලි 21 වැනිදා කඹුරුපිටිය ප‍්‍රදේශයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණ රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී එහි කඩා වැදුණු ආරක්‍ෂක අංශ සාමාජිකයන් පිරිසක් ඇයට වෙඩි තබා ඝාතනය කර තිබිණි.
ඒ වන විට මධුෂ් සිටියේ පාසල් යන වයසේය. සිය මවගේ හදිසි වියෝවෙන් මධුෂ් දැඩි ලෙස කම්පනයට පත්ව සිටියේය. මධුෂ් සිය වැඩිමහල් සොහොයුරිය සහ බාල සහෝදරයා සමග අසරණ වූවේය.
මධුෂ්ගේ පියා තම දරුවන්ට රැකවරණය දීමටවත් ඔවුන් හදාවඩා ගැනීමටවත් ඒ තරම් උනන්දුවක් දැක්වූයේ නැත.
මධුෂ් සිය සොහොයුරිය සහ බාල සොහොයුරා සමග හැදී වැඩුණේ කඹුරුපිටිය ගතාරේ පදිංචිව සිටි සිය ආච්චී සහ පුංචි අම්මාගේ සෙවණේය. මධුෂ්ට ඉගෙනීමේ හැකියාව තිබුණද ඉහළට ඉගෙන ගැනීමට වියදම් කරන්නට කිසිවකුත් සිටියේ නැත. ඒ නිසාම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමෙන් සහ මධුෂ් පාසල් අධ්‍යාපනය අතහැර දැම්මේය. එතැන් පටන් ජීවිතය ගැට ගසා ගැනීමේ සටනට උරදුන් මධුෂ් විවිධ රැකියා කරන්නට පටන් ගත්තේය.
මධුෂ්ගේ මුල්ම රැකියාව වුණේ කඹුරුපිටිය නගරයේ බස් නැවතුම් පළ අසල ට‍්‍රැක්ටර් රියැදුරකු ලෙස වැඩ කිරීමය. ට‍්‍රැක්ටර් රියැදුරු රැුකියාවෙන් එතරම් ආදායමක් ඔහුට ලැබුණේ නැත. පසුව රියැදුරු රැකියාව අතහැර දැමූ මධුෂ් සමන්තුරේ ප‍්‍රදේශයේ නිහාල් මෝටර්ස් ආයතනයේ රැකියාවක් කළේය. වැඩි කලක් ගත වන්නට පෙර ඒ රැකියාවද අතහැර දැමූ මධුෂ් පසුව රත්මලානේ පන්සල අසල අමරසිංහ මුදලාලිගේ වැලි ලොරියක රියැදුරකු ලෙස සේවය කරන්නට පටන් ගත්තේය.
මේ කාලසීමාව වන විට මධුෂ් පෙම්වතියක ඇසුරු කළේය. විජේතුංග ගමගේ දයානි මුතුමාලි නමැති තරුණිය සමග 1998 වර්ෂයේ දී විවාහ වූ මධුෂ් ඇය සමග කඹුරුපිටියේ පදිංචියට ආවේය. මධුෂ්ගේ බිරිඳ මුතුමාලිගේ මහ ගෙවල් තිබුණේ මාකඳුරේය. මධුෂ් සිය බිරිඳ සමග කඹුරුපිටියේ පදිංචියට ගියේ යහපත් පවුල් ජීවිතයක් ගත කරමින් සිටීමට සිහින මවමින්ය.
කඹුරුපිටිය-මාකඳුර බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ මධුෂ් ජීවිතය ජය ගන්නට වෙහෙස වුණේය. මේ බස් රථයේ කොන්දොස්තර වෘත්තිය කළේ කැලූම්ය. (පසු කලෙක මධුෂ්ගේ කල්ලියේ සමීපතමයකු වූයේ කැලූම් නොහොත් කැවුමාය.*
මේ අතර මධුෂ්ට මෙන්ම ඔහුගේ බිරිඳ මුතුමාලිට කඹුරුපිටිය රෝහලේ සාත්තු සේවක රැකියාව ලැබිණි. ප‍්‍රදේශයේ දේශපාලනඥයකුගේ සහාය ඇතිව ලැබුණු මේ රැුකියාව මධුෂ් සහ මුතුමාලි ඉතාම උනන්දුවෙන් කරගෙන ගියහ. ඒ වන විට දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූයේ ඩැනී හිත්තැටියගේ මහතාය.
