Gossip

ගෙවත්තේ තේක්ක ගසක අතු කපද්දී වැටී මියගිය සිවිල් ආරක්ෂක භටයා බුහුමන් මැද අවසන් ගමන් යයි

තේක්ක ගසකින් ඇදවැටී තුවාල ලබා අම්පාර මහරෝහලට ඇතුලත් කල සිවිල් ආරක්ෂක භට‍යෙකු ඉකුත් 14 වැනිදා මියගොස් ඇති බව මධ්‍යමකඳවුර පොලීසිය කියයි.

මෙසේ මිය‍ගොස් ඇත්තේ චන්ද්‍රපති මොහොට්ටි මුදියන්සේලාගේ චමින්ද සම්පත් කුමාර (34) නැමති 9/86 මධ්‍යමකදවුර ලිපිනයේ පදිංචි එක් දරු විවාහක පියකි. ඔහු උහන සිවිල්ආරක්ෂක බලකා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ අයෙකි.

සිද්ධිය වූ දින දහවල් සිය නිවසේ ගෙවත්තෙහි තිබුණ තේක්ක ගසකට නැග අත්තක් කපන විට එම අත්ත සමග ඇදවැටුන බවත් එහිදී බරපතල තුවාල ලබා සිටි ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බව දැන ගන්නට ලැබුණ බවත් මෙම මරණය සම්බන්ධව අම්පාර මහ‍ ‍‍රෝහලේදී පැවති හදිසි මරණ පරීක්ෂනයේදී ඔහුගේ මව සහ බිරිඳ සාක්ෂි දුන්හ.

අම්පාර මහ ‍රෝහලේ හදිසි මරණ පරීක්ෂක කාර්යාලයේදී ඉකුත් 15 වැනිදා සාම විනිසුරු කේ. කරුණාත්න මහතා ඉදිරියේ මෙම හදිසි මරණ පරීක්ෂණය පැවැත් විණි.

රාජකාරිය නිම කොට නිවසට පැමිණ සිටි ඔහු දහවල් කාලයේ අවේලාවක මෙම ගසට නගින විට එසේ නොකරණ ‍ලෙස පැවසුවත් එය නොතකා තේක්ක අතු කපන විට එම අත්ත සමග ඇද වැටුන බවත් එහිදී ඔහුගේ හිස ප‍්‍රදේශයට බරපතල තුවාල සිදුවී තිබුණ බවත් ඔහුගේ බිරීඳ ඒ.එම්.දුලානි සඳමාලි මහත්මිය හැඬූ කඳුලින් යුතුව සාක්ෂි දුන්නාය.

මෙහිදී මරණ කරුගේ මව වන රත්නායක මුදියන්සේලාගේ කුසුමාවති මහත්මියද සාක්ෂි දුන්නාය.

මෙම මරණය සම්බන්ධව අම්පාර මහ රෝහලේ අධිකරණ ‍‍වෛද්‍ය නිලධාරී රොෂාන් එරන්ද මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මෙය ගසකින් ඇද වැටෙන විට හිසට සහ පපුවට මොට පහර වැදීමෙන් අභ්‍යන්තර ඉන්ද්‍රිය යන්ට වූ හානිය නිසා සිදුවූ මරණයක් බවට නිගමනය කළේය.

ලබාගත් සාක්ෂි සහ එම අධිකරණ වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගත් හදිසිමරණ පරීක්ෂක ‍කේ. කරුණාරත්න මහතා මෙය තේක්ක ගසකින් ඇද වැටීමේදි සිදුවූ හදිසි මරණයක් බවට තීරණය කළේය.

මධ්‍යමකඳවුර පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.ඒ. විජේසිංහ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක රංජිත් කුමාසිරි සහ පොලිස් සැරයන් 4983 නිමල් යන නිලධාරීහූ සාක්ෂි මෙහෙයැවූහ.

මියගිය සිවිල් ආක්ෂක භටයාගේ අවසන් බුහුමන් දැක්වීම ජනපද වාසීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සියඹලාවැව පොදු සුසාන භූමියේදී සිදුවිය.

එහිදී උහන සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ අණදෙන නිලධාරී ලූ‍තිනන් කර්නල් සුනිල් ජයරත්න මහතා‍ගේ මෙහෙයැවීමෙන් උත්මාචා‍ර පෙලපාලිය සහිත ආචාර වෙඩිමුර පවත්වා මියගිය සිවිල් ආක්ෂක භටයාට ගෞරවය පුද කළහ.

(දඩයම්තලාව පී.ජයසිංහ)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!