Gossip

“තමුසේ මම දීපු අයිස්ක්‍රීම් එක රිලවෙකුට දුන්නානේ. එහෙනම් තමුසේ ඒ රිලවාම කසාද බැඳගන්නවා” රිලවෙක් නිසා මඟුලක් කැඩුණු හැටි

ඔහු කන්ද උඩරට ධනවත් ප්‍රභූ පෙළපතකට අයත් විද්වත් වෘත්තියක යෙදෙන තරුණයෙකි. විවාහය සඳහා නිසි කල වයස එළඹි පසු වැඩිහිටියන්ගේ මැදිහත්වීම මත ඔහු සඳහා විවාහ යෝජනාවක් ගෙනෙන ලදී. විවාහපේක්ෂිත තරුණිය උඩරටම පදිංචිව සිටියද අගනුවර ඉපදී හැදී වැඩි එහිම අධ්‍යාපනය ලබා වැදගත් වෘත්තියක නියලුණු තැනැත්තියකි.

එහෙත් මෙම තරුණියගේ සමාජශිලී බව කෙරෙහි තරුණයාගේ සිත තුළ මුල සිටම එතරම් ප්‍රසාදයක් ජනිත වූයේ නැත. ඇය නිරන්තරයෙන් දුරකතන ඇමතුම් වලට පිළිතුරු දීම පවා ඔහුට මුල පටන්ම තරමක් නොරිසි විය. කෙසේ හෝ මෙම තරුණයාගේ පවුලේ පිරිස සහ තරුණියගේ පවුලේ පිරිස අනුරාධපුර සංචාරයක් යොදා ගත්තේ ඔය අතරේය. එහිදී තරුණිය ඇඳ සිටින නවීන විලාසිතාවේ ඇඳුම සහ ඇය අව්කණ්ණාඩි යුවලක් පැළද සිටිම පවා තරුණයාගේ නොරිස්සුමට හේතු වන බව මුල සිටම තරුණියට පෙනුණි.

අනුරාධපුර යන අතරේ මෙම කණ්ඩායම නාවුල ප්‍රදේශයේ කිසියම් ස්ථානය නතර වුයේ මදක් විවේක ගැනීමටය එහිදී එම පිරිසට අවශ්‍ය කෑම බීම මොනවාදැයි තරුණයා ඇසු විට ඇය ගත් කටටම අයිස්ක්‍රීම් යැයි කීවාය. එම ස්ථානයේ අයිස් ක්‍රීම් කෝන් විකිණු අතර සෙස්සන්ට විවිධ ආහාර පාන ලබාදෙන අතරේ ඔහු ඇයට අයිස්ක්‍රීම් කෝන් එකක් රැගෙන දුන්නේය.

එය අතට ගත් තරුණිය එම ස්ථානයේ ඉදිරියේ ඇති එළිමහන් අසුනක වාඩිවී එය රස බලන්නට විය. මේ දිනවල නාවුල ප්‍රදේශයේ සහ ඒ අවට රිලා රංචු බහුල වශයෙන් දක්නට ලැබෙත්. තරුණිය අයිස්ක්‍රීම් රස විඳින අතර එහි එක් රංචුවක රිලවෙක් ඇය දෙස බලා අත දිගු කොට කොට එය ඉල්ලන්නට විය. තරුණිය නිකමට මෙන් ඒ රිලවා දෙසට අයිස්ක්‍රීමය දිගු කරත්ම වහා ඇය වෙතට පැන ගත් රිලවා එය උදුරාගෙන අසුරු සැනින් අද්දර වූ ගසකට නැඟ ගත්තේය.

මෙම සිදුවීම පිරිසේ සිටි කිහිප දෙනෙක් ද දුටුවහ.

‘මොකද අයිස්ක්‍රීම් එකට වුණේ‘.

ඇය වෙතට පැමිණි තරුණයා ඇසීය.

එහෙත් එය රිලවෙකු පැහැරගත් බව කීමට ලැජ්ජා වු ඇයට එක්වරම කියවුණේ ‘මම ඒක රිලවෙකුට දුන්නා‘ යනුවෙනි.

ඇගේ මේ කතාවෙන් තරුණයා අතිශය කෝපාවිශ්ඨ විය. ඒ තමන් ජීවිතයේ මුල් වරට ඇයට තිළිණ කළ දෙය ඇය ඒ මොහොතේ තමන් ඉදිරියේදීම රිලවෙකුට දීම පිළිබඳවය.

මෙය ඇය හිතාමතා තමන්ට කළ බලවත් නිගරුවක් අපහාසයක් යැයි තරුණයාට සිතිණ. ඔහු මේ පිළිබඳව තම දෙමාපියන්ට කීයේ තමන්ට මෙවැනි නින්දා අපහාස කරන්නියක හා කෙසේ වත් පවුල් ජීවිතයක් ගත කළ නොහැකි බවය.

ඒ අනුව එම පිරිස අනුරාධපුර ගමන යන්නන් වාලේ ගොස් පැමිණි අතර ඉන් පසුව තරුණයාගේ නිහැඩියාව තේරුම් ගත නොහැකි තරුණිය ඒ පිළිබඳව විමසු විට ඔහු කීයේ මෙවැන්නකි.

‘තමුසේ මම දීපු අයිස්ක්‍රීම් එක රිලවෙකුට දුන්නා නේ. එහෙනම් තමුසේ ඒ රිලවාම කසාද බැඳ ගන්නවා‘.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!