Gossip

“ගෙදරින් මේකට කැමති නෑ. ඒ වුණාට මම දිස්නව බඳිනවා.අක්කේ මම ඔයාගේ මල්ලිව බඳිනවා”

ජීවිතයේ කළ කම් පළදෙන්නේ අපි නොසිතන වෙලාවකදීය. පර පණක් නැසීම යනු කිසිදා ගැළවිය නොහැකි පාපකර්මයකි. ජීවිතයට සැවොම ආදරය කරති. ප්‍රිය කරති.
එවන් දහමක නියැලී සිටින මේ ලෝකය තුළ ජීවත්වන මිනිසාගේ ආයු කාලය ද ඉතා අල්ප වූවකි.
මේ සුළු ජීවිත කාලය තුළ අනෙකකු පරලොව යවා තමන් යහතින් ජීවත්වීමට සිතනවානම් එය මුළාවකි. ගොනු පසුපස ඇදෙන ගැල මෙන් එම පාපය තමන් පසුපස ලුහුබැඳ ඒම වැළැක්විය නොහැකිය.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි කිරම කංකානම්ගේ දිනේෂ් තිළිණ ධනුෂ්ක ආරියරත්න සේවය කරමින් සිටියේ පොලිස් දෙපාර්තමේන්තුවේය.
කුරුණෑගල පොලිසියේ පොලිස් නිල සුනඛ අංශයේ ඔහු ඒ වන විටත් සේවය කරමින් සිටියේ පොලිස් කොස්තාපල්වරයකු ලෙසටයි.
අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේ පදිංචිව සිටි දිස්නා ප්‍රියදර්ශනී නම් 28 හැවිරිදි තරුණිය දිනේෂ්ට හමුවන්නේ අහම්බයකිනි.
දිස්නාගේ සොහොයුරා හමුවීමට ඒ නිවෙසට ගිය අවස්ථාවකදී දිස්නා කෙරෙහි ඔහුගේ සිත ඇදී යන්නේ තමා විවාහකයකු යන බවද අමතක කර දමමින්ය.
කෙසේ වුවද මේ හමුවීම සමඟම දෙදෙනා පෙමින් වෙලී ගියේ අනාගතයේදී මහා බියකරු අවාසනාවක සෙවණැලි මැවෙමින් තිබියදීය.
28 හැවිරිදි වියේ පසු වූ දිස්නා මේ හමුවීමෙන් මහත් සතුටට පත්ව ජීවිතයේ බොහෝ බලාපොරොත්තු අතර සැරිසැරුවේ ගැහැනියකට උරුම යුග දිවියේ අහිංසක සිතිවිලිවලින් හදවත පුරවාගෙනය. දිනේෂ් ඇයට විවාහ යෝජනාවක් ගෙන ආවේ මේ අතරතුර දීය.
“ගෙදරින් මේකට කැමති නෑ. ඒ වුණාට මම දිස්නව බඳිනවා.” ඔහු ඇගේ සොයුරාට කීවේය.
ඔහුගේ ඉල්ලීම පරිදි දිස්නාගේ සොයුරා, ඇය ද කැටුව කුරුණෑගලට ගොස් දිනේෂ්ව හමුවුයේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙනයි. ඒ ආගමනේ දී දිස්නාත් දිනේෂ්ගේත් විවාහයට අත්සන් තැබෙන්නේ විවාහ රෙජිස්ට්‍රාර්වරයකු ඉදිරියේදීය. මනාලියගේ පාර්ශ්වයෙන් තම සොයුරාත් මනාලයාගේ පාර්ශ්වය වෙනුවෙන් ඔහුගේ මිතුරකුත් විවාහයට අත්සන් තබන්නේ ඒ මොහොතේ දීය.
ජීවිතය වෙනසක් නැතිව ගලා ගියේය. දිස්නාගේ මහගෙදරම උඩු මහලේ අලුත් යුවතිපති දෙපළට පදිංචියට ඉඩ ලැබුණි.
සේවයෙන් ඉඩ ලද හැම මොහොතකම ඔහු ඇගේ නිවෙසට ආවේය. දිස්නාගේ වියපත් මව ද ඇගේ තනි නොතනියට එහි සිටියාය. මෙලෙස ගලා ගිය ජීවිතය අතරතුර ඔහු ඇයට අලුත් යෝජනාවක් ගෙනාවේය.
“මෙහෙම ඉන්න බැහැ හැමදාම. අපි කුරුණෑගලින් ඉඩමක් අරගෙන ගෙයක් හදාගමු.”
දිනේෂ්ගේ යෝජනාවට කැමැත්ත පළ කළ ඇය මුදල් ටිකක් සොයාගැනීමට සිතුවාය.
