Gossip

“ගොඩක් අය බාගෙට බාගයක් කැරොකිවල නටපු අය- ඒ අය අද ලස්සනට ඉන්නේ උප්පත්තියෙන්ම කොළඹ හතේ ඉපදුණා වගෙයි” – පියුමි හංසමාලි

පියුමි.. මේ දවස්වල මොනවද කරන්නේ?
මම මගේම කියලා සැලෝන් එකක් පටන් ගන්නයි හදන්නේ. ඉතින්… මේ දවස්වල තියෙන ලොකුම වැඩේ ඒ සැලෝන් එක වෙනුවෙන් මහන්සි වෙන එක තමයි. තාම හරියට සුදුසු තැනක් ලැබුණේ නැහැ. තැන් කිහිපයක්ම බැලුවා. හැබැයි ළඟදීම සුදුසු තැනක මම මගේ සැලෝන් එක දානවා.

මේ කොයි කාලේදී දැකපු හීනයක්ද?
මේක දැන් අවුරුදු හතරකට විතර කලින් මගේ ඔළුවට ආපු දෙයක්. මට මගේ යාළුවෝ හැමෝම සැලෝන් එකක් කරන්න කියලා කිව්වා. මම ඒ වැඩත් දන්නවා. ඒකට මට ආසාවකුත් තියනවා. ඉතින්… ඒ ආසාව තමයි ළඟදීම හැබෑවෙන්න යන්නේ.

ඔබ ඉන්දියානු නිර්මාණයකටත් දායක වුණානේ. ඒ ලබපු අත්දැකීම කොහොමද?
ඔව්… ඇත්තටම ඒක හොඳ අවස්ථාවක්. වෙනස්ම අත්දැකීමක්. මම ලංකාවේ අධ්‍යක්ෂකවරුන් යටතේ රඟපාලා තිබුණට විදෙස් රටක කරපු නිර්මාණයකට දායක වෙන්න මීට කලින් ලැබුණේ නැහැ. අපේ සෙට්වල සමහර අයට තවත් කෙනෙකුට ගරු කරන්න තේරෙන්නෙ නැහැ. හැබැයි අපේ රටේ හැමෝම එහෙම නෙවේ. අපේ රටේ හොඳ කලාකරුවන් කලාකාරියන් ඉන්නවා. ඒත් සමහරු අනිත් කෙනාව පහත් කරලා තමයි කතා කරන්නේ. මම ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ.

ලංකාවේ නිර්මාණයකට පියුමිට ආරාධනාවක් ලැබුණේ නැද්ද?
ලංකාවේ නව නිර්මාණ හතර පහකට ආරාධනා ලැබුණා. හැබැයි ඒ එකක්වත් මට ගැළපුණේ නැහැ. මම නිදහස කියන දේ හරියට හිතන කෙනෙක්. අනිත් අය වගේ රඟපාමින් ඉන්න මම කැමති නැහැ. ඒ නිසා මම ඒ නිර්මාණ භාරගත්තේ නැහැ.

පියුමිගේ පුතා ගැනත් අපි ටිකක් කියමු?
ඔව්… මගේ ජිවිතේ තමයි මගේ පුතා. එයාගේ නම කාවිංග සංකල්ප. එයා ඉස්කෝලෙ හොඳට ඉගෙන ගන්න දරුවෙක්. එයාට හරි ලස්සන හදවතක් තියනවා. එයා ඉතාම සංවේදී ළමයෙක්. ඒ වගේ පුතෙක් මට ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඒ අතින් මම ගොඩාක් වාසනාවන්තයි.

