Gossip

”නැබ්බියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ” ” 2025 වසර වනතෙක් දේශපාලනඥයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට නව වාහන මිලදී ගැනීම තහනම් ”

කොරෝනා වෛරසය හේතුවෙන් බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීම සඳහා 2025 වසර වනතෙක් දේශපාලනඥයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට නව වාහන මිලදී ගැනීම තහනම් කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබේ. මෙම තහනම් මගින් රජයට වසර පහ තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් ඉතිරිකර ගත හැකි වනු අතර, එම මුදල රටේ සෞඛ්‍යය සහ ආර්ථිකය නැංවීමට යොදා ගැනීමට නියමිතය. මීට අමතරව දේශපාලනඥයන්ට නොමිලේ ලබාදෙන මාසික ඉන්ධන කෝටාව සීමා කිරීමටද ජනාධිපතිවරයා තීරණය කර තිබේ. මෙම නීතිය ඉතා තදින් ක‍්‍රියාත්මක වන බැවින් ඉදිරි වසර පහ ඇතුළත කිසිදු රජයේ ඇමැතිවරයකුට, රාජ්‍ය නිලධාරියකුට රජයේ මුදලින් නව මෝටර් රථ මිලදී ගැනීම සපුරා තහනම් වේ.

මෙම නිවේදනය අසා ශ‍්‍රී ලාංකික පුරවැසියන් කළබලයට පත් විය යුතු නැත. මන්ද මෙය ශ‍්‍රී ලංකා රජයේ නිවේදනයක් නොව අප‍්‍රිකානු රටක් වන නැමීබියා රජය විසින් පසුගියදා ගන්නා ලද තීන්දුවකි. කොරෝනා වෛරසයෙන් විනාශ වු ආර්ථිකය ගොඩගැනීම සදහා නැමීබියා රජයේ ජනාධිපති හේග් ගොට්ෆ‍්‍රයිඞ් ගයන්ගොබ් රැඩිකල් ප‍්‍රතිසංස්කරණ රැසක් ක‍්‍රියාත්මක කරමින් සිටින අතර මෙය ඔහුගේ තවත් එක් තීන්දුවක් පමණි. මිලියන 2.5 ක ජනගහනයකින් සමන්විත නැමීබියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය 16 දෙනකු වන අතර, කිසිදු මරණයක් වාර්තා වී නොමැත. වෛරසයෙන් එරට ජනතාවට එතරම් බලපෑමක් එල්ල නොවුවද රටේ සාමාන්‍ය කටයුතු ඇණහිටීම හේතුවෙන් ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ.

නැම්බියාවේ පමණක් නොව සමස්ත ගෝලයේම ආර්ථිකය මේ වන විට කොරෝනා වෛරසය විසින් හකුළුවා (Shrink) තිබේ. වර්තමාන ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයද 80 දශකයේ පැවති ආර්ථිකය මට්ටමට පල්ලම් බසිනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMP)  දැනටමත් පුරෝකථනය කර තිබේ. එම නිසා රටේ ආර්ථිකය කඩා වැටීම නතර කිරීම කෙසේ වෙතත් එය කඩා වැටෙන වේගය අඩු කිරීමට හෝ රැඩිකල් රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ සිදු විය යුතුමය. නමුත් රටේ පුරවැසියන්ගේ අවාසනාවට එවැනි ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක වන බවක් පෙනෙන්නට වත් නැත.

