Gossip

ටික කාලයකට රංගනයෙන් ඈත් වෙලා ඉන්න සිද්ධ වෙයි – කරන්නන් වාලේ රඟපාන්න මම කැමැති නැහැ – මලී

දැන් සමාධි දරුවෝ දෙන්නෙක්ගේ මවක්. කොහොමද ඉතින් ජීවිතේ?
දැන් ඉතින් බබාලා දෙන්නත් එක්ක කාලය ගත කරනවා. එයාලා වෙනුවෙන් තමයි කාර්යබහුල වෙලා ඉන්නේ. දැන් පුතාටත් මාස හතරයි. ඉතින් දුවයි පුතයි මගේ ජීවිතේ හැමදෙයක්ම වෙලා.

දැන් පවුල සම්පූර්ණයි කියලා හිතනවද?
ඔව්, දැන් ඉතින් අපිට දුවෙකුයි පුතෙකුයි දෙන්නෙක්ම ඉන්නවනේ. දැන් අපේ පවුල සම්පූර්ණයි කියලා හිතනවා.

දුවෙක් පවුලට හිටපු නිසා පුතෙක් ගැන වෙන්න ඇති ඊළඟ බලාපොරොත්තු තියාගෙන හිටියේ?
ඔව්, අපි මේ සැරේ බලාපොරොත්තු වුණේ පුතෙක්ව. ඉතින් ඒ බලාපොරොත්තුව ඒ විදියටම ඉෂ්ට වුණා.

පුතාගේ නම මොකක්ද?
අපි පුතාට නම තිබ්බේ සයුල් දිව්‍ය මොරගල්ල කියලා. දිව්‍ය කියන නම පුතාගේ නමට එකතු කරනවා කියලා අපි කලින්ම හිතාගෙන හිටියා.

දුව මල්ලිව පිළිගත්තේ කොහොමද?
දුවත් මල්ලිට පුදුම ආදරයක් තියෙන්නේ. මල්ලියෙක් එයාට ගෙනත් දුන්නට එයත් සතුටින්. දුවත් ඉතින් පුංචි පුංචි උදවු මට කරලා දෙනවා.

ආදරේ බෙදාගනිද්දි දුවගේ ප්‍රතිචාරය මොන වගේද?
තාම දුවත් මගේ කිරි බොනවනේ. මල්ලි කිරි බොනකොට දුවට ටිකක් ජෙලස්. මල්ලිට ආදරේ වුණාට එයා කිරි අයිතිය බෙදා ගන්න නම් තාම කැමැති නැහැ. මටත් මුල් දවස්වල දුවව පැත්තකින් තියලා අලුත් කෙනෙක් තුරුලට ගනිද්දි ඇඬෙන්න ආපු අවස්ථා තියෙනවා. දරුවෝ දෙන්නම මගේ පණ වගේ. දුවත් තාම පොඩියිනේ.

සමාධිට ජීවිතේ බලාපොරොත්තු වුණු හැම දෙයක්ම ලැබිලා තියෙනවද?
ඔව්, දෙවියන්ට පින්සිද්ධ වෙන්න මට හොඳ පවුලක්, දරුවෝ ඒ හැමදේම ලැබිලා තියෙනවා. දැන් ඉතින් තියෙන්නේ ව්‍යාපාර කටයුතුත් දියුණු කරගෙන දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කරන එක. හැමදේම හොඳින් සිද්ධ වෙයි කියලා හිතනවා.

පුතයි දුවයි දවසක ඉදිරියට යන්න කලා ක්ෂේත්‍රය තෝරා ගත්තොත්, සමාධි ඒකට කැමැති වෙනවද?
අපි එයාලට තෝර ගන්න ක්ෂේත්‍රය ගැන බල කරන්නේ නැහැ. එයාලා දක්ෂ ක්ෂේත්‍රයෙන් එයාලව ඉස්සරහට යවනවා.

දුව කලාවට ළැදියිද?
තාම එයාට අවුරුදු දෙකහමාරයි. නටන්න, ගයන්න එයා හරි ආසයි.

පවුලේ වැඩ කටයුතුවලදී සැමියාගෙන් සමාධිට ලොකු සහායක් ලැබෙනවා නේද?
ඔව්, අපිත් එක්ක අයියගේ අම්මා, අක්කලා ඉන්නවා. එයාලා ඉන්න නිසා හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. අයියත් හැමදේම හොයලා බලලා කරනවා.

සමාධි රංගන කටයුතුවලට කොච්චර කාලයක විරාමයක් තියයිද?
මම පුතා හම්බවෙන්න ඉන්නකොටත් රඟපෑවා. ටික කාලයකට රංගනයෙන් ඈත් වෙලා ඉන්න සිද්ධ වෙයි. හැබැයි අපේ ප්‍රඩක්ෂන් එකෙන් කරපු නිර්මාණ විකාශය වෙන්න පටන් ගත්තොත් ඒ නිර්මාණවල ඉතිරි කොටස්වලට රංගනයෙන් දායක වෙන්න වෙයි. මම ආයෙත් රංගනයට එද්දි කැප කිරීමක් කරලානේ නිර්මාණයකට එන්නේ. ඉතින් එහෙම එද්දි කරන දේ ඵලදායි දෙයක් වෙන්න ඕන. කරන්නන් වාලේ රඟපාන්න මම කැමැති නැහැ.

ටික කාලයකට හරි රංගනයෙන් ඈත් වෙලා ඉන්න දුක නැද්ද?
දුකක් නැහැ. මොකද දරුවෝ තමයි දැන් මගේ මුළු ජීවිතයම. මම දරුවෝ වෙනුවෙන්නේ රංගනයෙන් ඈත් වෙලා ඉන්නේ. වෙන දෙයක් වෙනුවෙන් මගේ රංගන ජීවිතය කැප කරන්න වුණා නම් තමයි දුක. සතුට මගේ පවුල වෙද්දි රංගනයෙන් ටික කාලයක් අෑත් වෙලා ඉන්න මට දුක නැහැ.

සමාධි පවුල පළමු තැන තියාගෙන ඉන්න කෙනෙක් නේද?
ඔව්. මම මුළු හදවතින්ම පවුලට බැඳිලා ඉන්නේ. මට දරුවන්ව පොඩ්ඩක්වත් දුරස් කරන්න බෑ. දරුවන්ගේ පුංචි කාලය හරි වටිනවා. ඒක හරි සුන්දර කාලයක්. ඒ කාලෙදි එයාලව අතහරින්න හොඳ නැහැ.

සමාධි ඉදිරියේදි සැමියාගේ ප්‍රඩක්ෂන්වලට විතරක් සම්බන්ධ වෙයිද?
තාම එහෙම හිතලා නැහැ. අපි කරපු ටෙලි නාට්‍ය කිහිපයක් තියෙනවා. ඒවාට මම සම්බන්ධ වුණා. ඒවා තාම විකාශය කරගන්න බැරිවුණා. ඒ නිර්මාණ එළියට ගෙනාවට පස්සේ ඉදිරි වැඩකටයුතු ගැන හිතන්න ඕන.

සමාධිට තියෙන හැඳුනුම්කම්වලින්වත් ප්‍රයෝජනයක් අරගෙන ඒ නිර්මාණ විකාශය කරගන්න බැරිද?
එහෙම ලොකු උත්සාහයක් ගත්තේ නැහැ. හැබැයි ඉදිරියේදී ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕන.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!