Gossip

“දෑත බඳලා මන්න පිහියෙන් හිස මුදුනට පාරක් ගැහුවා. ඒ පාරෙන් ඔළුව දෙබෑ වෙලා එතැනම මැරිලා වැටුණා”

ගැටවර විය යනු බොහෝ දේ සිතට මෙන්ම ගතට ද දැනෙන එහෙත් ඒ මොනවාදැයි හරිහැටි නොවැටහෙන, එබැවින් ඒවා සොයා යාමට පෙළඹෙන වයස් සීමාවය.
විරුද්ධ ලිංගිකයන් කෙරෙහි දැඩි ආකර්ශනයක් ඇතිවනවා මෙන්ම ඔවුන් සමඟ සමීප ඇසුරකට පෙළඹීම සඳහා සිත දැඩිලෙස මානබලන්නේ ගැටවර වියේදීය. එහෙත් සමන්රත්න එලෙස ආශා පසුපස යාමට පෙළඹුණේ නැත.
දකුණු පළාතේ ධීවර පවුලක උපන් සමන්රත්න ගැටවර වියට එළැඹෙද්දී දිනක් මුහුදු ගිය පියා යළි ගොඩබිමට ආවේ නැත.
දින සති මාස ගණන් ගෙවී යද්දී පියා ගේ අඩුව පිරිමසන්නට සිදු වුයේ සමන්රත්නටය. මව, බාල සහෝදරයා සහ සහෝදරියගේ බර කරට ගත් සමන්රත්න පියා ගිය අඩි පාරේ යමින් මුහුදු රස්සාවට අවතීර්ණය වුයේ යාන්තම් වයස අවුරුදු දහ අට සපිරෙද්දීය.
මෙලෙස වසරක් දෙකක් ගෙවී ගියේය. දැන් සමන්රත්න රැකියාව පිළිබඳ දැනුම් තේරුම් ඇති ධීවරයෙකි.
ඔහු හා බෝට්ටුවේ රස්සාවට යන කිහිප දෙනා සමන්රත්නගේ හොඳ මිතුරන් බවට ද පත්ව තිබිණි.
ඔවුන් අතර සිටි “රත්තා” එතරම් හොඳ චරිතයක් නොවන බව සමන්රත්නට වැටහී තිබිණි. රැකියාව නිමකර ගොඩබිමට එන “රත්තා” ඊළඟට කරන්නේ කසිප්පු තිප්පොළකට රිංගීමය.
හම්බකරගත් මුදලින් අඩකට වඩා වැයකොට කසිප්පු බොන මොහු ඉන් අනතුරුව නිවෙසට යන්නේ අතරමඟ දී හමුවන කාන්තාවන් දෙස කෑදර බැලුම් හෙළමින් හා අමු තිත්ත කුණුහරුප කතා කියමින් වචනයෙන් ඔවුන් හා ලිංගික ක්‍රියාවලියේ යෙදෙමිනි. ඒ වන විට “රත්නා” ගේ වයස අවුරුදු විසි එකක් පමණ වන්නට ඇත.
මෙලෙස කල් ගතවෙද් දී සමන්රත්නගේ එකම නැගණිය පිරිපුන් තරුණියක් බවට පරිවර්ථනය වෙමින් සිටියාය.
ගමේ පාසලේ එකොළහ වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ඇය දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා දැඩි උනන්දුවකින් ඉගෙනීම් කටයුතු කරගෙන යාමට වගබලා ගත්තාය.
එක් සෙනසුරාදා දිනයක සමන්රත්න මුහුදු රස්සාවට නොයා නිවෙසේ නතර විය. ඒ… ඇඟ පතට අමාරු බවක් දැණුන නිසාය. ඔහු හා රස්සාවේ යන පිරිස ටික වේලාවක් බලා සිටිය ද ඔහු නොපැමිණි බැවින් නිවෙසට ගොස් ඇයි දැයි සොයා බැලීමට තීරණය කළේය. ඒ අනුව සමන්රත්නගේ නිවෙසට ගියේ “රත්තා” ය.
ඔහු එම නිවෙස ඉදිරිපිටට ගොස් කතා කරද්දී දොරකඩට ආවේ සමන්රත්න ගේ නැගණියයි. ඇය දෙස කෑදර බැල්මක් හෙලු “රත්තා”
“නංගී කෝ අයියා.” ලෙසින් විමසුවේය.
“අයියට සනීප නෑ. කාමරේ නිදි.”
එලෙස පැවසු නැගණිය රත්තාට අයියා සිටින කාමරය පෙන්වා එතැනින් ඉවත්ව ගියාය.
“ඇයි උඹට මොකද අසනීප වුණේ.”
“අනේ මංදා උණ හැදිලා වගේ.”
