Gossip

තාත්තව නැති වුණාට පස්සේ මට කිරි තේ බොන එකත් නවත්වන්න වෙයි – උදාරි වර්ණකුලසූරිය

මේ ලෝකේ ජීවත් වන අපි හැමෝටම ආවේණික පුරුදු, විශ්වාස එහෙම තියෙනවානේ. මේ කියන කාරණයත් පුංචි කා‍ලේ ඉඳලම මට තිබුණු පුරුද්දක්.

මට තේ, කෝපි, සුදු කිරි (කහට රහිත කිරි) වගේ ඕනෑම දෙයක් බොන්න පුළුවන්. හැබැයි මට කිරි තේ නම් බොන්න බැහැ. ප්‍ලේන්ටි බොන්නේ නැති, කිරි තේ බොන්නේ නැති අය ඉන්නවනේ. මමත් ඒ විදියට කිරි තේ බොන්නේ නැහැ කියලා සමහරු හිතයි. මම කිරි තේ බොනවා. හැබැයි එකම එක්කෙනෙක් හදන කිරි තේ විතරයි මට බොන්න පුළුවන්. ඒ මගේ තාත්ති හදන කිරි තේ එක විතරයි. වෙන කිසිම කෙනෙක් හදන කිරි තේ එකක් මට බොන්න බැහැ. නොතේරෙන වයසෙදී අපි ඕනෑම කෙනෙක් කන්නෙ බොන්නෙ ලැබෙන දේ. මමත් බහ තෝරන වයසෙදි අම්මලා මට කිරි තේ ‍පොවලා තියෙනවද කියන්න නම් මම දන්නේ නැහැ. හැබැයි යාන්තම් බහ තෝරන වයසෙදි ඉඳන් මම තාත්ති හදන කිරි තේ එක විතරයි බොන්නේ. වෙන කෙනෙක් කිරි තේ හදලා දුන්නොත් මම ඒක ප්‍රතික්ෂේප කරනවා.

“ඇයි තාත්ති හදන කිරි තේ එක විතරක් බොන්නේ. මොකක්ද ඒකෙ තියෙන විශේෂත්වය?”

ගොඩාක් අය මගෙන් එහෙම අහනවා. “තාත්තිගේ තේ එකේ පිටියි, සීනියි, තේ කොලයි විතරක් ‍නෙවෙයි තාත්තිගේ ආදරෙයි අමෘතය බිංදුවකුයි තියෙනවා..” එතකොට මම එහෙම කියනව. පුංචි දරුවන් බොරු කියලා රවටන්න පුළුවන්නේ. කව්රු හෝ කිරි තේ එකක් හදලා “මෙන්න මේක තාත්ති හදපු කිරි තේ එකක්” කියලා. මට දුන්නොත් එක උගුරක් වත් උගුරෙන් පහළට යවන්නේ නැතුව මම කියනවා මේක තාත්ති හදපු තේ එකක් ‍නෙවෙයි කියලා. ඒ වෙලාවට “නෑ මේක හැදුවේ තාත්ති” හැමෝම කිව්වත් තාත්ති කවදාවත් බොරු කියලා මාව රවටන්නේ නෑ. “ඕක මමයි හැදුවේ” කියලා තාත්ති බොරුවට කියන්නේ නැහැ. ඒ වෙලාවට තාත්ති කියනවා “ඔය තේ එක හැදුවේ මම නෙවෙයි“ කියලා. කාලයක් තාත්ති ලංකාවෙන් ඈත් වෙලා හිටියා. ඒ කා‍ලේ අම්මි තමයි අපිත් එක්ක හිටියේ. මම මෙහෙම කිව්වම කෙනෙක් විශ්වාස නොකරන්නත් ඉඩ තියෙනවා. ඒ කාලෙටම මම කිරි තේ බිව්වේම නැහැ.

පුංචි කා‍ලේ මේ වගේ පුරුදු තිබුණාට වයසින් වැඩෙන විට අපිට ඒ පුරුදු වෙනස් කරගන්න සිදුවෙනවා. අද මම නිළියක්. පිට පළාත්වල රූගත කිරීම් වලට යන්න සිදු වෙනවා. ඒත් මම කිසිම දවසක කොතැනදී වත් කිරි තේ බොන්නේ නැහැ. කෝපි, ප්‍ලේන්ටි, හෝ සුදු කිරි විතරයි මම බොන්නේ. නෑදෑ හිතවතුන්ගේ ගෙවල්වලට ගියාම තමයි ගොඩක් අපහසුතාවට පත් වෙන්නේ. ඒ වගේ වෙලාවට තේ බන්දේසිය ළඟට ආවමනේ දන්නේ මොනවාද තියෙන්නේ කියලා. ඒ වගේ වෙලාවක “කිරි බඳුනක්” පිළිගැන්නුවොත් මම බොහොම කාරුණිකව එය ප්‍රතික්ෂේප කරනවා.

මුලින් කිව්ව වගේ නොතේරෙන වයස ගැන මම දන්නේ නැහැ. හැබැයි තේරෙන කා‍ලේ ඉඳන් මේ අවුරුදු තිහටම මම බිලා තියෙන්නේ තාත්ති හදපු කිරි තේ විතරයි.

මේ ලෝකේ හැමදේම අනිත්‍යයි. මගේ තාත්තිවත් දවසක මට අහිමි වෙන බව මමයි, තාත්තියි දෙන්නම දන්නවා. තාත්තව නැති වුණාට පස්සේ මට කිරි තේ බොන එකත් නවත්වන්න වෙයි නේද කියලා මම සමහර වෙලාවට තාත්තිට කියනවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!