ඒ අනුව ඇය මැදපෙරදිග රැකියාවකට යාමට තීරණය කළේ වැඩිකල් නොයාමය. දිස්නා මැදපෙරදිග අබුඩාබි රටේ ගෘහ සේවයට ගියාය. හරිහම්බ කළ කාසිපනම් සියල්ල ඇය එව්වේ සැමියා අතටය. ගෙදරට කීවේ සැමියාට මුදල් එවු බවත් ඔහුගෙන් මුදල් ඉල්ලා ගන්නා ලෙසත්ය. ඇගේ දැනුම් දීම මත සිය සොයුරා වරක් දිනේෂ් හමුවීමට ගියත් ඔහු අතට රු 4000/-ක මුදලක් පමණක් ලබා දී ආපසු එවා තිබුණි.
මේ අතරතුර අපූරු දෙයක් සිදුවීම සියල්ල නරක අතට හැරීමට හේතුවිය. සිය සැමියා වූ දිනේෂ් ගේ සොහොයුරියක යැයි කියූ කාන්තාවක් ඇය සිටින රටට ගෙන්වා ගෙන රැකියාවක් ලබා දෙන ලෙස දිනේෂ් දිස්නාගෙන් කළ ඉල්ලීමයි. දිස්නා එය පිළිගත්තේ සතුටු සිතින් යුතුවය. කෙසේ හෝ කල් නොයවාම ඇය එකී කාන්තාව තමන් සේවය කළ ස්ථානයට ගෙන්වා ගත්තාය.
“අක්කේ මම ඔයාගේ මල්ලිව කසාද බැඳලා ඉන්නේ.” දිස්නා කීවේ වඩාත් ළෙන්ගතුවය.
“මොනවා ඔයාට පිස්සුද – එයා බැඳලා. එයට ගමේ පවුලක් ඉන්නවා.” ඥාති සොයුරිය දිස්නාට සියල්ල පැවැසුවාය.
මෙයින් බලවත් කම්පනයට පත් වූ දිස්නා පෙරළා ලංකාවට පැමිණ ඔහු සේවය කරන මහනුවර පොලිසිය බලා ගියාය.
එහිදී ඇති වූ වචන හුවමාරුව සමඟ ඇය සියල්ල දැන ගත්තේ මංමුළා වූ බව සැබෑ ලෙසම වටහා ගනිමිනි. අවසානයේ දිස්නා සිය සොයුරියක ද කැටිව කොළඹ පොලිස් මුලස්ථානයට යන්නේ දනුෂ්ක තමන්ට කළ හදිය පැමිණිලි කිරීමටය. එහිදී කුරුණෑගල පොලිස් අධිකාරිවරයා විසින් කළ විමර්ශනවලින් පසුව ව්‍යාජ විවාහ රෙජිස්ට්‍රාර් වරයකු මෙන්ම සාක්ෂියට අත්සන් තැබු පොලිස් මිතුරකු ද හඳුනාගෙන ඒ පිළිබඳ නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේය.
බිඳීගිය සිත් යළි උපායශීලිව එක්කර ගැනීමට සිතු ඔහු ඇය කුරුණැගලට ගෙන්වාගෙන තමාට එරෙහිව ඇති පැමිණිල්ල කෙසේ හෝ ඉවත් කර ගැනීමට සැලසුම් කළේය. එලෙස තම මිතුරකු මාර්ගයෙන් දිස්නාව අවිස්සාවේල්ලට ගෙන්වා ගත් ඔහු ළෙන්ගතුකම් පාමින් ඇය තම අණසකට යළි නතු කර ගත්තේ එලෙසය. ඔහුගේ මුසාබස් වලටත් බොරු ආදරයටත් රැවටුණු ඇය යළිත් වරක් ඔහුගේම මළපුඩුවට හසු වූ බව දැන සිටියේ නැත.
දිස්නා ඔහුගේ ඉල්ලීමට කැමැත්ත පළ කළාය.
“අම්මේ, දිනේශ් මට කතරගම යන්න කතා කරනවා. මම යනවා.” එය ඇගේ අවසන් සමු ගැනීම බව කිසිවකු දැන සිටියේ නැත. එදා 1992 අපි‍්‍රයේල් මස 22 වැනි දිනය විය. උදේ රැයින් ගෙදරින් පිට වූ ඇය ඉන්පසු කවදාවත් කිසිවකු දුටුවේ නැත.
දින කිහිපයකට පසු ඇගේ මෘත දේහය කඩුගන්නාවේ හෙළ පාමුල තිබියදී කිසිවකු විසින් දැක, මාවනැල්ල පොලිසියට දැනුම් දීමෙන් පසුව ඇගේ ඝාතනය පිළිබඳ සුලමුල හෙළිදරව් වන්නේ කාගේත් නෙතඟට කඳුළු එක්කරමිනි. විමර්ශන කටයුතු කළ පොලිසියට ඉදිරිපත් වූ තොරතුරු අනුව ඇගේම පෙම්වතා වූ දිනේෂ් පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ඇගේ ඝාතනය පිළිබඳ සැක සහිතවය. ඇයව මුළාකොට රැගෙන ඒමට හවුල් කරුවකු වූ අයකු ඇගේ මෘත දේහයේ වූ දුඹුරුපාට අත්දිග ටී ෂර්ටයත්, රතු කළු මිශ්‍ර රැලි සායත් එදා ඇය හැඳ සිටි ඇඳුම බවට හඳුනාගත්තේය.
