Gossip

තරුණ්‍යයේ තියෙන ආතල් එක මාරම විදියට දැනුණා – ඉතාලි ඉන්න ගොඩක් අය එක්ක මගේ ලොකු සම්බන්ධයක් තියෙනවා – දසුන් පතිරණ

පබ්ලික් ලයිබ්රිය ළඟ බස් හෝල්ට් එකෙන් නුගේගොඩ පැත්තට යන 138 බස්රථයකට ගොඩවෙලා විජේරාම හන්දියෙන් පැනගත්තෙ ටිකක් අමාරුවෙන්….

මොකද අද සතියේ දවසක්නෙ.

ඔෆිස් ඇරෙන වෙලාවක බස් එකේ යන එක ටිකක් දුෂ්කරයි… හයිලෙවල් පාර කොහොමත් එහෙමයි…

විජේරාම හන්දියේ ඉස්සර තිබුණු හරස් පාරකින් හැරිලා… ටික දුරක් ඇවිදගෙන ගිහින් අපි ගොඩවුණේ අවන්හලකට. කහපාටට හුරු අඳුරු විදුලි බුබුලු අතරින් මට ඔහුව ඈතට පෙනුණා… ඔහු මාව පිළිගත්තේ ඈත තියලම අතවනලා… කොහොමද මචං….

ඒ තමයි ඔහුගේ මුල්ම ආමන්ත්‍රණය…

ඔහු සරලව කෙනෙක් පිළිගන්නේ එහෙම තමයි…

විශේෂ පැහැදිලි කිරීම් නැතුව මම ඔහුව හඳුන්වා දෙන්නම්කො… මේ වෙන කවුරුත් නෙමේ දසුන් පතිරණ… දස්සා කිව්වාම තමයි ෆීල්ඩ් එකේ ගොඩක් දෙනෙක් දන්නෙ.

දසුන් කියන්නේ සම්මානනීය රංග ශිල්පියෙක්, හොඳ වින්දන පරාසක් හදාගත්ත, නිදහස් අදහස් දරන, සැහැල්ලුවෙන් ජීවිතය විඳින්න කැමති තරුණ කොල්ලෙක්…

ඒ තමයි අපි දන්න දස්සා…

අනං මනං වැල්වටාරම් නැතුව දස්සාගේ ජීවිතේ මේ දවස්වල ගෙවන තැනින්ම කතාව පටන්ගමු නේද?
පොඩි පොඩි වැඩ ටිකක් යනවා. මේ දවස්වල ටිකක් විතර බිසී… රොෂාන් රවීන්ද්‍රගේ නාට්‍යයකට වැඩ පටන්ගන්නත් තියෙනවා… බිරිඳයි දරුවයි එක්ක කාලය ගතවෙනවා… වැඩිපුරම දරු සුරතල් බලන එක තමයි කරන්නෙ.

මේ දවස්වල දස්සගේ ජීවිතය ගලාගෙන යන විදිය කෙටියෙන් එහෙම තමයි කිව්වේ.

දසුන්ගේ රඟපෑම් ඕනතරම් දැකලා තියෙනවා… දස්සගේ නිර්මාණ අපි දන්නවා… ඒවා ගැන නෙමේ… ඔබගේ නොවන හදවතින්ම ඔබේම කරගත් නිර්මාණයක් ගැන චුට්ටක් කතා කරමුද? අපේ වචනෙන්ම කිව්වොත්… බොක්කටම වැදුණු එකක් ගැන…

මෙච්චර වෙලා වැඩිපුර කතාකරපු දස්සා… මොහොතකට නිහඬයි…

ඔව්… මගේ බොක්කටම වැදුණු නිර්මාණ නම් ගොඩක් තියෙනවා. ඒත් මගේ ජීවිතයට බලපෑමක් වුණු මම ආසකරන විශේෂ නිර්මාණයක් තියෙනවා.. ඒ තමයි බූඩි කීර්තිසේන තිර රචනය කරලා, අධ්‍යක්ෂණය කරපු මිල්ලසොයා කියන චිත්‍රපටය.

