Gossip

ඩෙංගුත් කොරෝනා වගේමයි

කොරෝනා වසංගතය හේතුවෙන් අප කාටත් අමතකව ගොස් තිබූ නිහඬ මාරයකු මර්දනයට සූදානම් වන්නැයි ජනාධිපතිවරයාද, අගමැතිවරයාද පළාත් ආණ්ඩුකාරවරුන්ට හා පළාත්පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. රටේ නායකයන් ලෙස ඔවුන් මේ උපදෙස දෙන්නට ඇත්තේ ඩෙංගු රෝගය යළිත් හිස ඔසවන බවට පළවන වාර්තා සැලකිල්ලට ගෙන විය යුතුය. ඇත්තෙන්ම එය සතුටට කරුණකි. අපට අමතකව ගොස් තිබුණත් ඩෙංගු මදුරුවාට අප අමතකව ගොස් නැති බව සංඛ්‍යා ලේඛන අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වන්නට පටන් ගෙන ඇති බැවිනි.

සෞඛ්‍ය අංශ දත්තයනට අනුව වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් විසිදහසක් පමණ වාර්තා වී තිබේ. මේ අතරින් දැනට විසි දෙදෙනකු මියගොස් ඇත. අප්‍රේල් මාසයේ 476 ක් වූ රෝගීන් සංඛ්‍යාව මැයි මාසයේ 920 ක් දක්වා දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. ඩෙංගු රෝගය පැතිරීමේ වේගය කවරාකාරදැයි මෙයින් පැහැදිලිය.

මේ සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වන තවත් කාරණයක් තිබේ. අපේ අවධානයෙන් ගිලිහී ගියත්, ඩෙංගු යනු ද කොරෝනා වයිරසය තරම්ම භයානක රෝගයක් බවය. කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙදහසකටත් අඩු අගයක් ගන්නා විට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඒ සංඛ්‍යාව මෙන් දස ගුණයක් වී තිබේ. කොරෝනා මරණ සංඛ්‍යාව එකොළහක් වන විට ඩෙංගු මරණ සංඛ්‍යාව ඉන් දෙගුණයකට ආසන්නය.

එසේ වුවද කොරෝනා මරණ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාවන් මේ තරම් අඩු අගයක් ගන්නේ එහි භයානක බව අවබෝධ කරගෙන එය මර්දනය කිරීමට ගත් පියවර නිසාය. එසේ නම් අප එවැනිම අවධානයක් හා පරිශ්‍රමයක් යොදන්නේ නම් ඩෙංගු රෝගයද සැලකිය යුතු මට්ටමකින් පාලනය කරගත හැකිය. එහෙත් ඩෙංගු රෝගීන් හා මරණ සංඛ්‍යාව, කොරෝනා මරණ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉක්මවා යෑමෙන් පෙනී යන්නේ අප ඩෙංගු රෝගය නොතකා හැර ඇති බව නොවේද?

ඩෙංගු රෝගය මර්දනයට අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් බලධාරින්ට දුන් උපදෙස වැදගත් වන්නේ මේ නිසාය. එසේ වුවත් එය ඵලදායී පියවරක් වීමට නම් දේශපාලකයන් හා නිලධාරීන්ගේ පමණක් නොව, අප සියලු දෙනාගේද අවධානය හා ක්‍රියාත්මක වීමත් සිදු වුවහොත් පමණකි. කොරෝනා මර්දනයට සෞඛ්‍ය අංශ ඉදිරිපත් කළ උපදෙස් පිළිගෙන ඒ අනුව කටයුතු කළ ආකාරයටම ඩෙංගු රෝගය මර්දනයට අවශ්‍ය පියවරද ගැනීම අප කාගේත් වගකීමකි.

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට ඇති එකම ක්‍රමය වන්නේ තමන් අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමය. මෙහිදී මතුවන ප්‍රශ්නයක් ඇත. අප සැම දෙනා තම තමන්ගේ නිවාස, කාර්යාල අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට, පියවර ගත්තද රට පුරා ඇති වගුරු බිම්, අත්හැර දමන ලද ඉඩම් හා ගොඩනැගිලි, මාර්ග දෙපස ඇති කානු පද්ධති එලෙසම පිරිසිදු කරන්නේද යන්නය. ගමක එවැනි එක් ස්ථානයක් මුළු ගමටම ඩෙංගු මදුරුවා බෝ කරන්නට හේතුවක් විය හැකිය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!