Gossip

කසාද බඳින්නත් ඕනෑ. හැබැයි… ගැළපෙන කෙනෙක් නොලැබුණොත් මම නොබැඳ ඉන්නත් පුළුවන් – නිර්දා උයන්හේවා

‘ප්‍රවීණ කලා ශිල්පී චන්ද්‍රරත්න මාපිටිගමයන් තමයි මාව කලා ලෝකයට හඳුන්වා දුන්නේ. මම ඒ වෙනුවෙන් එතුමන්ට ගෞරවය පුද දෙනවා. ඒ වගේම මගේ ටෙලි නාට්‍ය රංගන දිවියේදී මට විශාල සහායක් ලබා දුන් ප්‍රවීණ කලා ශිල්පී නාලන් මෙන්දිස් මහතාත් කෘතවේදීව සිහිපත් කරන්න කැමතියි. මං මේ දශක දෙක ඉක්මවූ කලා දිවියේදී කෘතහස්ත නිර්මාණවේදීන් බොහෝ දෙනකු යටතේ මගේ රංගන හැකියාවන් විද්‍යමාන කළා. ඒ බොහෝ තැන්වලදී මා නිරූපිත චරිත නිසාවෙන් ප්‍රේක්ෂකයන් අතරට ගියා. ඒ පිළිගැනීම ආදරය අදටත් මට හිමිව තිබීම කියාගන්න බැරි ලොකු සතුටක්.’

‘සත්පුර වැසියෝ’ ටෙලි නාටකයේ ඔබ නිරූපිත චරිතය වූ ‘ශ්‍රියානි’ නිසා අපේ ප්‍රේක්ෂක ජනතාව නිර්දා උයන්හේවාව හඳුනා ගත්තා..?
සත්තකින්ම මා ඔබ සමග එකගයි. ‘ශ්‍රියානි’ මාව ප්‍රේක්ෂක ජනතාව අතරට ගෙන ගියා පමණක් නෙවෙයි මාව ඔවුන්ගේ සිත් තුළ අමතක නොවන චරිතයක් කළා. අදටත් මට ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර සිත සතුටින් පුරවාලන්නක්.

2006 වසරේදී ඔබ හොඳම ආධුනික රංගන ශිල්පිනිය ලෙස නිර්දේශ වුණා…
ඔව්. ‘හිරු සොයා’ ටෙලි නාටකයේ මං කළ ‘සුදු හාමිනේ’ කියන අහිංසක චරිතය නිසා තමයි මාව එම වසරේ හොඳම ආධුනික රංගන ශිල්පිනිය ලෙස නිර්දේශ වී තිබුණේ. නමුත් අවාසනාවට ඒ අවස්ථාවේ මම ඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටියා. හැබැයි හිටියා නම් ඒ සම්මානය මට ලබා ගත හැකිව තිබුණා. කොහොම වුණත් මගේ ටෙලි නාට්‍ය රංගන දිවියේදී නාටක 120ක දී පමණ චරිත නිරූපණය කළේ මගේ රංගනය හරහා ප්‍රේක්ෂක ජනතාවට මම සාධාරණය කළා නේද කියන සතුට සිතේ තබා ගෙන. කොහොමටත් මම කලාවට ආවේ විනෝදයට වුණාට පහු වෙනකොට මගේ හිත ටෙලි නාට්‍ය පැත්තට ඇදී ගියා කීවොත් ඒක නිවැරදියි.

වේදිකාව අමතක කළ එක සාධාරණ නෑ නේද…
නෑ එහෙම ම කළේ නෑ. මට වේදිකාව වෙනුවෙන් ආරාධනා ලැබුණා. නමුත් වේදිකාව වෙනුවෙන් එක දිගට කාලය වෙන් කරන්න මට හැකියාවක් තිබුණේ නෑ. මම විටින් විට ඇමරිකාවට ගිය එකත් මේකට බලපෑවා. ඇත්තටම කීවොත් මගේ ලොකු කැමැත්තක් තියනවා හොඳ නිර්මාණයක් වෙනුවෙන් ඉදිරියේදී දායක වෙන්න.

සිනමාව වෙනුවෙන් දැක්වූ දායකත්වය පිළිබදව සෑහීමකට පත්වද සිටින්නේ…
ඇත්තම කීවොත් මට සිනමාව වෙනුවෙන් ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ. ඒ නිසාම හඹා ගියෙත් නෑ. නමුත් මම චිත්‍රපට 7ක පමණ ලැබුණු චරිත නිරූපණය කළා. තනි තටුවෙන් පියාඹන්න, රෝස පැටික්කී, ටිකිරි සුවඳ සහ කොස්තාපල් පුඤ්ඤසෝම හීදී මා සැලකිය යුතු චරිත නිරූපණයක යෙදුණා.