“බෙහෙත් ගත්තේ නැද්ද”
“හවසට අම්ම ගෙදර ආවම යනවා.”
“ඇයි…. දැන් අම්ම කොහේ ගිහින් ද?”
“අම්මා හැම සෙනසුරාදම පොළේ බඩු විකනªන්න යනවනේ. උදේ හයට විතර ගියාම එන්නේ හවස තුනට හතරට විතර. අම්ම ආවම බෙහෙත් ටිකක් ගන්නවා. උඹලා රස්සාවට පලයල්ලා. අද මම එන්නේ නෑ.”
සමන්රත්න හා පිළිසඳරේ යෙදුණ “රත්තා” ආපසු යන්නට ගියේ නිවෙස වටා දෑස් යොමුකොට “නංගී” සිටිනවා දැයි විපරම් කරමිනි.
ඒ වන විට ඇය මුලුතැන් ගෙයි ආහාර පිළියෙල කරමින් සිටියාය.
දින හතක් ගෙවී ගියේය. ඊළඟ සෙනසුරාදා දිනය උදාවිය. එදින උදේ හය වෙද්දී සමන්රත්න ගේ මව එළවළු විකිණීම සඳහා පොළට ගියාය.
ඊට ටික වේලාවකට පසු මුහුදු යාම සඳහා සමන්රත්න ද නිවෙසින් පිටව ගියේය. ඒ වන විට සමන්රත්න ගේ මල්ලී කෙල්ලක රැගෙන ප්‍රදේශයෙන් පලාගොස් සිටි බැවින් සමන්රත්නත් මවත් පිටව ගිය පසුව නිවෙසේ ඉතිරි වුයේ නැගණිය අචලා පමණි.
“එදා… “රත්තා” මුදු යන්න ආවේ නෑ. මට ඒ ගැන කිසිම සැකයක් ඇතිවුණෙත් නෑ.
ඒත්… මුදු ගිහින් හවස ගෙදර එද්දී මට මහ අමුත්තක් දැනුණා. වෙනදට මම එනකම් මඟ බලාගෙන ඉන්න අම්මයි නංගියි එදා පේන්න හිටියේ නෑ.
කළුවර වෙලා තිබුණත් කුප්පි ලාම්පුව වත් පත්තු කරලා නෑ.”
“ඉස්සරහ දොර ඇරලා තිබුණේ. මම ගෙට ගොඩවෙලා කෝ මේ අම්මයි නංගියි කියලා අහද්දී සාලේ තිබුණ සැටියේ ඒ දෙන්නම වාඩිවෙලා ගුලිවෙලා වගේ හිටියා. නංගි අම්මව බදාගෙන අඬනවා. අම්මා නංගීගේ ඔළුව අතගානවා.”
“මම කුප්පි ලාම්පුව පත්තු කරලා ඇයි මේ කියලා ඇහුවා. දෙන්නම අඬනවා මිසක් මොකුත් කිව්වේ නෑ”
“මම දිගින් දිගටම ඇහුවා. මොකද මේ වෙලා තියෙන්නේ කියලා. අන්තිමට මට තරහත් ගියා. කියපියව් යකුණේ මොකද මේ කියලා තරහින් ඇහුවම අම්මා නංගිව අත ඇරලා ඇවිත් මාව බදාගෙන ලොකු පුතේ අපිට ඉතිං ඉඳලා වැඩක් නෑ කිය කිය අඬන්න පටන් ගත්තා. පස්සේ අම්මා මට විස්තරේ කිව්වා.”
“එදා උදේ රස්සාවට නොගිය රත්නා අපේ ගෙට රිංගලා මගේ නංගීව දුෂණය කරලා. මේවට පොලිසි ගියාට වැඩක් නෑ කියලා මම දන්නවා.
ඒ වෙලාවෙම මම ගෙදර තිබුණ මන්න පිහිය අරගෙන රත්තා බොන්න යන කසිප්පු පොට් එකට ගියා. ඒ යද්දී “රත්තා” හරිම සතුටින් හිනහවෙවී කට්ටිය එක්ක මොනවද කියව කියව බිබී හිටියා.”
“මන්න පිහිය පස්සට කරගෙන මම රත්තාගේ ළඟට ගියා. රත්තා කෙල්ලෙකුගේ ඇඟේ හැඩ කියනවා. ඒ… මගේ නංගිගේ ඇඟ ගැන කියලා මට හිතුණා.”
“පාහර බල්ලා තෝ මගේ නංගිව විනාශ කරලා තව ඒක කියවන්නත් යනව ද කියාගෙනම දෑත බඳලා මන්න පිහියෙන් රත්තගේ හිස මුදුනට පාරක් ගැහුවා.
