Gossip

චතුරිකාගේ බඩට අත තියලා චූටි දුවට ආරාධනා කියලා කතාත් කළා.. පාන්දර ඇහැරිලා ඇඳේ ඉඳගෙන පිරිත් දාගෙන එයත් හෙමීට පිරිත් කියනවා. – ගයාන් වික්‍රමතිලක

පසුගිය කාලයේදී චතුරිකා කලා කටයුතුවලට වැඩියෙන් නැඹුරු වුණේ නැහැ? ගෙවුණු මාස නවයක කාලය තුළදී චතුරිකා වැඩියෙන්ම ආස කළේ මොනවටද?
දරැවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තු කාලයේ ඉඳන්ම චතුරිකා එක්ක වැඩිපුර කාලයක් ගතකරන්න උත්සාහ ගත්තා.
ඒ කාලෙදිත් චතුරිකා වැඩිපුර එහේ මෙහේ යන්න කැමැත්තක් දැක්වූයේ නැහැ. අනෙක චතුරිකා ඒ කාලෙදී කෑමට බීමට වුණත් ලොකු පෙරෙත්තයක් දැක්වූයේ නැහැ.
ඒ කාලයේදී බොහෝදෙනා කොස්, ඇඹරුල්ලා, පොලොස් වගේ දේවල්වලට ආස වුණාට ඒ කාලේදී චතුරිකා වැඩිපුරම ආස වුණේ ඊට හාත්පසින්ම වෙනස් කෑමබීමයි. විශේෂයෙන් මේ කාලයේදී චතුරිකා බිත්තර, චීස්, නූඩ්ල්ස් වගේ දේවල් තමයි වැඩිපුර කෑවේ.
ඒ නිසා ඒවා හොයලා දෙන්න මට ලොකුවට මහන්සි වෙන්නත් ඕනවුණේ නෑ. ඒ කාලයේදී මමත් මගේ වැඩත් එක්ක ටිකක් කාර්යබහුල වුණා. ඒ හැමදෙයක්ම චතුරිකා හොඳට තේරැම් අරගෙන තිබුණේ. මාස කිහිපයක් යද්දි අපිට ලැබෙන්න යන්නේ දුවෙක් කියලා අපි දැනගත්තා. ඊටපස්සේ චතුරිකාගේ ලොකුම වැඩේ වුණේ චූටි දුවට අවශ්‍ය කරන බඩු භාණ්ඩ සූදානම් කරන එකයි. කොහොමහරි දුව ඉපදෙද්දි එයාට අවශ්‍ය කරන දේවල් ඒ ආකාරයෙන් ලෑස්ති කරගන්න චතුරිකාටයි මටයි පුළුවන් වුණා.

දුව ඉපදෙද්දි චතුරිකා ළඟටම වෙලා ඉන්න ගයාන්ට පුළුවන් වුණා නේද? ඒ අත්දැකීම ගැන මොකද හිතෙන්නේ?
අම්මෝ.. මම ඒ වගේ අවස්ථාවකට මුහුණදෙන්න ජීවිතේටම බලාපොරොත්තු වුණේ නැහැ.
ඒ අත්දැකීම මට ලැබුණට පස්සේ තමයි මට තේරුණේ අම්මා කෙනෙක් කියන්නේ කොයිතරම්නම් වගකීම් සම්භාරයක් එක්ක වැඩ කරන කෙනෙක්ද කියලා. තාත්තා කෙනකුත් දරුවන්ට ආරක්ෂාව රැකවරණය දෙනවා. නමුත් අම්මා කෙනෙක් විදිහට දරුවෙක් මේ ලෝකෙට බිහිකරන මොහොතේදී ඒ අම්මා කොච්චර අවදානමක් ජීවිතයට ගන්නවද කියලා මම එදා දැනගත්තේ. දරුවෙක් මේ ලෝකෙට බිහිකරනතාක් ඒ අම්මා ඒ කාලය තුළදී විඳින වේදනාව දරැවාගේ හඬ ඇසීමත් සමඟම නැතිවෙලා යන හැටි මම එදා දැක්කා. ස්වභාවදහම අම්මාගේ කුසින් දරුවකු බිහිකිරීම තීරණය කිරීම කොයිතරම් නම් සාධාරණද, වටිනවද කියලා එදා මට හිතුණා. අම්මා ළඟ ඒ මොහොතේදී තියෙන වගකීම හා දරාගැනීම මට ඒ මොහොතේදී හොඳටම දැනුණා.

