Gossip

දෙසැම්බර් 21න් පසු, පේෂලගේ ජීවිතයට සිදුවන වෙනස මෙන්න

ඔහු විටෙක කටකාරයෙකි. විවිධ කතාවලින් හිනස්සන්නෙකි. ඒ සියල්ල ම අබිබවා සංගීතය ඉදිරියේදි, ඉතා සංයමයකින් යුතු ඉතාමත් දක්ෂයෙකි. දෙරණ නාළිකාවේ පේෂල ගැන නොදන්නෙක් නැත.
මේ ඔහු‍ගේ අපි නොදන්නා පැතිකඩය.

සංගීත ක්ෂේත්‍රය තුළ ලොකු වෙනසක් කරන්න සූදානම් වෙනවා කියලා ආරංචියි. මොකක්ද මේ වෙනස?
දෙසැම්බර් 21 දා, “Peshala with Live in Concert” කියලා ප්‍රසංගයක් කරන්න සූදානම් වෙනවා. Classical සහ Fusion සංගීත ආභාසයත් මා කළ මුද්‍රා නාට්‍ය සංගීතයත් එකතු කරගෙන තමයි මේ වැඩේ කරන්නේ. මෙතනදි මගේ ගුරු ඔස්ටා ඩිල්මාස් ස‍ුසේන් ඛාන් වගේම ජනප්‍රිය සිතාර් වාදකයකු වන ශාකීර් ඛාන් සම්බන්ධ වෙනවා. ‘Live in Concert’ කිව්වම ලංකාවේ වෙනම දෙයක් සිද්ධ වෙන්නේ. එතනින් මිදිලා Classical සංගීතය පැත්තෙන් වෙනසක් කරන්න අවශ්‍යයි කියන තැන ඉඳගෙන තමයි මේ වගේ දෙයක් කරන්නේ. ඉන්දියාවෙදි අධ්‍යාපනය අරගෙන මේ තුළින් රටට, සමාජයට සහ Classical සංගීතය හදාරා නිහඬව ඉන්න අයටත්, මේ Concert එක තුළින් යම්කිසි සාධාරණයක් මෙන්ම, හොඳ වෙ‍ළෙඳ වටිනාකමක් සහ සංගීතයට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට හොඳ අත්දැකීමක් දීම තමයි ප්‍රධාන අරමුණ.

මෙහිදී විශේෂයෙන් ම මතක් කළ යුතු අය කවුද?
චන්දන වික්‍රමසිංහ, මහේෂ් දෙණිපිටිය, රඛිත, ජනනාත් වරකාගොඩ වගේම දෙරණ ආයතනයත්, මගේ ගුරු ඔස්ටා ඩිල්මාස් සුසේන් ඛාන් සහ ‍ශාකිර් ඛාන් අයවත් විශේෂයෙන්ම මතක් කළ යුතුයි.

ගෘහස්ථ සහ එළිමහන් ප්‍රසංග කලාව තුළදි හඬ ඉස්මතු වීමත්, ඔබගේ ප්‍රසංගය (රාගධාරි) සංගීතය හරහා වාදනයේ සියුම් තැන් ඉස්මතු වීමත්, ප්‍රේක්ෂකයා කොයි ආකාරයට වැලඳගනීවිද?
සාමාන්‍ය ප්‍රසංගයකදි වඩා මෙතනදි විශේෂයක් තියෙනවා. වාදනයේ සියුම් තැන් සජීවීව දැක බලා ගැනීම හරහා කොයි තරම් මේ සඳහා කැපවීමක් තියෙනවද කියලා තේරුම් ගන්න පුළුවනි.
මීට කලින් මෙවැනි ප්‍රසංග කළත් එය ප්‍රේක්ෂකයාට ආකර්ෂණය වුණේ නැහැ වගේ හැඟීමක් මට තියෙන්නේ. නමුත් මේ ප්‍රසංගය හරහා වෙනසක් සිදුවෙයි කියලා මම විශ්වාස කරනවා.

වර්තමානයේ දකින්න ලැබෙන සංගීත රැල්ලට පැවැත්මක් නැහැ. ක්ෂේත්‍රයේ ඇසුරත් එක්ක, එය පේෂලට දැනෙන්නේ කොහොමද?
කලාව කිරීමේදී කැපවීමක්, ඉවසීමක් මෙන්ම, හොඳ සංයමයක් තිබිය යුතුයි. ගුරුවරයකු ළඟ ඉගෙන ගෙන පැවැත්මක් ඇති දෙයක් කළ යුතුයි.
Classical සංගීතය ජාත්‍යන්තර මට්ටමට පවා ගෙන යා හැකිය. ලංකාව ගත්තොත්. අපේ රටේ සංස්කෘතිය මෙන්ම, සංගීත ආභාසයත් සමඟ වෙනස් ම දෙයක් නිර්මාණය කරන්න පුළුවනි. ඉතින් මම උත්සාහ කරන්නේ මේ හරහා අධ්‍යාපනික වටිනාකමක් සමඟ වෙනසක් කරන්න.
ලංකාවට මෙය අලුත් අත්දැකීමක් වූවාට ජාත්‍යන්තර වශයෙන් Classical Music හරිම ප්‍රබලයි වගේම ජනප්‍රියයි. ඕනම දෙයක් හොඳින් ප්‍රගුණ කළොත් ඉතා හොඳ පැවැත්මක් තියෙනවා.