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වෙන පරිදි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ වැටුප රු.54,285කි. මීට රුපියල් 1,000ක සංග‍්‍රහ දීමනාවක්ද, රු.3,500ක රියැදුරු දීමනාවක්ද, (රියදුරු දීමනාව ගෙවනු ලබන්නේ රජයෙන් වැටුප් ලබන රියදුරෙක් නොමැති නම් පමණි), ස්ථාවර දුරකථන හා ජංගම දුරකථන සඳහා මාසිකව රු.50,000ක්ද, පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් 04 දෙනෙක් කාර්යාලයට පැමිණීම වෙනුවෙන් එක් ‍‍අයෙක් සඳහා රු.2,500 බැගින් මාසිකව රු. 10,000ක්ද, සෑම මන්ත‍්‍රීවරයෙකුටම වාර්ෂිකව රු.350,000ක් වටිනා මුද්දරද, මන්ත‍්‍රීවරයා තේරී පත් වූ දිස්ත‍්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කරමින් ඞීසල් ඉන්ධන දීමනාවක්ද (උදා: කොළඹ – ලී‍ටර් 283.94, ගම්පහ සහ කළුතර – ලී‍ටර් 355.58), සෑම මන්ත‍්‍රීවරයකුට කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රු.100,000ක දීමනාවක්ද, පාර්ලිමේන්තු පැමිණීම වෙනුවෙන් දිනකට රු.2,500ක දීමනාවක්ද, කාරක සභා සදහා සහභාගී වීම වෙනුවෙන් දිනකට රු. 2,500ක දීමනාවක්ද, සෑම මන්ත‍්‍රීවරයකුට තීරු බදු රහිත වාහන බලපත‍්‍රයක්ද හිමි වේ. මෙම බලපත‍්‍රය වෙළෙඳ පොළේ රුපියල් කෝටි දෙකකට පමණ විකිණේ. දින හයක් පාර්ලිමේන්තු පැමිණ මෙම දීමනාව හිමි වූ වාසනාවන්තයා වූයේ සමන් රත්නප‍්‍රිය මහතාය. මෙම සියලූ දීමනා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 දෙනාටම සමසේ බෙදී යනු ලැබේ.

රටේ ආර්ථිකය දිනෙන් දින ඉතා දිළිදුභාවට පත්වෙමින් තිබියදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට නඩත්තු කිරීමේ දීමනා වාර්ෂිකව ඉහළ දමන ලෝකයේ එකම රට ශ‍්‍රී ලංකාව විය හැක. මේ මොහොත වනවිට රටේ ජාතික අදායමෙන් 84%ක් වැය වන්නේ ණය ගෙවීම සදහාය. කොරෝනා වසංගතය හේතුවෙන් ඇගලූම් අපනයනයෙන් ලැබෙන අදායම 60%කින් පහළ බැස තිබේ. සංචාරක කර්මාන්තයෙන් අදායමක් ලැබෙන්නේම නැත. රටට විශාල බදු ආදායමක් සහ විදේශ විනිමයක් උපයා දුන් පෞද්ගලික කර්මාන්ත ශාලා 60%ක් පමණ තවම ක‍්‍රියාත්මක කර නැත. පෞද්ගලික සේවකයන්ගේ රැකියා අනතුරේය. රටේ ආර්ථිකය මෙවැනි අවදානමකට පත්ව තිබියදී රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ සදහා ආණ්ඩුව මැදිහත් වන බවක් පෙනෙන්නට නැත. හිටපු ඇමැති සී.බී. රත්නායක පසුගියදා මාධ්‍යට පැවසුවේ ආර්ථිකය ගොඩගැනීම සදහා දකුණු කොරියානු ජනයා තම කණකර රජයට දුන් බවත්, ලංකාවේ ජනතාවටද එම දේශමාමකත්වය තිබිය යුතු බවය. ආණ්ඩුවේ හිටපු ඇමැතිවරු මෙවැනි කතා ජනතාවට කියන්නේ වගකීමෙන්ද? මේ මොහොතේ අවශ්‍ය වන්නේ මෙවැනි

”ජෝක්” නොව ආර්ථිකය ගොඩගැනීමේ රැඩිකල් ප‍්‍රතිසංස්කරණය කඩිනමින් ක‍්‍රියාවට නැංවීමය. එය ආණ්ඩුවේ ඉහළ සිට පහළට ක‍්‍රියාත්මක විය යුතුය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!