ඩැනී හිත්තැටියගේ මුතුමාලිගේ දුරින් ඥාතියකු ද වූවේය. මධුෂ්ගේ පියාට අයත් ඉඩම් කීපයක් සම්බන්ධයෙන් දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටියගේ සමග කලක පටන් ආරවුලක් පැවතුණේය. මේ ආරවුල කෙළවර වන්නේ මිනීමැරුම් වැළක් සමගය. තමන්ට සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් මධුෂ් අවි අතට ගත්තේය. 2002 වර්ෂයේදී ඩැනී හිත්තැටියගේ මහතාගේ මස්සිනා වූ උපනන්ද නමැත්තා මධුෂ් විසින් වෙඩි තබා ඝාතනය කරන්නේ මේ ඉඩම් ආරවුල් මුල්කරගෙනය. උපනන්ද ඝාතනය මධුෂ් සිදුකළ මුල්ම අපරාධය ලෙස ඔහුගේ අපරාධ වාර්තා පොතට එක් වුණේය.
උපනන්ද මරා දැමීමෙන් පසු ගම්බිම් අතහැර දැමූ මධුෂ් රහසිගත ජීවිතයක් ගත කිරීමට පුරුදු වුණේය. පාතාල කණ්ඩායමක් සමග එක්වූ මධුෂ් රට පුරා ලීසිං ආයතන කොල්ල කමින් පොලිසියට කට්ටි පනිමින් විවිධ ප‍්‍රදේශවල සැඟවී සිටියේය. 2005 වර්ෂයේදී පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ එවකට ස්ථානාධිපතිවරයා වූ පි‍්‍රයන්ත ජයකොඩි මහතා විසින් මධුෂ් ඇතුළු කොල්ල කණ්ඩායමක් අත්අඩංගුවට ගත්තේය.
ඒ වන විට මධුෂ් කඹුරුපිටියේ මධුෂ් ලෙස පාතාල ලෝකයේ කූප‍්‍රකට චරිතයක් ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටියේය. මධුෂ් උපන් ගම කඹුරුපිටිය නිසා පාතාල ලෝකයේ ඔහු ප‍්‍රසිද්ධියට පත්ව සිටියේ කඹුරුපිටියේ මධුෂ් ලෙසය. එහෙත් පසු කලෙක මධුෂ් තම උපන්ගම අතහැර බිරිඳ සමග මාකඳුරේ පදිංචියට ගිය නිසා ඔහු මාකඳුරේ මධුෂ් ලෙස පාතාලයේ ප‍්‍රසිද්ධියට පත්වන්නට පටන් ගත්තේය.
පෑලියගොඩ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් මධුෂ් මීගමුව බන්ධනාගාරය තුළ රැුඳෙව්වේය. තම ජීවිතය විනාශ කර තමන් මිනීමරුවකු බවට පත්කළේ ඩැනී හිත්තැටියගේ මහතා විසින් බව කියමින් ඔහුට වෛර කළ මධුෂ් ඔහු ඝාතනය කිරීමට සැලසුම් කළේය. මීගමුව බන්ධනාගාරයේ සිට මධුෂ් මේ සැලසුම කි‍්‍රයාත්මක කළේ තම ගෝල බාලයන් දෙදෙනකු ඒ සඳහා යොදා ගනිමින්ය. 2006 වර්ෂයේ ජුනි මස 11 වැනිදා මාකඳුර නගරයේ පිහිටි ඩැනී හිත්තැටියගේ මහතාගේ නිවස ඉදිරිපිටදී මධුෂ්ගේ ගෝලයන් ඔහුට වෙඩි තබා ඝාතනය කරන්නේ මුළු රටම හෙල්ලූ අපරාධයක් බවට පත් කරමින්ය. මාකඳුරේ මධුෂ් එතැන් පටන් දිගට හරහට මිනී මරමින් කප්පම් ගනිමින් මංකොල්ල කමින් සිය අපරාධ චාරිකාව ආරම්භ කළේය. 2006 වර්ෂයේ ජුනි මස 29 වැනිදා පුද්ගලයකු ඝාතනය කිරීම, මාරවිල ප‍්‍රදේශයේදී තවත් අයකුට වෙඩි තබා ඝාතනය කිරීම, 2015 වර්ෂයේ සැප්තැම්බර් 16 වැනිදා මාතර රෝහල ඉදිරිපිටදී ඉන්ද්‍රජිත් ජයවර්ධන යන අයට වෙඩඩි තබා ඝාතනය කිරීම මධුෂ්ට එරෙහිව එල්ලවී තිබූ චෝදනාවන්ය. මේ ඝාතනවලට අමතරව මදුෂ් සිය
ගෝලබාලයන් යොදවා සිදුකළ මිනිස් ඝාතනය කොයි තරම් දැයි කිව නොහකි තරම්ය. මධුෂ් ඇතුළු පාතාල කල්ලිය විසින් සිදුකළ කොල්ලකෑම් ප‍්‍රමාණයද අති විශාලය. මාතර නගරයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් දසලක්‍ෂයක් කොල්ලකෑම, මීගමුව ගම්පහ නගරවල ලීසිං ආයතන කොල්ලකෑම, කෙසෙල්වත්තේ පිහිටි වයඹ සංවර්ධන බැංකුව කොල්ල කෑම, තිහගොඩ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියනයක් කොල්ල කෑම මධුෂ් සිදුකළ කොල්ලකෑම්වලින් කිිහිපයකි.
