Gossip

“මමත් පාතාල කල්ලි සාමාජිකයෙක්ද කියලා මට සැකයි”- ජයලාල් රෝහණ

පාතාලය, පාතාල කල්ලි, පාතාල සාමජික ආදී වදන් දැන් නිතර දෙවේලේ මාධ්‍ය මගින් ඇසෙන මුත් ඉන් පැවසෙන අරුත පිළිබඳව තමන්ට නිසි අවබෝධයක් නැතැයි ප්‍රවිණ රංගනවේදී ජයලාල් රෝහණ මහතා පවසනවා.
ඒ අනුව ඇතැම් විටක තමන් ද පාතාල කල්ලි සමාජිකයෙකු ද යන්න වටහා ගත නොහැකි බව වැඩිදුරටත් පවසන ජයලාල් රෝහණ මහතා ප්‍රකාශ කරනුයේ මෙය මාධ්‍ය මගින් සිදු කොට ඇති අනවශ්‍ය සහ විකෘති හුවා දැක්වීමක් බව තමන්ට යම් පමණකින් වැටහෙන බවයි..
ඒ සම්බන්ධයෙන් ජයලාල් රෝහණ මහතා මෙලෙස අදහස් පලකළා.
පාතාලය, පාතාල කල්ලි, පාතාල සාමාජික වගේ වචන අද නිරතුරුවම වගේ මාධ්‍ය මගින් අහන්නට ලැබෙනවා.
නිතරම මාධ්‍ය ඇසුරු කරන්නවුන්ට සමහර විට මේ වචනය දහ දොළොස්වතාක් උනත් අහන්න පුළුවනි.
නමුත් මේ පාතාල කල්ලි සමාජිකයන් කියන්නේ කාටද? බැලූ බැල්මටම මට පෙනෙන්නෙ සම්මත නීතියට පටහැනිව යම් යම් සාපරාධී සහ සමාජ විරෝධී කටයුතු වල යෙදෙන සංවිධානාත්මක පිරිස් මේ නමින් හැදින්වෙන බවයි.
නමුත් අපේ රටේ පවත්නා අපරාධ නීතියට අනුව කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේදී එය පාතාල කල්ලි ක්‍රියාවක්ද යන්න කිසිසේත් සලකා බැලෙන්නේ නැහැ. ඊට හේතුව අප රටේ දිනපතා සිදුවන අපරාධ සහ නීතිවිරෝධී ක්‍රියාවන් හුදු පුද්ගල සහ සාමුහික ක්‍රියා ලෙස පමණක් නීතිය හමුවේ අර්ථ දැක්වීමයි. ඒ අනුව කිසිදු අපරාධ ලේඛණයක පාතාල කල්ලි නායක හෝ සාමාජික යන වදන් සදහන් කරන්නේ නෑ
කිසියම් අපරාධයක් සිදුවූ පසු එය පාතාල කල්ලි ක්‍රියාවක් වුවත් නැතත් නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු වෙනසක් සිදුවන්නේත් නැහැ. ඒ වගේම සෑම අපරාධයක්ම පසුපසම මෙවන් කල්ලියක නායකයෙකු සාමාජිකයෙකු හෝ පිරිසක් සිටින බවට කිසිදු සාක්ෂියකුත් නැහැ.
පසුගිය කාලයේ ජනප්‍රිය ගායිකාවක ඝාතනය කිරීමේ චෝදනාවට ඇගේ සැමියා අත්අඩංගුවට ගැනුණා.
නමුත් ඔහු ඒ වන විට ඇසුරු කළ පිරිස ඉහත සඳහන් පාතාල කල්ලි සමාජිකයන් නම් එයද පාතාල සාමාජිකයෙකු විසින් සිදුකළ මිනීමැරුමක් සේ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වීමට ඉඩ තිබුණා. ඒ අනුව පාතාල නොවන අපරාධ කරුවන් සේම අපරාධ සිදු නොකරන පාතාල කල්ලි සමාජිකයන් ඕනෑ තරම් සිටිය හැකි බවයි මගේ විශ්වාසය.
කිසියම් සාපරාධී ක්‍රියාවක් සම්බන්ධයෙන් අධිකරණය මගින් දඩුවම් නියම වූ පුද්ගලයන්ගේ නම් පොලිස් අපරාධ ලේඛනයට ඇතුළත් කරනවා.
එසේ කිහිපවරක් දඩුවම් ලැබීමෙන් පසු ඔවුන් ‘පුනර්දෝෂිත‘ අපරාධකරුවන් හෙවත් අයි.ආර්.සී කාරයන් ලෙස හැදින්වෙනවා. නමුත් මේ පාතාල කණ්ඩායම් තුළ එවැනි අපරාධ කරුවන් හෝ පුනර්දෝෂිත අපරාධකරුවන් නොමැති අවස්ථාවන් පිළිබඳව මාධ්‍ය මගින් දැන ගන්නට තිබෙනවා.
ඇතැම් විට අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ පාතාල කල්ලි නායකයන් පිළිබඳවත් අසන්නට ලැබෙනවා.
නමුත් ඔවුන් අධිකරණය මගින් නිවැරදි කරුවන් වූ පසුවත් ඔවුන්ට ඇලවුණු ඒ ලේබලය ගැලවෙතැයි සිතන්නට බැහැ. ඒ වගේම මේ පාතාල කල්ලි නායකයන් ඇසුරු කරන්නවුන් හට ද පාතාල කල්ලි සමාජික ලේබලය ඇලවීමට අද බොහෝ මාධ්‍ය පසුබට වන්නේ නැහැ.