ඒ පාරෙන් රත්තගේ ඔළුව දෙබෑ වෙලා ඒ මොහොතේ එතැනම මැරිලා වැටුණා.”
“මම පිහියත් අරගෙන පොලිසියට ගිහින් සිද්ධිය විස්තර කළා. පොලිසිය මාව අත්අඩංගුවට අරගෙන උසාවියට දැම්මා. උසාවියෙන් මාව රිමාන්ඩ් කළා.”
“මාස තුනකට කිට්ටු කාලයක් රිමාන්ඩ් වෙලා ඉඳලා මම එළියට ආවා. ඒ එද්දී මගේ නංගි ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙලා තිබුණා. එක එක පිරිමි එයාට අනවශ්‍ය යෝජනා ගේන තත්ත්වයක් උදා වෙලා තිබුණා.”
“ඊට පස්සේ මම අම්මයි නංගිවයි අරගෙන ගමෙන් පිටවුණා. අපි අපේ මල්ලිගේ ගෙදර ටික දවසක් ඉඳලා ඒ පැත්තේ ඉඩමක පුංචි ගෙයක් හදාගෙන මුදු රස්සාවෙන් අයින් වෙලා ගොවිතැනට බැස්සා.”
“නඩුව මහාධිකරණයේ විභාග වුණා. නීතිඥයෝ අල්ලන්න මට සල්ලි තිබුණේ නෑ. මම තනියම නඩුව කතා කළා. මට රත්තව මරන්න සිද්ධවෙච්ච හේතුව අහලා නඩුකාර උන්නාන්සේටත් දුක හිතුණා.”
“ඒත් මම කළ වරදට නීති පොතේ දඬුවමක් ලියවිලා තියෙනවා නේ. නඩුකාර තුමා මට දිය හැකි ලිහිල්ම දඬුවම දුන්නා.
“ඒ… අවුරුදු අටක සිර දඬුවම්”
“අද මම හිරගෙදර ඉන්නේ මගේ නංගී වෙනුවෙන් මනුස්සයෙක්ව මරලා. දැන් මගේ වයස අවුරුදු තිස් පහයි.
තව අවුරුදු හතරකින් මගේ දඬුවම් කාලය ඉවර වෙනවා. මගේ නංගි තවමත් අවිවාහකයි.
නංගිට මංගල යෝජනා ආවේ නැතිව නෙවෙයි ඒත්…. අනාථ වෙච්ච කෙල්ලක් හැටියට කසාදයක් බැඳගත්තොත් ඉදිරියේ දී ඇතිවෙන්න පුලුවන් කරදර ගැන හිතලා එයා තනිකඩව ඉන්න තීරණය කරලා.”
“අම්මයි නංගියි එළවළු කොරටුවක් වවාගෙන කාල බීලා ජීවත් වෙනවා. මම හිර ගෙදරට වෙලා එළියට යන දවස ගැන හිත හිතා ඇඟිලි ගනිනවා.”
“එදා මම රත්තව මරන්න ගත්ත තීරණය ගැන මම අදටත් සතුටු වෙනවා.
මලක් වගේ හිටිය මගේ අහිංසක නංගිව තලලා පොඩි කරලා දාපු ඒ වගේ තිරිසන් මිනිහෙක් මේ මිහිපිට තියන්න හොඳ නෑ. මොකද., මගේ නංගි වගේම මල් වගේ අහිංසක නංගිලා ඌ ගොදුරු කරගන්න පුලුවන්.”
“මම නිදහස් වෙලා ගිය දාට අම්මයි නංගියි කරගෙන යන එලවලු කොරටුව තව හොඳට දියුණු කරනවා.
හැබැයි මම කසාද බඳින්නේ නෑ. මොකද මම විවාහ වුණොත් කවදා හරි මගේ නංගිට කාත් කවුරුවත් නැති වෙනවා. මම මගේ අම්මවයි නංගිවයි බලාගෙන ජීවත් වෙනවා.”
“කෙල්ලක් අරගෙන පැනලා ගිය මගේ මල්ලිට දරුවෝ හය දෙනෙක් ඉන්නවා. ඒ දරුවෝ නඩත්තු කරන්න මල්ලිට අමාරුයිලු. අපේ තනි නොතනියටත් එක්ක මල්ලිගේ දරුවෙක් දෙන්නෙක් මම මගේ ළඟට ගන්නවා. එතකොට මායි නංගියි වයසට යද්දී ඒ දරුවෝ අපිව බලාගනිවි නේ.”
දිගු සුසුමක් හෙළා ළය සැහැල්ලු කරගත් සමන්රත්න ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයාගේ නිල කාමරයෙන් නික්ම ගියේ දෙනෙතට උණා ආ කඳුළු පිටි අල්ලෙන් පිස දමන ගමන්ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!