Gossip

කලා ලොවේ ජනප්‍රිය තරු මෙවර ඡන්දය පාවිච්චි කරන හැටි මෙන්න

ජාති වාද හා ආගම් භේද ඇති කරන මිනිස්සු රටෙන් පන්නලා දාන්න ඕන – ජයලාල් රෝහණ
මම ඡන්දය දෙනකොට වගේම ඡන්දය දෙන්න ඉන්න ඡන්ද දායකයන්ට කියන්න තියෙන්නේ එකම ටික තමයි.
මොකද මේ අය එකම පවුලේ වගේ. කාලෙන් කාලෙට දෙපැත්තට බෙදිලා කතාබහ කරගෙන ඉන්න පිරිසක්. කොටින්ම කියනවා නම් එකම අය දෙපැත්තට බෙදිලා ඉන්නෙ. කවුරු ආවත් එකයි. හරියටම එකම ඥාති කොට්ඨාසයක් වගේ. සමහරු ඉන්නවා කාටවත්ම එන්න දෙන්නෙ නෑ දෙන්නේ නෑ ඒ අය විතරයි ඉන්න ඕන. ගොඩක්ම බලයට එන්න පොරකන අයගේ තියෙන්නේ කතන්දර විතරයි ආවට පස්සෙ ඒ එක දෙයක්වත් වෙන්නේ නෑ
හැබැයි පහුගිය දවසක හොඳ වැඩක් වුණා. එකම වේදිකාවට අපේක්ෂකයෝ කිහිපදෙනාම එක්කරගෙන ආවා.
ලංකාවට මේක අලුත් වැඩක් වුණාට යුරෝපයට නම් මේක පරණ වැඩක්. ඒත් හෙමින් හෙමින් හෝ වෙනස් වීමකට ලක් වෙනවා නම් ඒක හොඳයි. මෙතැනදී විවෘත්ත කතා බහක් ඇති වෙනවා. වටින් පිටින් මඩ ගහන ඒවා නෙමෙයි වැඩ. කෙලින් කතා කරන එක තමයි හොඳම වැඩේ. දැන් බලන්නකෝ ලංකාවේ ලොකුම බොරුව තියෙන්නේ ෆේස්බුක් එකේ. account එකක් හදා ගත්තට පස්සෙ ඕනෑම එකෙක්ට මේකට රිංගන්න පුළුවන්.
අනිත් එක තමයි ජාති වාද හා ආගම් භේද ඇති කරන මිනිස්සු. මුලින්ම රටෙන් පන්නලා දාන්න ඕන අන්න ඒ මිනිස්සුන්ව. මේකට නායකත්වය දෙන්න ඕන ජාති වාද ආගම් භේදවලට මුල්තැන දෙන මිනිස්සුන්ට නෙවෙයි .

ජාතීන් ඔක්කොම එකතු වෙලා ප්‍රතිපත්තියක් වෙනුවෙන් නායකයෙක් බිහිකරලා නෑ – නාරද බක්මීවැව
දැනට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් දිහා විවෘත මනසකින් බලන්න ඕන. පහුගිය වසර 71 පුරාම කරපු දේවල් පිළිබඳ බලද්දී පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාම මේකට සම්බන්ධ බව පේනවා. රටේ නීතිය තිබුණාද නැද්ද කියන එක වංචාව, ඇති නැති පරතරය, හොරකම, දූෂණය, සිස්ටම් එක මේ හැම දෙයක් ගැනම හිතන්න ඕන මේ පාර ඡන්දය දෙද්දී.
ඒ එක්කම කියන්න ඕන දෙයක් තමයි කාගෙන්වත් බලපෑම්වලින් තොරව නිවහල් පුරවැසියෙක් විදිහට හොඳට කල්පනා කරලා බලලා අනාගත පරපුර ගැන හිතලවත් ඡන්දය පාවිච්චි කරන්න. යම්කිසි පක්ෂය බලයට ආවාට පස්සේ ඒ වටා වරප්‍රසාද ලත් පිරිසක් බිහි වෙනවා.
එතැනදි තමයි නීතිය කියන දේ නැවෙන්නේ.
හැමදාම මිනිස්සු එකම විදිහට තමයි හිතුවේ. ඒ හින්දා මිනිස්සු අලුත්ම දේකට හරි ට්‍රයි කරලා බලන්න ඕන. මොකද කවදාවත් දෙමළ, මුස්ලිම්, සිංහල අය එකතු වෙලා ප්‍රතිපත්තියක් වෙනුවෙන් නායකයෙක් බිහි කරලා නෑ. ඔවුන් රට වෙනුවෙන් නෙවෙයි සහයෝගය දුන්නේ. ඔවුන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් විතරයි. ඒ හින්දා මේක අන්තිම අවස්ථාව. පක්ෂග්‍රාහී වුණාම මිනිස්සු අන්ධ වෙනවා. මේ වෙනකම් මම එකම පක්ෂයකට කියලා ඡන්දය දීලා නෑ. ඒ මොහොතේ තියෙන හොඳම දේට තමයි මම ඡන්දය දීලා තියෙන්නේ. ඒ හින්දා කියන්න තියෙන්නේ හොඳින් තීරණය කරලා හොඳම දේට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න කියලා.