පුංචි අමුත්තියට අයියලා දෙන්නගේ පිළිගැනීම කොහොමද?
තාම දෝණිගෙ අයියලා දෙන්නා බලන්න ආවෙ නැහැ. බොහෝදුරට ළඟදිම දවසක බලන්න ඒවි. ඒ දෙන්නා අතරට නංගියෙක් එනවා කියලා දැනගත්තු මුල් දවස්වලදී ලොක්කගෙනම් පොඩි අකමැත්තක් තියෙනවා කියලා එයාගේ කතාබහෙන් මට පොඩ්ඩක් තේරුණා. පොඩි පුතාගෙනම් එහෙම වෙනසක් දැනුණෙ නෑ. කාලයත් එක්ක ඒ හැමදේම විසඳේවි.

චූටි දුවගේ වැඩකටයුතු කරන්නේ කවුද?
දැන්නම් චතුරිකාට ඒ දේවල් චුට්ට චුට්ට හුරුයි. ඒ නිසා අපි දෙන්නම එකතුවෙලා චූටි දුවව බලාගන්නවා. එයාගේ වැඩ කරනවා. අපිට උදව්වට කෙනකුත් ඉන්නවා. ඉතින් එයත් චූටි දුවව හොඳට බලනවා. තාම චූටි දුවව නාවන්නෙනම් ඒ සහයිකාව තමයි.

චූටි දුවගේ නම මොකද්ද?
අපි එයාට නම තිබ්බේ ආරාධනා වික්‍රමතිලක කියලයි. මම නම් දෙක තුන දාලා නම දිග්ගස්සන්න ආස වුණේ නැහැ. ඉතින් ආරාධනා කියන නම විතරයි අපි චූටි දුවට දැම්මේ. මේ නම දාන්න හිතුවෙත් මමමයි. දුව ඉපදෙන්නත් කලින් දවසක මම චූටි දුවව හීනෙන් දැක්කා. පහුවදා උදේ තමා ආරාධනා කියන නම දාන්න ඕන කියලා හිතුණේ. අපි මේ නම දැම්මෙත් අකුරු බලලවත් වෙලාව බලලවත් නෙවේ. ඒ හීනය ගැනත් මම චතුරිකාට කිව්වා. හීනය දැකපු පහුවදා ඉඳන් චතුරිකාගේ බඩට අත තියලා චූටි දුවට ආරාධනා කියලා කතාත් කළා.
අද වෙනකොට දුවට ඒක කොච්චර හුරුද කියනවනම් තවම බෙල්ල හරියට හරවගන්න බැරි වුණත් මම නම කියලා කතා කරද්දි මගේ හඬට බෙල්ල හරවලා බලන්න උත්සාහ කරනවා. දරුවා කුසට ආපු දා පටන් චතුරිකා ගොඩක් පරිස්සම් වුණා. කෑම, බීමවලින්, යන එන තැන්වලදී මහන්සි නොවී ඉන්න පරිස්සම් වුණා.
චතුරිකා දුව ඉපදෙන්නත් කලින්ම දුවත් එක්ක කතා කළා.
පිරිත් අහන්න දුන්නා. සමහර දවස්වල පාන්දර දෙකට තුනට ඇහැරිලත් ඇඳේ ඉඳගෙන පිරිත් දාගෙන එයත් හෙමීට පිරිත් කිය කියා බඩ අතගාමින් හිටපු දවස් තිබුණා.

මව් පදවිය ලබපු චතුරිකා කලාවෙන් ඈත් වෙයිද?
නැහැ නැහැ. එයා අනිවාර්යයෙන්ම ඉතා ඉක්මනින් කලාවට ආයෙත් සම්බන්ධ වෙනවා. බොහෝවිට තව සති දෙකකින් විතර එයාට මම අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යයක ෂූටිං පටන්ගන්නවා. ඊට අමතරව ජනවාරි වෙද්දි නව චිත්‍රපටයක් රූගත කිරීම් කෙරෙනවා. ඒවාට එයා ලෑස්ති වෙන්න ඕන. මම හිතනවා ඒ හැම මොහොතකම දුවත් අපිත් එක්කම ඉඳීවි. එයා ඒ හැමවෙලේම අම්මා තාත්තා එක්කම ඉඳීවි.

උපුටා ගැනීම – දේශය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!