ඔබ ඉතාමත් දක්ෂයෙක්. තබ්ලාවෙන් පටන් ගෙන,වර්තමානයේ සංගීත් නිපුන් පේෂල මනෝජ් දක්වා ආ ගමන කොහොමද?
මම මුලින්ම පී.වී නන්දසිරි ගුරුතුමා හරහා මූලික අඩිතාලම ගෙන, ඔහුගේ අනුදැනුම ඇතිව ඉන්දියාවේ ලක්නව් ගුරුකුලයට ඇතුළු වුණා.
එහිදි ඔස්ටා ඩිල්මාස් හුසෙන් කාන් ගුරුතුමා යටතේ ඉගෙන ගන්න ගමන් භාත්ඛණ්ඩය, master of performing Arts, සංගීත් නිපුන් අවසන් කළා. හින්දුස්ථානි සංගීතය හදාරන විට ගුරුවරයා සමඟ හොඳ සම්බන්ධයක් තිබිය යුතුයි. එතනදි තමයි, විෂයය හොඳින් අධ්‍යයනය කළ හැක්කේ. එය පිහිටන්නේ. මේ සියල්ලම හොඳින් අවසන් කර ලංකාවට 2009 අවසාන කාලයෙදි ආවා. මට 2010 වසරෙදි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ රැකියාව ලැබුණා. චන්දන අයියා මාර්ගයෙන් දෙරණ Little Star හරහා සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. මුලින්ම එම තරගයේ විනිශ්චය සඳහා සහභාගි වී පසුව අහම්බෙන් නිවේදකයකුත් වෙන්න ලැබණා. ඒ නිසා මාව ජනප්‍රිය වුණා. “Little Star’ නිසා ගොඩක් අය මාව අඳුනගත්තා.ඒ ගැන මට සතුටුයි.

පූර්ණ අධ්‍යාපනයකින් පසු ලංකාවට ඇවිත් හරියටම අවුරුදු 9කට පසු “Peshala with Live in Concert” කියන්නෙ සංගීත් නිපුන් පේෂල මනෝජ්ව එළි දැක්වීමක් කිව්වොත් හරි නේද?
ඇත්තටම ඒ කතාව හරි. 2009 ලංකාවට ඇවිත් මා ලද දෙයින් යමක් කරන්න, සුදුසු වාතාවරණයක් තිබුණේ නැහැ.
අහම්බෙන් වෙනත් පැත්තකට යොමු වෙලා. මට මාව හඳුනාගන්න අවස්ථාව උදා වුණා. ඉතින් ප්‍රගුණ කරපු දෙයින් සංගීතයට යමක් කිරීමට හොඳම අවස්ථාව මේක කියලා මම හිතන්නේ. අනෙක් විශේෂ කාරණාව වන්නෙ ඉන්දු ශ්‍රී ලංකා ෆවුන්ඩේෂන් හා පේෂ්කාර ඇකඩමි යන දෙකේම සහභාගීත්වයෙන් තමයි Peshala with Live in Concert පවත්වන්නේ.

පසුගිය දවස්වල ‘ගොසිප්’ අතර පේෂලගේ නමත් කියවුණා. ඒ කතාවල ඇත්ත නැත්ත ගැනත් මතක් කරමුද?
“ගොසිප්” එකකින් කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න බැහැ. හිතට එකඟව යමක් කරනවා නම්, ඔය දේවල් අදාළ නැහැ. ගොඩක් වෙලාවට වෙළෙඳපොළ හදා ගැනීමට ‘ගොසිප්’ එකක් හදා ගන්නවා. නමුත් මට ඒක අදාළ නැහැ. තමන්ට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා නම්, ඒ දක්ෂකම කවදහරි ඉබේ මතු වෙලා හැමෝම දන්න චරිතයක් වෙනවා.

පවුලේ විස්තර මොනවද?
අම්මයි – තාත්තයි – මල්ලියි තමයි පවුලේ ඉන්නේ. මගේ අධ්‍යාපන කාලය තුළ මල්ලි තමයි සියලුම විදයම් දැරුවේ.

සංගීත ලෝකයේ වෙනසත් එක්කම පේෂලගේ ජීවිතයේ වෙනසක් වෙයිද?
ඔව්; ලබන වසරේ ගොඩක් දේවල් වෙනස් වෙයි. ඒ පිළිබඳව ඉදිරියේදි කියන්නම්.

පේෂලට ආදරය කරන අයට මොනවද කියන්න තියෙන්නේ?
සියලුම දෙනාටම දෙසැම්බර් 21දා සවස 3.30ට කොළඹ බිෂොප් ශ්‍රවණාගාරයේ පවත්වන ‘Peshala with Live in Concert’ වලට ආරාධනා කරනවා. මේක ඇත්තටම Classical Musicවල හඳුන්වාදීමේ ප්‍රසංගයක්. ඉතින් ඇවිත් මේ වෙනස විඳගන්න කියලා මගේ ආදරණීය රසික රසිකාවන්ට ආරාධනා කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!