එවන් පාතාල කල්ලි නායකයෙකුගේ මස්සිනා කෙනෙකු වීම ඔහු හා ගමන් බිමන් යාම උත්සව වලට සහභාගී වීම නිසාද යමෙකුට පාතාල කල්ලි සාමාජික ලේබලය ඇලවීමට හේතුවක්. ඒ අනුව මටත් පාතාල කල්ලි සාමාජික ලේබලය ඇලවී තිබුණොත් මම පුදුම වන්නේ නැහැ.
මම ජීවිතයේ තරුණ කාළේ අනියම් කම්කරු රැකියාවක පවා යෙදුණු කෙනෙක්.
ඒ කාලයේදී මට හමුවූ ඇතැම් මිතුරන් අදත් මා සමඟ තරමක ඇසුරක් පවත්වනවා. නමුත් ඔවුන්ගේ වර්තමාන පෞද්ගලික වගතුග මා සහසුද්දෙන් දන්නේ නෑ.
ඇතැම් විට ඔවුන් ද වර්තමාන මාධ්‍ය ව්‍යවහාරයට අනුව පාතාල කල්ලි සාමජිකයන් හෝ නායකයන් වීමටත් පුළුවන්. නමුත් මගේ ඒ පැරණි මිතුරෙකු තමන්ගේ දරුවෙකුගේ උත්සවයකට මට ආරාධනා කළ හොත් ඒ මිතුරුකම සලකා මා ඊට සහභාගී වෙනවා.
ඒ හුදෙක් අපේ පැරණි මිත්‍රත්වය සලකමින්. ඒ හැරුණු කොට ඔවුන් වර්තමානයේ පාතාල කල්ලි නායකයන් හෝ සාමාජිකයන් ද යන්න විමර්ශනය කිරීම සඳහා පෞද්ගලික රහස් පරීක්ෂකයන් යෙදවීමට මට බැහැ. අනික ඒවගේ උත්සව වලදී ඡායාරූප වලට සහ විඩියෝ පටිගත කිරීම් සඳහාත් මුහුණ දීමට මට නොයෙක් වර සිදුවෙනවා. ඒ අනුව ඔවුන් පාතාල කල්ලි සමාජිකයන් නම් ඒ ඔස්සේ මටත් දැනටම එවැනි කල්ලියක ‘සමාජිකත්වයක්‘ ලැබී ඇත්දැයි සැකයි.
යම් යම් දේවල් අමුතුවෙන් හුවා දැක්වීම තුළින් මහජනතාව තුළ ඒ කරුණ පිළිබඳව විශේෂ ඇල්මක් අවධානයක් උනන්දුවක් ඇති කරවන්නට පුළුවන්. දැනට මාධ්‍ය මගින් සිදු කරන මෙම පාතාල කල්ලි පිළිබඳ හදුන්වා දීමත් එවැනි අතිශෝක්තියක් බවයි මගේ වැටහීම. අප රටේ සංවිධානාත්මක අපරාධ සිදු නොවෙතැයි මා මෙයින් අදහස් කරන්නේ නෑ.
නමුත් එවැනි අපරාධ සිදුවූ විට ඒ කණ්ඩායම් පාතාල කල්ලි ලෙස හැදින්වීම කෙතරම් යෝග්‍ය දැයි නැවත සිතාබැලිය යුතු වෙනවා.
කතරගම කිරි වෙහෙරේ නායක හාමුදුරුවන් කෙරෙහි පෞද්ගලික කෝන්තරයක් මත එහි දේවාලයක කපු මහතෙකු විසින් එල්ල කරවූ වෙඩි ප්‍රහාරයත් පාතාල කල්ලි ක්‍රියාවක් ලෙස පසුගියදා හදුන්වා තිබුණා. නමුත් ඔවුන් එලෙස සංවිධානාත්මක අපරාධ කල්ලියක් නම් අපරාධකරුවන් ඒ කපු මහතාට අයත් මෝටර් රථයෙන් සීසීටිවී කැමරා පද්ධතියක දර්ශන සීමාව ඇවිත් එම අපරාධය සිදු කරන්නේ නැහැ. එනිසාම ඔවුන් පහසුවෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වුණා.
ඉන් හැගෙන්නේ ඔවුන් තුළ අපරාධ සම්බන්ධ කිසිදු සවිඥාණකත්වයක් නොතිබූ බවයි.
එමෙන්ම කිසියම් සංවිධානයක සාමාජිකත්වය ලබා ගැනීමට නම් එහි සංවිධානයේ විධිමත් ව්‍යුහයක් තිබිය යුතුයි.
නමුත් මේ පාතාල කල්ලි සමාජික යනුවෙන් හඳුන්වන පුද්ගලයන් පෙනී සිටින පාතාල කල්ලිය කුමක්ද එහි සමාජිකයන් කී දෙනෙක් සිටීද යන්න මෙම පාතාල කල්ලි පිළිබඳව ඉවත් බවක් නොමැතිව විස්තර කරන මාධ්‍යවේදීන් තබා අඩුම තරමේ ඒ සමාජිකයන් යැයි පැවසෙන පුද්ගලයන් වත් නොදන්නා බව සහතිකයි.
මෙවැනි සමාජයේ පවත්නා විවිධ තත්වයන් පිළිබඳ පදනම් විරහිත කරුණු මාධ්‍ය මගින් ප්‍රචාරය වීම එම සමාජයේ ස්ථාවරත්වයට දැඩි ලෙස හානි පමුණුවමින් වත්මන් සමාජය අන්ධභාවයට පත්කරවන අවිචාරවත් මාධ්‍ය භාවිතයක් බව ඒකාන්තයෙන් කිව යුතුයි.

උපුටා ගැනීම – ලක්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!