ඒ අනුව පොලිස් කොස්තාපල්වරයකු වූ දිනේෂ් නමැත්තා මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම විය. පසුව මුලික නඩු විභාගය කෑගල්ල අධිකරණයට යොමු විය.
එලෙස කරනු ලැබු නඩු විභාගයේදී, 1992 අපි‍්‍රයෙල් මස 22, 27 යන කාලය තුළ දී, දිස්නා ප්‍රියංගනී සෙනෙවිරත්න නමැති 28 හැවිරිදි තම අනියම් බිරිඳ කතරගම වන්දනාවේ රැගෙන යන මුවාවෙන් කොළඹටත්, ඉන්පසුව මහනුවරටත් කැඳවා ගෙන ගොස් කඩුගන්නාවේදී ඝාතනය කොට කන්දෙන් පහළට තල්ලු කර දමා තිබියදී හමු වූ බව හෙළි විය.
අනතතුරුව නඩුව කෑගල්ල මහාධිකරණයට යොමු කෙරුණ අතර එවකට කෑගල්ල මහාධිකරණ, විනිසුරුවරිය වූ මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේ රජයේ අධිනීතිඥ චමින්ද අතුකෝරළ මහතාගේ සාක්ෂි මෙහෙයවීම සිදු වු අතර මේ නඩුවේ චූදිත වූ විත්තිකරුට 2012 / 02 / 03 වැනි දින මරණ දඬුවම නියම කර තිබිණි.
මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරමින් විත්තිකරු විසින් කළ ඉල්ලීම කෑගල්ල මහාධිකරණයට යොමු කෙරිණි. ඒ අනුව මේ නඩුව ජූරි සභාවක් ඉදිරියේ නැවතත් විභාග කිරීමට කටයුතු කළේය. පසුගිය දෙසැම්බර් 04 සිට 11 දක්වා හත්දෙනකුගෙන් යුත් පූරි සභාවක් ඉදිරියේ යළි මෙම නඩුව විභාගයට ගෙන තිබුණි.
ඝාතනය පිළිබඳ වූ යම් යම් පර්වේෂණීය සාක්ෂි ඔස්සේ ඔහු මෙම ඝාතනය කළ බවට තහවුරු වී තිබුණ ද, ඝාතනය සිදුවූ දින තමන් උදෑසන සිට පස්වරු 5.00 දක්වා සේවයේ යෙදී සිටි බවට සේවා වාර්තා වලින් ඔප්පු කිරීමට තරම් විත්තිකරු උපාය ශීලි වී තිබුණි. එහෙත් මහාධිකරණයේ විත්ති කුඩුවේ සිට සිදුකළ ඇතැම් ප්‍රකාශ වලින් එදින තමා දිස්නා මුණ ගැසුණු බව තහවුරු විය. කරුණු සලකා බැලූ අධිකරණය, ජූරියේ ඒකමතික තීරණයට අනුව යළි මරණ දඬුවම ස්ථාපිත කළේය.
අවසන් වරට තමන්ට යමක් කීමට ඇත්දැයි අධිකරණය විමසු අවස්ථාවේ විත්තිකරු ප්‍රකාශ කළේ මෙවැන්නකි.
“ස්වාමිනී මම එක් වරක් මරණ දඬුවමට නියම වුවා. මම මෙවර ජූරි සභාව ඉදිරියට ආවේ මට සාධාරණයක් ඉටුවේවි කියලා. මට වුවමනා කළේ නිර්දෝෂී පුද්ගලයකු ලෙස සමාජය ඉදිරියට යන්නයි. ඒත් මට සාධාරණය ඉටු වුයේ නැහැ. ඔබතුමා මොන තීන්දුව දුන්නත් ඒ දඬුවම විඳින්න මම තව වැඩි කලක් ජීවත් වන්නේ නැහැ.” යනුවෙනි.
නීතිපතිවරයාගේ අධිචෝදනාව රජයේ අධිනීතිඥ නලින් හේවාවසම් මහතාගේ මෙහෙයවීමෙන් නැවතත් කෑගල්ල මහාධිරණයේදී ඔප්පු කළ මේ අපරාධයේ චුදිතට මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා විසින් නැවතත් මරණ දඬුවම නියම කරනු ලැබුවේ පසුගිය දෙසැම්බර් 11 වැනි දින පස්වරු 5.10ට පමණය.
විත්තිකරු වෙනුවෙන් කරුණු දැක්වීම නීතිඥ ආනන්ද කුමාරසිංහ මහතා විසින් සිදුකළ අතර මාවනැල්ල පොලිසිය වෙනුවෙන් සැරයන් 19721 ජයලත් මහතා අධිකරණයේ පෙනී සිටියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!