මේ අතර අලූත්ගමදී පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම, මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල සගයන් විසින් සිදුකළේ කොන්ත‍්‍රාත්තුවක් මතයි. තම විරුද්ධවාදී පාතාල කල්ලි මර්දනය කරමින් දකුණේ පාතාලයේ කෙරුම්කාරයා වීමට සිහින දකිමින් සිටි මධුෂ් ප‍්‍රතිවාදීන් එකා දෙන්නා විනාශ කරන්නට පටන් ගත්තේය. මේ අතර මහා පරිමාණ හෙරොයින් ජාවාරමට සම්බන්ධ වූ මධුෂ් රුපියල් කෝටි ගණනක් වටිනා හෙරොයින් තොග මෙරටට ගෙන්වමින් මුළු රටම කුඩු පුරයක් කරන්නට පටන් ගත්තේය.
සිය ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලි නායකයන් වූ
කොස්ගොඩ සුජීගේ කල්ලිය, ගොත අසංකගේ කල්ලිය, ගණේමුල්ලේ සංජීවගේ කල්ලිය, පොඩි සුරේෂ්ගේ කල්ලියේ සාමාජිකයන් මරා දමමින් මාකඳුරේ මධුෂ් සිය පාතාල ආධිපත්‍යය පතුරුවා හරින්නට වුණේය. මේ අතර අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලිය මෙන්ම මාළිගාවත්තේ කංජිපාන ඉම්රාන්ගේ කල්ලිය මෙන්ම රත්මලානේ රොහාගේ කල්ලිය සමග සමීප සබඳතා පැවැත්වූ මාකඳුරේ මධුෂ් ඔවුන්ගේ ද සහාය ඇතිව මහා පරිමාණ හෙරොයින් ජාවාරම් ජයටම කරගෙන ගියේය.
කිසියම් දිනක මෙරට පාතාලයේ ගෝර්ඞ් ෆාදර් ලෙස කිරුළ පැළඳීමට සිහින මවමින් සිටි මාකඳුරේ මධුෂ් තමන්ට තර්ජනයක් විය හැකි සියලූම පාතාල කල්ලි මර්දනය කරන්නට පටන් ගත්තේය.
මේ අතර ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලිවලින් මෙන්ම ආරක්‍ෂක අංශවලින්ද මධුෂ්ට දැඩි ලෙස ජීවිත තර්ජන එල්ලවී තිබුණේය. ඒ නිසාම මාකඳුරේ මධුෂ් රටින් පළාගොස් සිය මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන යන්නට සැලසුම් කළේය. මධුෂ් හොර රහසේම ගුවන්තොටුපළ හරහා ඉන්දියාවට පළා යන්නට උත්සාහ කරද්දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායකදී අත්අඩංගුවට ගත්තේය. මාස කීපයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මධුෂ් බන්ධනාගාර ගත කෙරිණි. රටින් පළා ගොස් ඩුබායි හෝ ඉන්දියාවේ සිට මෙරට පාතාලය පාලනය කිරීමේ මධුෂ්ගේ සිහිනය බොඳවී තිබුණේ නැත. ඇපමත නිදහස ලැබීමෙන් පසු මධුෂ් නැවතත් රටින් පළා යෑමට සැලසුම් කළේය.
