Gossip

ජේලර්ලා තුන් දෙනෙක් හිර බත් කද්දී, මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ තවමත් අල්ලන්න බැරි ඇයි..?

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට නීති විරෝධී ලෙස පහසුකම් ලබාදීමේ චෝදනාවට වරෙන්තු ලැබ සිටි මීගමුව බන්ධනාගාරයේ සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න යන ජේලර්වරුන් දෙදෙනා අද (29) මීගමුව අධිකරණයට භාර විය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ කාලිංග කළුඅග්ගල නැමැති මීගමුව බන්ධනාගාරයේ දෙවන පෙළ ජේලර්වරයා ද අද අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

කෙසේවෙතත් වරෙන්තු නිකුත් කර අදට දින 07ක් ගතවුවත් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මෙතෙක් අත්අඩංගුවට ගැනීමක් හෝ පොලීසියට භාරවීමක් සිදු වී නැත.

වරෙන්තු ලබා සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා අද අධිකරණය හමුවේ පැවසුවේ, අධිකරණය විසින් සිය සේවාදායකයාට අදාළව වරෙන්තුවක් නිකුත් කර ඇත්තේ කරුණු හරි හැටි අධ්‍යයනයකින් තොරව බවය.

බී වාර්තාවේ සඳහන් කරුණු බෝහෝමයක් නව කතාවක ස්වරූපයෙන් රචනා වී ඇති අතර ඒවා මාධ්‍ය සංදර්ශනයක් වෙනුවෙන් බී වාර්තාවට ඇතුළත් කර ඇති බව ද ජනාධිපති නීතීඥවරයා පැමිණිලි පාර්ශ්වයට චෝදනා කළේය.

රැඳවියන්ට පහසුකම් ලබාදීම සම්බන්ධයෙන්, චෝදනා එල්ලව දැනට අත්අඩංගුවේ පසුවන බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පැවසුවේ තම සේවාදායකයන් ක්‍රියාත්මක කර ඇත්තේ ඉහළ නිලධාරියෙකුගෙන් ලැබුණු නියෝගයක් බවය.

අනතුරුව අධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ දින 07ක් මුළුල්ලේ නීතිය මගහරිමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අද කිසිවක් නොවුණා සේ අධිකරණයට පැමිණ භාර වී ඇති අතර සැඟව සිටින තවත් අයෙක් ජනාධිපති නීතීඥවරයෙක් ප්‍රමුඛ නීතීඥ මණ්ඩලයක් අධිකරණයට එවා ඇති බවය.

වරෙන්තු ලද සැකකරුවන් දින 07ක් ගත වී තිබුණද මෙරට 87000ක් වන පොලිස් බලකායට වර්ග කිලෝමීටර් 65000ක් තුළ සැඟව සිටින සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම ඉතා බරපතළ තත්ත්වයක් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට ප්‍රකාශ කළේය.

වරෙන්තු ලබා සිටින විමර්ශනයේ පළමු සැකකාර අනුරුද්ධ සම්පායෝ නැමැත්තා වරෙන්තුව නිකුත් වී දින දෙකකට පසු කිසිඳු බියකින් තොරව අලුත්කඩේ ප්‍රදේශයට පැමිණ දිවුරුම් පෙත්සමක් ද අත්සන් කර ගොස් ඇති බව පසුව හෙළි වී තිබේ.

පළමු සැකකාර සම්පායෝ අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා මුළුමනින්ම වගකිවයුතු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

පොලිස් ආඥා පනතට අනුව වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළහොත් මාස 03ක පඩිය අයකර ගැනීම හෝ මාස 03ක සිර දඬුවමක් ලබාදීමේ නෛතික ප්‍රතිපාදන ද පවතියි.

විත්ති පාර්ශ්වය පවසන පරිදි මෙය ශීතකරණයකට අදාළ නඩුවක් නොවන අතර රාජ්‍ය අනුග්‍රහය යටතේ බන්ධනාගාර තුළ වංචා සහගත ව්‍යාපාර සුවපහසු ලෙස කරගෙන යාමට ඉඩදීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයක් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

බන්ධනාගාර තුළ සිටින ඇතැම් අපරාධකරුවන්ගෙන් මේ වන විට ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුලු නිලධාරීන් ඝාතනය කරන බවට තර්ජනය කරන තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් මෙය එවැනි අපරාධකරුවන්ට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයක් වන බව ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මෙහිදී අවධාරණය කළේය.

බන්ධනාගාරයේ දූෂිත නිලධාරීන් ඉවත් කිරීමේ නීතිපතිවරයාගේ කාර්යභාර්යට පොලිස්පතිවරයා කිසිදු සහයක් නොදක්වන අතර,  එළඹෙන සිකුරාදා දිනයට පෙර අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට නොහැකිනම් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පතිවරයා පෞද්ගලිකවම අධිකරණයට කැඳවිය යුතු වේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ, බන්ධානාගරවලට සම්බන්ධ දූෂණ ධුරාවලියේ බැබළෙන තරුව වන අනුරුද්ධ සම්පායෝ බන්ධනාගාර ආශ්‍රීතව “ක්‍රිමිනල් එන්ටර්ප්‍රයිසස්” එකක් නොහොත් අපරාධ සමූහ ආයතයක් පවත්වාගෙන ගොස් ඇති බවය.

අධිකරණ ක්‍රියාවලියට අනුව වරෙන්තු ක්‍රියාත්මක නොකරන්නේ නම් පොලිස්පතිවරයා හෝ ඕනෑම තරාතිරමක අයෙකුට නීතිපතිවරයා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සැකකාර පර්ශ්වය මාධ්‍ය සංදර්ශයක් ලෙස හුවා දක්වමින් මාධ්‍ය මගින් සිදුකරන අපරාධ අනාවරණයට චෝදනා කිරීම පණිවුඩකරුවාට වෙඩි තැබීමක් බවය.

එහිදී සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා පැවසුවේ, දරුණු අපාරධ රැසක් අනාවරණ කරගැනීමට දායක වූ පොලෙීසිය මෙන්ම පොලිස්පතිවරයාට මල් කලඹක් පිරිනමන බවය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ අධිකරණය පළමු සැකකාර අනුරුද්ධ සම්පායෝට අදාළ වරෙන්තුව දීර්ඝ කිරීමටත් පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.

එමෙන්ම අත්අඩංගුවේ පසුවන බන්ධනාගාර නිලධාරීන් තිදෙනා අගෝස්තු මස 04 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!