Gossip

ජපානයේ මිනිස්සුන්ගේ ආචාරශීලි බවට මම හරිම ආසයි. ඉතාලියේ මිනිස්සුත් එහෙමයි. මිනිස්සු එකිනෙකාට හරිම ගරුත්වයක් දක්වනවා. ‘‘අනේ අපටත් මෙහෙම වෙන්න බැරි ද?’ – භාග්‍යා හෙට්ටිආරච්චි

භාග්‍යා, නිතරම ලංකාවේ නැහැ නේ ද?
ඇත්තටම මේ වසරේ නම් හිටියේ නැති තරම්.

පිටරට ගිහින් මොනව ද කළේ ?
කොහොමටත් මම රට රටවල සංචාරයට හරිම ප්‍රියයි. ඒ වගේම කෞෂාල් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සංචාරය කරන නිසා එයා එක්කත් මේ වසරේ සංචාරවලට එක් වුණා.

ඇයි මෙච්චරටම සංචාරයට ප්‍රිය?
ඒක මගේ විනෝදංශයක්. ඒ වගේම දැකලා නැති දේ දැක බලා ගන්න. විවිධ සංස්කෘතින්, විවිධ මිනිස්සු, දැකලා හමුවෙලා, අධ්‍යාපනික වශයෙනුත් දෙයක් ලබා ගන්න කැමතියි.

මේ විදියට ලෝකය වටේ ගිහින් වාර්තාවක් තියාවි ද?
වාර්තාවක් බලාපොරොත්තුව නෙවෙයි, සංචාරය කරන්නෙ. මගේ දැනුමට දෙයක් එකතු වෙනවා. නිකම්ම සංචාරයක් ගිහින් එනවට වඩා රට රටවල් ගැන බොහෝ දේ දැනගෙන එන්නෙ. ජීවිතයටත් බොහෝ දේ ඉගෙන ගන්න පුළුවනි.

මේ විදියට සංචාරය කර විනෝදාංශය පටන් ගත්තෙ කවදාද?
මුලින්ම පටන් ගත්තෙ නම් ලංකාව වටේ යන්න. ලංකාවෙ තව නොගිය තැන් බොහෝමයි. ලංකාව ඇතුළේ සමහර අය නොගිය තැන්වලට සංචාරය කරන්න ආසයි. මේ ගමන පටන් ගත්තෙ විවාහයට පෙරයි, විවාහයෙන් පසුව නිදහස තරමක් වැඩි වුණා. මොකද තනියම සංචාරය කිරීම අපහසුයි. රටින් රටට සංචාරය කරන්න පටන් ගත්තෙ කෞෂල් එක්ක විවාහ වුණාට පස්සෙ.

කෞෂාල් මොකද කියන්නෙ?
එයත් හරිම ආසයි සංචාරයට ඔක්කෝම ප්ලෑන් කරන්නෙ මම. සමහර වෙලාවට මාව පුදුම කරවන්න හිතාගෙන එයා සංචාර ප්ලෑන් කරලා මට කියනවා හා ලෑස්ති වෙන්න යන්න කියලා. එක් වතාවක එයා ඒ විදියට මාව ස්විට්සර්ලන්තයට එක්ක ගෙන ගියා. මම තනියම ගියොත්, එයාට පාළුයි. එක පාරක් මගෙ යෙහෙළියක එක්ක ගියා. ඉතින් මටත් කෞෂාල් නැතුව දැනුණේ ලොකු පාළුවක්.

මේ විදියට මේ දක්වා සංචාරය කළ තැන් වලින් ඔබගෙ සිත්ගත් ස්ථාන ගැන සඳහනක් කළොත්?
ළඟක දී ඉන්දුනිසියාවේ බාලි දූපත්වලට ගියා. බාලි අපේ රටට සමානයි. හැබැයි අපට වඩා සංචාරක කර්මාන්තය ඉතා දියුණුයි. පැය දෙකක් ඇතුළත දී ඒ දූපතේ විවිධ තැන් දැක බලා ගැනීමට ප්‍රවාහන පහසුකම් පවා ඉතා සැළසුම් සහගතව පිළියෙල කරලා තියෙනවා. ඇත්තම කිව්වොත් ඒ වගේ අපේ රටේත් සංචාරක කර්මාන්තය නගා සිටුවන්න පුළුවනි. ඒකට සැළැස්මක් අවශ්‍යයි.පසුගිය මාස කීපයේ දී කෞෂාල් එක්ක එංගලන්තයේ සංචාරය කළා. එහි දී ඒ රටේ බොහෝ තැන්වලට ගියා. වෙනස් වෙනස් ජන සමාජ මුණ ගැසුණා. ලන්ඩන් නගරයේ සිටින ජනතාවට වඩා ඈත පළාත්වල සිටින මිනිස්සු හරිම වෙනස්. හරිම හොඳයි.ග්‍රීසියටත් මම හරිම ආසයි. එහෙ තියෙන වෙරළ තමයි මම මෙතෙක් දැකපු සුන්දරම වෙරළ, මිනිස්සුන් හරිම වෙනස්. ඉන්දියන් සාගරය වගේ නෙවෙයි. අත්ලාන්තික් සාගරයේ සිටින මාළුවන් පවා හරි වෙනස්. සමහර විට දවසම වතුර යටට වෙලා කිමි දෙන්න පුළුවනි. ඒක වෙනම ලෝකයක්. හරිම ලස්සනයි. බොහෝ සංචාරකයන් එතැනට එන්නෙ කිමිදුම් ආස්වාදය ලබන්නයි. මුහුදු තීරය හරිම පිරිසිදුයි. කිමිදෙන විට අපට දැනෙන්නෙ හරියට ලොකු මාළු ටැංකියක් ඇතුළෙ ඉන්නවා වගේ හැඟීමක්. එහි වැවෙන පළතුරු එළවළු පවා අපේ කලාපයට වඩා වෙනස්.

හොඳම මිනිස්සු, අමුතු මිනිස්සු කොහේදි ද හමුවුණේ ?
සංස්කෘතිය අනුව ජපානයේ මිනිස්සුන්ගේ ආචාරශීලි බවට මම හරිම ආසයි. ඉතාලියේ මිනිස්සුත් එහෙමයි. මිනිස්සු එකිනෙකාට හරිම ගරුත්වයක් දක්වනවා. ‘‘අනේ අපටත් මෙහෙම වෙන්න බැරි ද?’’ කියන හැඟීම තමයි එතකොට අපට ඇති වන්නෙ. ජපානයේ කෑමවලටත් මම හරිම ආසයි.

මේ විදියට සංචාරය කරන භාග්‍යා ඡයාරූප ගන්නත් හරිම දක්ෂයි නේද?
ඡයාරූප ගැනීම තමයි මගේ ප්‍රියතම දේ. සංචාරය කරන්නෙත් සමහරවිට ඒ නිසාම වෙන්න ඇති.

මේ විදියට ජීවිතය ගත කරන භාග්‍යාගෙ ‘‘ජීවිතය’’ කොහොමද කියලා ඇහුවොත්?
හොඳයි, හොඳින් ගෙවෙනවා.

ආයෙත් රඟපාන්න අදහසක් නැද්ද?
ආයෙත් හොඳ නිර්මාණයකට දායක වෙන්න ආසයි. හැබැයි හොඳ නිර්මාණයක් නම් විතරමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!