දෙවනවර මධුෂ් ගත් උත්සාහය සාර්ථක වුණේය. මුලින්ම ඉන්දියාවට පළා ගිය මධුෂ් පසුව ඩුබායි රාජ්‍යයට අතුළු වුණේය. ඒ වන විට ඩුබායි රාජ්‍යයේ සිටි මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කාරයන් කීප දෙනකුම මධුෂ් සමග සමීප සම්බන්ධතා පවත්වමින් සිටියහ. ඔවුන් සියලූ දෙනාම මධුෂ්ට රැකවරණය ලබාදීමට ඉදිරිපත් වූහ. එතැන් සිට සිය දෙවැනි මෙහෙයුම ආරම්භ කළ මධුෂ් මෙරට පාතාලය පාලනය කිරීමේ සියලූ බලතල තමන් අතට ගත්තේය. පාතාලය මෙන්ම හෙරොයින් ජාවාරමද මෙහෙයවීමට පටන් ගත් මාකඳුරේ මධුෂ් තමන්ට එරෙහි වන ඕනෑම අයකු දෙවරක් නොසිතාම මරා දැමීමට කටයුතු කළේය.
ඒ වන විට මධුෂ්ගේ පාතාල කල්ලියේ මහමොළකරු බවට පත්ව සිටියේ ඩුබායි දේශයේම රැුඳී සිටි කංචිපානි ඉම්රාන්ය. කංජිපානි ඉම්රාන්ගේ ද සහාය ලබාගෙන මධුෂ් මත්ද්‍රව්‍ය ටොන් ගණනින් ශී‍්‍ර ලංකාවට එවීමට කටයුතු කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම හරහා ඉපයූ රුපියල් කෝටි ප‍්‍රකෝටි ගණන් මුදල් අත දිගහැර වියදම් කළ මධුෂ් ඩුබායි රාජ්‍යයේ අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නට පටන් ගත්තේය. ඒ වන විට කළු තුෂාර නමැති පාතාල නායකයා බන්ධනාගාර කැරැුල්ලට මැදිවී පොලිස් වෙඩි ප‍්‍රහාරයකින් මරු වැළඳගෙන සිටියේය. කළු තුෂාරගේ සුරූපී බිරිඳ ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගත් මධුෂ් ඇය සිය අඹුව කර ගත්තේය. මධුෂ්ගේ නීත්‍යනුකූල බිරිඳ මෙන්ම ආබාධිත දරුවා සිටියේ මාකඳුරේය. ආබාධිත දරුවාට ප‍්‍රතිකාර කිරීම සඳහා බිරිඳ සමග ඔහු සිංගප්පූරුවට ගියේය. සිංගප්පූරුවට ගොස් ප‍්‍රතිකාර ගැනීමෙන් පසු මධුෂ් සිය දරුවා සහ බිරිඳ ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගත්තේය. මධුෂ් තම ආබාධිත දරුවාට අසීමිතව ආදරය කළේය. දරුවා තමන් විසින් හදා වඩා ගන්නා බව කියමින් මධුෂ් තම නීත්‍යානුකූල බිරිඳ ආපසු හිස් අතින් ශී‍්‍ර ලංකාවට එවීමට කටයුතු කළේය.
මාකඳුරේ මධුෂ් නමැති පාතාල මැරයා ඩුබායි රාජ්‍යයේ සිට සිදුකළ අපරාධ රාශියක් මුළු රටම පාතාල භීතියෙන් සලිත කරවීමට සමත්වූ ඇතැම් අපරාධ ඉතාම මිලේච්ඡුය. සිය ප‍්‍රතිවාදී පාතාල නායකයකු වූ රණාලේ සමයං කලූතර බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත ගෙන යද්දී ඔහු ඝාතනය කිරීමේ සැලසුමේ නියමුවා වුණේ මධුෂ්ය. අංගොඩ ලොක්කා යොදාගනිමින් කළුතර එතනමඩලදී බන්ධනාගාර බස් රථයට ප‍්‍රහාර එල්ල කිරීමට මධුෂ් සැලසුම් කළේය. මේ ප‍්‍රහාරයෙන් රණාලේ සමයං ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකුට ජීවිත අහිමි විය. පාතාලයට පමණක් නොව පොලිස් නිලධාරීන්ටද මධුෂ් මරණීය තර්ජන එල්ල කළේය. මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු වූ නියොමාල් රංගජීව මහතාට පිළියන්දලදී වෙඩි තබා බරපතළ තුවාල කළේ මාකඳුරේ මධුෂ් සිය ගෝල බාලයන් යොදා ගනිමින්ය.
