Gossip

ඔහු හොඳ දරුවෙක් – විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නකොට තමයි එයා වෙනස්වුණේ – ලොවම හෙල්ලූ ඔසාමා බින්ලාඩන්ගේ මව කියන කතාව

තරුණ ඔසාමා බින් ලාඩන්ට ඉස්ලාමය ආගමක් පමණක් වූයේ නැත. සිය දේශපාලන චින්තනයට ද පදනම් වූයේ ඉස්ලාම් ධර්මයයි. 1970 දශකයේ අගභාගයේදී ඔහු ප‍්‍රකට ඉස්ලාමීය ගුරුවරයකු වූ අබ්දුල් අසාම්ගේ ගෝලයකු විය. අබ්දුල් අසාම් සෑම මුස්ලිම්වරයකුම ජිහාඩ් නැත්නම් ශුද්ධවූ යුද්ධයට සක්‍රීයව දායක විය යුතුය යන මතයේ සිටි පුද්ගලයෙකි. මේ අදහස් බින්ලාඩන්ගේ සිත වෙනස් කිරීමට බලපෑවේය.

ඔසාමා 1957 දී රියාද් නුවර උපත ලැබීය. සවුදියේ ප‍්‍රබල කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් බින් අමාඩ් බින්ලාඩන්ගේ දරුවන් 54 දෙනාගෙන් දහහත්වැනියා වූයේ ඔසාමාය. ඔසාමාගේ මව සිරියාවේ ලටකියා හි ෂියා මුස්ලිම් මධ්‍යම පාන්තික පවුලක උපන් අලියා ගානෙම් වේ.

දැනට දිවියේ සත්වන දශකය ගෙවන අලියා දිවියේ මුල්වරට සිය ත‍්‍රස්ත නායක දරුවා ගැන බ්‍රිතාන්‍ය ගාර්ඩියන් පුවත්පත සමග සාකච්ඡා කර ඇත. සැප්තැම්බර් 11 ප‍්‍රහාරය සිදුවූ වසර 17 කට පසුව ඇය මාධ්‍ය හමුවේ පෙනී සිට ඇත. එසේම අල්කයිඩා නායකයාගේ මරණයෙන් වසර හතකට පසුව ඇය දොඩමළු වී ඇත. ඇය සවුදි අරාබියේ ජෙඩා නුවර දැවැන්ත මන්දිරයක සුව පහසු දිවියක් ගෙවයි. ඇය මාධ්‍යවේදියා සමග සාකච්ඡා කරන විට ඇගේ පුත‍්‍රයන් දෙදෙනා වන අහමඩ් හා හසන් ද අසල සුවපහසු අසුන්වල වාඩිවී සිටියහ. එසේම ඇගේ දෙවැනි සැමියා වන මොහොමඩ් අට්ටාස් ද එතැන විය.

අලියා සිය වත්මන් සැමියා දෙසට අත දිගු කරමින් පැවසුවේ කුමක්ද? මෙයා තමයි ඔසාමාව අවුරුදු තුනේ ඉඳලා බලාගත්තේ ඔහු ඔසාමාට ආදරෙයි.

ගාර්ඩියන් මාධ්‍යවේදී මාර්ටින් චුක්ලොම් සමග ඇය සිය දරුවාගේ අතීතය මෙලෙස සිහි කළාය. බින්ලාඩන් මගේ පළමු දරුවා. ඔහු කුඩා කාලයේ ලැජ්ජාශීලී කෙනෙක්. ඉගෙන ගන්න පුළුවන් දක්‍ෂ කෙනෙක්. ඇත්තටම ඔහු හොඳ දරුවෙක්. මට ගොