Gossip

කොළඹ ඉඳන් දුම්රියෙන් මඩකලපුවට යනකොට මහ රෑ සිදුවුණු දරු උපත

කොළඹ සිට මඩකළපුව බලා ධාවනයවූ රාත්‍රී තැපැල් දුම්රිය තුළදී 06 වෙනි දින රාත්‍රියේ ගැබිණි කාන්තාවක පිරිමි දරු ප්‍රසුතියක් සිදුකර තිබෙනවා.

මඩකළපුව,කාතන්කුඩි පදිංචි 26 හැවිරිදි එම්.රිස්මිරා යන කාන්තාව මෙම දරු ප්‍රසුතිය සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

ධාවනය වෙමින් තිබු දුම්රිය තුළ දරුවෙකු ලැබීමේ අමාරුවෙන් පෙළෙන කාන්තාවක සිටින බවට දුම්රියේ ආරක්ෂක නිලධාරියා විසින් හබරණ පොලීසිය දනුවත් කර තිබෙනවා.

ඒ අනුව වහා ක්‍රියාත්මකවූ පොලීසිය හබරණ රෝහලේ වෛද්‍යවරයාට දැනුම්දී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියක් හා තවත් කාර්ය මණ්ඩලය සමඟ ගිලන් රථයක් දුම්රිය ස්ථානය වෙත පිටත්කර යැවීමට කටයුතු කර ඇති අතර ඒ සමඟ පොලිස් ජීප් රථයද දුම්රිය ස්ථානයට ළඟාවී තිබෙනවා.

ඒ සමගම ධාවනය වන දුම්රිය හබරණ දුම්රිය ස්ථානයේ නතර කරන ලෙසද පොලීසිය දුම්රිය ආරක්ෂක නිලධාරියාට උපදෙස් දී තිබෙනවා.

දුම්රිය නතර කරනවත් සමඟ දරු ප්‍රසුතියද මව විසින් සිදුකර තිබෙනවා.

ඒ අනුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් මව හා දරුවා සෞඛ්‍යාරක්ෂිතව පිටතට ගෙන් ගිලන් රථයෙන් රෝහලට රැගෙනවිත් රෝහල් ගත කර තිබෙනවා.

මව හදවත් රෝගයකින් පෙළෙමින් සිටීම නිසා ඇයගේ ජීවිතාරක්ෂාව පතා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මුලික රෝහලට මාරුකර යවා ඇති අතර දඹුල්ල රෝහලේ නේවාසිකව සිටින මව හා දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියා.

මෙම ගැබිණි මව හදවත් රෝගී තත්ත්වයෙන් පසුවීම නිසා දරු ප්‍රසුතියෙදී මවට හා දරුවාට සිදුවිය හැකි අවදානම සලකා වෛද්‍යවරුන්ගේ උපදෙස් මත කොළඹ ප්‍රධාන රජයේ රෝහලක නේවාසිකව සිටියදී වෛද්‍යවරුන්ගේ අවවාද නොතකා රෝහලින් බැහැරව තම සැමියා සමඟ දුම්රියෙන් තම ගම් ප්‍රදේශය බලා යමින් සිටියදී මෙසේ දරු ප්‍රසුතිය සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

හබරණ පොලිස් ස්ථානාධිපති වසන්ත පිටිගල මහතාගේ උපදෙස් මත රාත්‍රී පොලිස් රාජකාරියේ දී සිටි නිලධාරීන්ගේ හා හබරණ රෝහල් කාර්ය මණ්ඩලයේ මැදිහත්වීම මත මෙම මවගේ හා දරුවාගේ දිවි රැක ගැනීමට හැකිව තිබෙන දඹුල්ල රෝහල් කාර්ය මණ්ඩලය කියා සිටිති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!