මිල්ලසොයා චිත්‍රපටය දසුන්ට මෙච්චර බලපෑම් කරේ කොහොමද?
ඒකට හේතු කිහිපයක්ම තියෙනවා… ප්‍රධානම හේතුව තමයි බූඩිගේ මිල්ලසොයා චිත්‍රපටය නිසා තමයි අද මම ඇක්ටර් කෙනෙක් විදියට මේ විදියට ඉන්නෙත්. මොකද මේ චිත්‍රපටය බැලුවයින් පස්සෙ තමයි මට හිතුණේ ඇක්ටර් කෙනෙක් වෙන්න ඕනෙ කියලා… මහේන්ද්‍ර පෙරේරාගේ රංගන ශෛලියට මට පුදුම විදියට ආස හිතෙනවා. ඒ නිසා තමයි මම මහේන්ද්‍ර පෙරේරා කියන නළුවව හොයාගෙන යන්නෙ… මාව වෙනස් කරපු එකම නිර්මාණය මිල්ලසොයා තමයි. අනිත් හේතුව තමයි ඉස්සර කොල්ලන්ට තිබුණු එකම ඩ්‍රීම් එක තමයි ඉතාලි යන එක… ඉස්සර නෙමේ දැනටත් අපේ තරුණ්‍යයට එහෙම හීන තියෙනවා, ඉතාලි, ඕස්ට්‍රේලියාවගේ හීන…. ආර්ථිකයෙන් බැට කන ගමක තරුණයන් කිහිපදෙනෙක් ඒ තත්ත්වයෙන් ගොඩ එන්න ඉතාලි යන්න ගහන ගේමක් තමයි මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ… මුලින්ම මම මේ චිත්‍රපටය බලනකොට මට අවුරුදු 18 විතර ඇති මගෙ වයසත් එකක් මගෙ සිතුම් පැතුම් එක්ක මට මේ චිත්‍රපට ගොඩක් දැනුණා… විශේෂයෙන් මේ චිත්‍රපටයේ රඟපාපු නළු නිළියන්ගේ සුවිශේෂ රංඟනයත් මේ චිත්‍රපටය මට සමීපවෙන්න සෑහෙන්න බලපෑවා.

මිල්ලසොයා චිත්‍රපටයේ හදවතට දැනුණු චරිතයක් එහෙම ඇති නේද?
අනිවාර්යයෙන්ම… චිත්‍රපටයේ සියලුම කැරුක්ටස්වලට මම ගොඩක් ආසයි… ඒත් විශේෂයෙන් ගොඩක් කැමතියි මහේන්ද්‍ර පෙරේරා රඟපාපු ප්‍රදීප්ගේ රෝල් එකට…. සමස්තයක් විදියට ගත්තොත් චිත්‍රපටයේ සියලුම චරිතවලට විශේෂ දෙයක් කරන්න තිබුණා.. ඒක ඒ අය සියයට සීයක්ම කරා කියලා හිතෙනවා..

මහේන්ද්‍ර පෙරේරා කරපු චරිතය දසුන්ට හම්බවුණා නම් කොහොම වෙයිද?
අම්මෝ… මම ගොඩක් ආස කරන චරිතයක් තමයි ඒක… හැබැයි මහේන්ද්‍ර අයියා කරපු දේ මට කවදාවත් කරන්න බෑ… හැබැයි ඊට වෙනස් එකක්… මටම ආවේණික එකක් මම අනිවාර්යයෙන්ම කරයි. හම්බවුණොත් ආසාවෙන්ම කරන චරිතයක් තමයි.

දසුන් තරුණයොත් එක්ක ඉන්න කොල්ලෙක් විදියට චිත්‍රපටයේ ප්‍රදීප් වගේ චරිත මුණගැහිලා ඇති නේද?
අපෝ ඔව්… ගොඩක් අය හම්බවෙලා තියෙනවා… මාත් ඒක්ක ළඟින්ම හිටපු වැඩි පිරිසකගේ හීනයක් වෙලා තිබුණා පිටරට යන එක… ඉතාලිය විශේෂයි. අපේ පවුලේ නෑදෑයන්ගේ පවා තිබුණ එකම හීනය ඉතාලි යන එක තමා.. කොහොම හරි ට්‍රයිකරලා ඒ අය ඉතාලි ගියා. ඒ අය විඳපු දුක, කාපු කටු.. ජීවිතේ මාරම අත්දැකීමක්.. ඉතාලි ඉන්න ගොඩක් අය එකක් මගේ ලොකු සම්බන්ධයක් තියෙනවා.. ඒ අයගේ ජීවිතේ ඉතාලි එන්න ගිහින් වෙච්ච දේවල් මට ගොඩක් කියලා තියෙනවා.