අපේක්ෂකයාගේ වටපිටාවේ ඉන්න පිරිස් ගැනත් සලකා බලනවා – නිලාර් එන්. කාසිම්
මම මගේ ඡන්දය පාවිච්චි කරද්දි බලන්නේ මේගොල්ලෝ හැසිරිලා තියෙන්නේ කොහොමද සහ හැසිරෙන්නේ කොහොමද කියන එකයි. ඒ වගේම අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ ඔවුන් රට වෙනුවෙන් කරලා තියෙන වැදගත් කරණු සම්බන්ධයෙනුත් සැලකිලිමත් වෙනවා. ඒ වගේම වර්තමානයේදී ජාතීන් ගැන මොනවද ඒගොල්ලෝ අරන් තියෙන තීරණ, ස්වාධීනත්වය පිළිබඳ මොනවද ඒ අය ක්‍රියාත්මක කරලා තියෙන දේවල් යන්න පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙලා තමයි මම ඡන්දය ප්‍රකාශ කරන්නේ. අපේක්ෂකයා කළුද සුදුද කියන එක මට අදාළ නෑ. පුද්ගලයා කෙතරම් පිරිසුදු වුණත් ඒ අය සමඟ වටාපිටාවේ ඉන්න පිරිස් ගැනත් සලකා බලනවා. කවුරු කොහොම මොනවා කිව්වත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ඡන්දය ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම තමයි ජාතිවාදය ආගම්වාදය පතුරුවන අය පළමුව හෙළාදැකිය යුතුයි.

ඉස්සරහට හොඳ නායකයෙක් එන බව හොඳටම පේන්න තියෙනවා – ගයාත්‍රි ඩයස්
මම මේ වෙන කොටත් හොඳට හිතලා බලලා තීරණයක් අරන් තියෙනවා කාටද ඡන්දය පාවිච්චි කරන්නෙ කියලා. මම එදත් එකයි. අදත් එකයි. ඒකෙ වෙනසක් වෙලා නෑ. අපිට ඉස්සරහට හොඳ නායකයෙක් එන බව හොඳටම පේන්න තියෙන කාරණාවක්. ජනතාවගෙ ගැටලුවලට උත්තර දෙන්න පුළුවන් නායකයෙක් තමයි අපිට ඕන. ඒක අනාගතයේදී ඉෂ්ඨ කරන්න පුළුවන් නායකයෙක් තමයි කොහොමත් බිහි වෙන්නේ. ඒ ගැන කිසිම සැකයක් නැතුව මේ වෙලාවෙත් කියන්න පුළුවන්.
අනිත් එක තමයි කියන්න ඕන වැදගත්ම දේ තමයි කිසිම ජාතියක්, ආගමක්, මේ රටින් පන්නලා දාලා, එළියට විසිකරලා දාලා මේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ. මිනිස්සුන්ට මේ රටේ ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය තියෙනවා. මේක නිදහස් රටක්. තේරීපත්වෙන නායකයා මේ සියලු ජනතාවට නායකත්වය දෙන්න ඕන. ජාතිවාදය කතා කරන කෙනෙක් කොහොමද එහෙම රටකට නායකත්වයක් දෙන්නෙ. අන්න ඒක නිසා මේ පාර හොඳට කල්පනා කරලා බලලා, රට වෙනුවෙන් ජාති වාදයට අත නොදෙන කෙනෙක් රටට පත්කර ගන්න හැමෝම කල්පනා කරන්න ඕන.

දේශපාලන වහලෙක් නොවී තමන්ට හිමි ඡන්දය ලබා දෙන්න – රොෂාන් පිලපිටිය
මේ පවත්වන්න තියෙන ජනාධිපතිවරණය ඉතාමත්ම වැදගත් මැතිවරණයක්. මොකද පාවෙන ඡන්ද විශාල ප්‍රමාණයක් තියෙනවා. මුල් වරට ඡන්දය පාවිච්චි කරන ලක්ෂ 17ක විතර ඡන්ද දායකයන් සංඛ්‍යාවක් ඉන්නවා. මේ අය තමයි ඉතාමත් කල්පනාවෙන්ම ඡන්දය පාවිච්චි කළ යුතු වෙන්නේ. මම නම් කියන්නේ සියලුම දෙනාට දේශපාලන වහලෙක් නොවී තමන්ට හිමි ඡන්දය ලබා දෙන්න කියලා. ජාතික කලාව සම්බන්ධයෙන් හොඳ ප්‍රතිපත්තියක් තියෙන ඕනෑම අපේක්ෂකයෙක්ට එක පාරක් නෙවෙයි සිය පාරක් වුණත් මම මගේ ඡන්දය දෙන්න ලෑස්තියි.
ඒ වගේම කියන්න ඕන අනිත් දේ ජාතිවාදය හා ආගම්වාදය අමතක කරන්න. ලංකාවට නිදහස ලැබිලා මේ වෙනකොට අවුරුදු 71ක් වෙනවා. මේ අවුරුදු 71ටම විවිධ විදියෙන් නොයෙක් ආකාරයට එක එක කාලවලට ජාතිවාදය හිස එසෙව්වා. මේ දේවල්වලදි කවුරුත් කටයුතු කරන්න ඕනෑ නුවණින් යුතුවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!