මෙම ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරියකු මෙන්ම මහමග ගමන් ගත් අහිංසක දැරියකද ජීවිතක්‍ෂයට පත්වූහ. මහරගම ඇරැුව්වල ප‍්‍රදේශයේ ධනවත් මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට තම කල්ලියේ සාමාජිකයන් පිරිසක් යවා ඔහු සතුව තිබූ රුපියල් කෝටි 800 ක් පමණ වටිනා දියමන්තියක් කොල්ල කෑමට මාකඳුරේ මධුෂ් කටයුතු කළේය.
මේ දියමන්තිය ඩුබායි දේශයට ගෙන්වා ගැනීමට මධුෂ් අවස්ථා කීපයකදීම උත්සාහ කළද එය ව්‍යාර්ථ වී තිබුණේය. අවසානයේදී ඒ දියමන්තිය මධුෂ්ගේ කල්ලියේ හොඳම ගෝලයා ලෙස සිටි කැලූම් නොහොත් කැවුමා සතුව තිබී පොලිසිය අත්අඩංගුවට ගත්තේය. මධුෂ්ගේ නියෝග මත කොස් මල්ලී පැහැරගත් පාතාල සගයන් ඔහු අඟුණකොලපැලැස්සට රැුගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළේය. පසුව මධුෂ්ගේ නියෝග මත කොස් මල්ලීගේ කඳෙන් වෙන් කළ හිස කොටස අලූත්කඬේ අධිකරණ සංකීර්ණය අසලට ගෙනැවිත් දමන්නට පාතාල මැරයන් කටයුතු කළහ. මේ ඝාතනය මෑත ඉතිහාසයේ පාතාලයෙන් වාර්තා වූ ඉතාම මිලේච්ඡු සිදුවීම විය.
මෙරට පාතාලය පාලනය කරමින් මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ යෙදෙමින් අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටි මදුෂ් අවසානයේ ඩුබායි පොලිසියට කොටු වුණේය. ඩුබායි පොලිසිය හෝටලයට කඩා වැදී මාකඳුරේ මධුෂ් ඇතුළු ගෝල බාලයන් සියලූ දෙනා අත්අඩංගුවට ගත්හ. මාස කීපයක් තිස්සේ ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවූ මධුෂ් ඇතුළු පිරිස
ශ්‍රී ලංකාවට භාර දීමට ඩුබායි රජය කටයුතු කර තිබුණේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් ඩුබායි රාජ්‍යය වෙත ගොස් මධුෂ් රැුගෙන ආහ. එතැන් පටන් මධුෂ් වසර එකහමාරකට ආසන්න කාලයක් ගත කළේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේය. මාකඳුරේ මධුෂ්ගේ ජීවිතයේ අවසාන කාලය කෙමින් කෙමින් ළඟා වෙමින් තිබුණේය. වසර විස්සකට ආසන්න කාලයක් තිස්සේ මධුෂ් සිදුකළ අපරාධ ප‍්‍රමාණය කොතෙක්දැයි කිව නොහැකි තරම්ය. හෙරොයින් ටොන් ගණනින් මේ පුංචි රටට එවමින් රටේ අහිංසක තරුණ පරපුර විනාශ කර දැමුවේය.
අහිංසක තාත්තලා සිය ගණනක් ඝාතනය කර තම පියාගේ අවමගුලට හෙලිකොප්ටරයක් යවා අහසින් මල් ඉසීමට මධුෂ් කටයුතු කර තිබුණේය. දරුණු අපරාධ කරමින් මුළු රටම භීතියට පත් කරගෙන සිටි මාකඳුරේ මධුෂ්ට මරණයේ අමිහිරි අත්දැකීමට මුහුණ දෙන්නට සිදුවුණේය. අපරාධ කරමින් ජීවිත විනාශ කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් මෙරට තරුණ කැළ විනාශ කරමින් රජවන්නට සිහින දකින පාතාලයේ අනෙකුත් අපරාධකාරයන්ටද මාකඳුරේ මධුෂ්ගේ මරණය හොඳ පාඩමක් වනු නොවනුමානය. කඹුරුපිටිය ගතාර ගමෙන් ආරම්භ වූ මාකඳුරේ මධුෂ්ගේ අපරාධ චාරිකාව මාළිගාවත්ත මහල් නිවාසයක් ඉදිරිපිට සිමෙන්ති පොළව මතින් නිමා වුණේය.

හේමන්ත රන්දුණු
දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!