හරි දසුන් මේ චිත්‍රපටය ඇතුළේ වැඩියෙන්ම දැනුණු ඔබව සංවේදි කරපු රෑප රාමුවක් මතක් කරමුද?
සංවේදී කරපු රෑපරාමු ගැන කියනවට වැඩිය… ගොඩක් තැන් තිබුණා තරුණ්‍යයේ තියෙන ආතල් එක මාරම විදියට දැනුණ. එක සිදුවීමක් තියෙනවා ඒ ගමේ මිනිස්සු එකපාරටම උදේ නැගිටලා දුවගෙන දුවගෙන යනවා. එක්කෙනෙක් පොල් උලකට වැටිලා මැරුණා කියලා. ඒ අස්සේ මහේන්ද්‍ර අයියත් දුවගෙන යනවා.. දැන් ගිහින් ඔක්කොමලා අර මැරිච්ච මිනිහා දිහා බලාගෙන ඉන්නවා… ඔන්න එතකොට අනිත් කැරුක්ටර් එක එතනට එනවා… ඊට කලින් රූ කනත්තේ කෙල්ලෙගේ සීන් එකකට ගුටි කාපු පොරක්. දැන් මේ ගමේ මනුස්සයෙක් මැරිලා… ඔක්කොම දුකෙන් ඉන්නකොට.. මහේන්ද්‍ර පෙරේරා දකිනවා මේ ගුටිකාපු අනිත් චරිතය… ගුටිකාපු එකාගේ මූණ ඔක්කොම ඉදිමිලා චාටර් වෙලා මහේන්ද්‍ර අයියට අරෑව දැක්ක ගමන් බකස් ගාලා හිනායනවා. ඒ වගේ සිද්ධි ඇත්තටම ජීවිතේ අපිට වෙලා තියෙනවා… මොන ප්‍රශ්නෙ ආවත් තාරුණ්‍යයේ තියෙන හිතුවක්කාරකම විනෝදය ඉස්මතු වෙනවා.. ඒක තමා කොලුකම කියන්නෙත්. ඒ වගේ ගොඩක් තැන් තියෙනවා මේ චිත්‍රපටයේ…

ඔබේ ජීවිතය වෙනස් කරපු මේ ෆිල්ම් එක ඔබ කී පාරක් බැලුවාද?
මම මේක විසි තිස්පාරකට වැඩි බලලා ඇති… ඊයේ පෙරේදත් බැලුවා… මට කවදාවත් එපා වෙන්නැති චිත්‍රපටයක් තමයි මිල්ලසොයා.

කවුද මේ චිත්‍රපටය බලන්න කියලා ඔබව පෙළඹෙව්වේ…
නෑ නෑ… කවුරුත් එහෙම කිව්වෙ නෑ… මම මේක ඉස්සෙල්ලම බැලුවේ ටී.වී. එකෙන්ද කොහෙද… මම හිතන්නේ 2005 විතර මට හරියටම මතක නෑ.

රටයන එක හීනයක් කරගෙන ඒ හීනය හැබෑවක් කරගන්න දඟලන, මාර කට්ටක් කන කොල්ලො කෙල්ලො දැනටත් අපේ රටේ ඉන්නවා… ඒ අයගේ හිතට දැනෙන්න දෙයක් කියමුද දස්සා…
එක එක්කෙනාගේ ජීවිතේ හීන වෙනස්… රට ගිහින් ගේමක් ගහලා ජීවිතේ ගොඩදානවා කියන එක මගේ ඔළුවේ තිබුණේ නෑ. ඒත් සමහර කට්ටියකගේ මතයක් තියෙනවා රට ගියොත් තමයි හරියන්නෙ කියලා. ඒත් ඒ දේ කරන්න ගිහින් වෙන දේවල් ගැන පස්සේ පසුතැවිලි වෙනන නම් එපා.. හරි ඉලක්කෙකට යන්න ඕනෙ. මම කියන්නෙ ලංකාවේ ඉන්නවද රට යනවද කියන එක නෙමේ… කරන දේ හරියට කරන්න… ඒක තමයි මට කියන්න තියෙන්නෙ.

මේ ෆිල්ම් එකේ අවසානය මොනවගේ හැඟීමක්ද ඔබේ හදවතට ගෙනාවේ…
අවසානයේ ලංකාව වගේ රටක තරුණයාට මොකද වෙන්නේ කියන එක ගැන ප්‍රශ්නයක් තමයි මට ආවේ… ඒක මාරම අර්බුදයක්. ලේසි නෑ මේ රටේ ඉඳන්ම ගේමක් ගහන එක. ඔය ප්‍රශ්නෙට උත්තර මම තාමත් හොයනවා…. දස්සා කතාවට තිත තිබ්බා…

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!