ජිවිතේට ලැබුණු අභියෝගවලට ඔබ කඩා නොවැටී මුහුණ දුන්නේ කොහොමද?
මම හිතන්නේ ඒක මගේ හිත හයියකම කියලයි. පොඩි කාලේ ඉඳලා දරාගැනීමේ ශක්තිය මට හොඳට තිබුණා. නැත්තම් අපේ මිනිස්සු මඩ ගහන විදිහට මම වැටුණා නම් මම මැරිලා ගොඩක් කල්. සාමාන්‍ය කෙනෙක්ට වඩා පියුමි හංසමාලි කියන්නේ ගොඩක් මඩ කාපු කෙනෙක්. මාව බොහෝ දෙනා වැට්ටුවා. මට කොච්චර මිනිස්සු මඩ ගැහුවත් මගේ පවුලේ අය තමයි පියුමි හංසමාලීව හොඳටම හඳුනන්නේ. ඒ නිසා අනිත් අය කියන දේ මට ප්‍රශ්නයක් නෙවේ. අනිත් අය බොරුවක් කියද්දි ඒ දේට මුහුණ දීමේ ශක්තිය මට තියනවා. බොරුවට ආයුෂ නැහැ. ඉතින්…… මම හැමදාම සත්‍ය කතා කරන ගැහැණියක්. මට හැම ප්‍රශ්නයකටම මුහුණ දීමේ ශක්තිය තියනවා. හැමදාම සත්‍යයෙන් ජිවත් වන නිසා මම වැටුණට බය නැහැ.

ජිවිතේ වැඩියෙන්ම කඩා වැටුණේ කවදද?
මගේ තාත්තා නැතිවුණ දවස තමයි මම ජිවිතේ වැඩියෙන්ම කඩා වැටුණේ.

පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද?
පුංචි කාලේ මම ගුවන් සේවිකාවක් වෙන්න හරියට හීන දැක්කා. ඒක පුදුමාකාර ආසාවක්. ඒ සාරියට මම ආස කළා. ප්ලෙන් එකේ යන්න මම ආසයි. රඟපාන්න, නිරූපිකාවක් වෙන්න මම කවදාවත් හිතුවේ නැහැ. හැබැයි දැන්නම් මම හිතනවා හොඳ වෙලාවට ගුවන් සේවිකාවක් නොවුණේ කියලා. සමහර වෙලාවට අපි ෆ්ලැයි කරද්දි ඇම්බැක්කේ නැති කැටයම් තමයි සමහර ගුවන් සේවිකාවන් ළඟ තියෙන්නේ. ඔරවනවා. පුප්පනවා. හැබැයි සමහරු නම් ඇවිත් හොඳට කතා කරලා යනවා. මම ඔය ලොකු ලයින්වලට කැමති නැහැ. අපි ඔක්කොම අද ඉඳලා හෙට මැරෙන මිනිස්සු. ඉතින්…. ඔය බොරු සෝබන මොකටද?

පියුමි හංසමාලි කියන්නේ කවුද?
පියුමි හංසමාලි කියන්නේ පොළවේ පයගහලා ජිවත් වෙන කෙනෙක්. බොරු සෝබනවලින් රඟන්නේ නැහැ. පියුමි හංසමාලි බොහෝම පුංචි තැනකින් ආපු කෙනෙක්. දැන් ඉන්න ගොඩක් අය බාගෙට බාගයක් කැරොකිවල නටපු අයයි. ඒ අය අද බොරුවට ලස්සන සුඛෝපබෝගී ජිවිත ගෙවන්නේ උප්පත්තියෙන්ම කොළඹ හතේ ඉපදුණා වගෙයි. පියුමි හංසමාලි කියන්නේ හරි දුප්පත් පවුලක ඉපදුනු සාමාන්‍ය කෙනෙක්.

ඊළඟට තියෙන ඉලක්කය සැලෝන් එකද?
ඔව්… හැබැයි ඒකත් මේ රජ කරන්නවත්, තව කෙනෙක්ව කපාගෙන යන්නවත් නෙවෙයි. මගේ අම්මයි දරුවයි එක්ක හොඳින් ජිවත් වෙන්නයි.

සටහන – දිශානී

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!