කලාකාරිනියක වීමේ සතුට බුක්ති විඳින්න බැරි වටපිටාවක් නේද අද නිර්මාණය වෙමින් පවතින්නේ…
ඔව්. ඇත්තම කතා කළොත් අද කලාකාරයෝ කුලී කරයන්ටත් වඩා දුක් විඳින තත්ත්වයකට පත් වෙලා. අද කලාව කරන්න වෙලා තියෙන්නේ තුට්ටු දෙකට. ඒ කලාව කරන්නත් නිසි වේලාවක් නෑ. සමහර අවස්ථාවල උදේ ඉඳන් රැ වෙනකම්ම දර්ශන තලයේ රැදෙන්න වෙලා තියනවා. මේක විශාල අසාධාරණයක්. සමහර වෙලාවට අපිට හරියට කන්නවත් නෑ. අපේ මහන්සියට මුදල් නිසියාකාරව ගෙවන්නේ නැති පිරිසකුත් ඉන්නවා. හැබැයි ඒ අතළොස්සක්. අද කලාව වෙළෙඳාමක් වෙලා තියන එක තමයි මේ ප්‍රශ්න සේරටම මුල. තුට්ටු දෙකට කලාව කරන පිරිසක් හිටියට මට එහෙම කලාවක් කරන්න බෑ. මට නියමිත මිලක් තියනවා. ඒක ලැබෙනවා නම් තමයි මගේ දායකත්වය ලබා දෙන්නේ. එහෙම නැත්නම් ගෙදරට වෙලා ඉන්නවා. ඒක සැපයි. මම මේ දක්වා කලාව කළේ ලොකු කැපවීමකින්. ඒ කැපකිරීමට නිසි ප්‍රතිලාභයක්, සාධාරණයක් ඉටු වෙන්න ඔනේ කියලා විතරයි මම කියන්නේ.

මෑත කාල වකවානුවේදී අපි ඔබේ නිර්මාණ දායකත්වයන් දුටුවේ නෑ. ඒකට හේතුවත් ඉහතින් සදහන් කළ දේමද…
ඔව්, ඒකත් බලපානවනේ. අනික තමයි මම කිසිම අධ්‍යක්ෂවරයකුට කෝල් කර කර මාව ගන්න කියලා නොකියන එක. මම කොහොමත් යැපෙන්නේ කලාවෙන් නෙවෙයි. නමුත් අපි කරන දේට නිසි මුදලක් ලැබිය යුතුයි. මොකද මුදල් නැතිව ජීවත්වෙන්න බෑනේ.

සම්භාව්‍ය සිනමාව වෙනුවෙන් දායකවීමට ලැබුණු අවස්ථා බොහොමයක් ඔබ ඉවත දමනවා..
ඔව්. සම්භාව්‍ය චිත්‍රපට තුකනට විතර මට කතා කළා. මම ඒ කාලේ බෑ කීවා. මට ඒ ගැන අවබෝධයක් තිබුණෙත් නැහැ. මගේ ගම ගාල්ල. ඉතිං ගමේ කෙල්ලක් හැටියට මෙතනදී තීරණයක් නොගත්තේ මේ වගේ දේවල් කරලා ලැබෙන ප්‍රතිචාර මොන වගේ වෙයිද කියලා හිතපු නිසා. මම දකින විදිහට අපේ සිනමාවේ සම්භාව්‍ය කියන දේ ඉතාමත් අඩුයි. බොරුවට ඇඟපත පෙන්වීම සම්භාව්‍ය කියලා කියන්න බෑනේ. අපේ සිනමා රසිකයන්ටත් සම්භාව්‍ය සිනමාව පිළිබදව නිසි අවබෝධයක් නෑ කියලා තමයි මට හිතෙන්නේ. ඒ නිසානේ ඒ වගේ චිත්‍රපටවල චරිත නිරූපණය කළාම කලාකාරයට මඩ ගහන්න පිරිසක් බලාගෙන ඉන්නේ. ඒ නිසා තුට්ටු දෙකට ඒ වගේ චරිත කරලා නරක නාමයක් හදාගන්න මට අවශ්‍ය නෑ.

අතීතයේ අප දුටු විශිෂ්ට ටෙලි නාට්‍ය කලාව වසාගෙන අද ඒකාකාරී ටෙලි කලාවක් ගලාගෙන යන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ පිළිබඳවත් ඔබට යමක් පැවසිය හැකිද…
ඇත්තම කීවොත් එදා තිබුණු, අප නැරඹු ටෙලි නාට්‍ය අදත් අපිට මැවී පෙනෙනව කීවොත් නිවැරදියි. ඒවා එතරම්ම ප්‍රේක්ෂක හදවත් ඇද බැඳ තබා ගැනීමට සමත්වූවා. සත්පුර වැසියෝ, බුමුතුරුණු, කන්දේ ගෙදර, වෙද හාමිනේ, වගේ සතියකට වරක් පෙන්වූ ටෙලි නාටක බලන්න අපි සූදානම්ව සිටියේ නොඉවසිල්ලෙන්. අද අපි එවැනි ටෙලි නාට්‍ය නිර්මාණ දකින්නේ නැහැ. අද එවැනි නාටක නිර්මාණය කිරීමත් අපහසු බව පෙනෙන්නට තිබෙනවා. මේක කර්මාන්තයක් නිසා යැපෙන පිරිසත් විශාලයි. මුදල් ප්‍රශ්න වගේම පිටපත්වල ලොකු අවුලකුත් පෙනෙන්නට තිබෙනවා. මේ දේවල් නිසාවෙන් අපේ ටෙලි නාට්‍ය කලාව අයාලේ යන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒක කනගාටුදායකයි.කලාවත් සමග යනෙන ගමනේ ඉදිරිය පිළිබදව තිබෙන සැලසුම් කුමනාකාරද… මට පුළුවන් කාලයක් කලාව එක්කම ජීවත් වෙනවා. හරියට දෙනවක හාමිනේ මහත්මිය වගේ. ඒ වගේම මට ඒ වෙනුවෙන් සාධාරණ මුදලක් ලැබිය යුතු වෙනවා. කොහොමටත් මට ලැබෙන හොඳ චරිත වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න මම බැඳී සිටිනවා.

විවාහය ගැන තිබෙන සූදානම මොන විදිහද….
කසාද බඳින්නත් ඕනෑ. හැබැයි… ගැළපෙන කෙනෙක් නොලැබුණොත් මම නොබැඳ ඉන්නත් පුළුවන්.

උපුටා ගැනීමකි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!