Gossip

කොරෝනා නිසා ගෝලීය මානසික සෞඛ්‍ය අර්බුදයක්

කොවිඩ් ගෝලීය වසංගතයත් සමගම එළැඹෙන තවත් ගෝලීය අර්බුදයක් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. පසුගියදා නිකුත් කළ වාර්තාවක් හරහා ඔවුන් මේ ආකාරයෙන් අනතුරු අඟවන්නේ මානසික සෞඛ්‍යය පිළිබඳ ගෝලීය අර්බුදයක් සම්බන්ධයෙනි.

කොවිඩ් පිළිබඳව ඇති භීතිය, හුදෙකලා බව, ආදායම් මාර්ග අහිමි වීම පිළිබඳ බිය සහ ආර්ථික අවිනිශ්චිතතාව වැනි සාධක නිසා මේ වනවිට ලොව පුරා විශාල පිරිසක් පසුවන්නේ දැඩි මානසික පීඩනයෙන්, ආතතියෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. කුඩා දරුවෝ පවා මිතුරු මිතුරියන් ඇසුරු කිරීමට, සෙල්ලම් කිරීමට, පාසල් යාමට නොහැකි වීම නිසා මානසික වශයෙන් විශාල අසහනයකට පත්ව සිටිති.

මේ ආකාරයෙන් දැඩි මානසික පීඩාවට පත්ව සිටින තවත් පාර්ශ්වයක් වන්නේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ය. නිතර රෝගීන් සමග කාලය ගත කිරීම නිසා වෛරසයට නිරාවරණය වීම පිළිබඳ බිය, රෝගීන් මුහුණ දෙන අත්දැකීම් දැකීමෙන් ඇති වන කම්පනය ආදිය මෙවැනි වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් තුළ විශාල මානසික බලපෑමක් ඇති කරන බව පෙනී ගොස් තිබේ.

මේ අතර මෙම කාලයේ ඇතැම් අය වෙනදාට වඩා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීමද මානසික ගැටලු ඇති කරන තවත් සාධකයකි. කොවිඩ් වසංගතය කවදා අවසන් වේවිද වැනි කාරණා ගැන ඇති අවිනිශ්චිතතාවද බොහෝ දෙනෙකු තුළ ඉච්ඡා භංගත්වයක්, අසහනයක්, ආතතියක් ඇති කරන්නක් ලෙස සැලකේ.

ඉහත කී ආකාරයේ තත්ත්වයන් නිසා බොහෝ දෙනෙකු විශාදය (depression), කාන්සාව (anxiety) ඇතුළු මානසික ගැටලුවලට ගොදුරු වීමට වැඩි ඉඩක් තිබේ. මෙම පසුබිම තුළ සියලු රටවල් මේ වනවිට වර්ධනය වෙමින් ඇති මෙම මානසික සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, එයට විසඳුම් සෙවීම සඳහා නොපමාව සැලසුම් සකස් කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

මානසික සෞඛ්‍ය ක්‍ෂේත්‍රය වෙත ලබාදෙන ප්‍රතිපාදන, ආයෝජන වැඩි කිරීම, දුරකතන සහ අන්තර්ජාලය හරහා මනෝ චිකිත්සාව සඳහා ඇති අවස්ථා සුළභ කිරීම, කලක සිටම මානසික ගැටලුවලින් පෙළෙන අය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද පෙන්වා දී තිබේ. මෙම මානසික සෞඛ්‍ය අර්බුදය පිළිබඳව නිසි අවධානයක් යොමු නොකළහොත් ඒ නිසා ඇති වන සමාජ, ආර්ථික ප්‍රතිවිපාකද බරපතළ වනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!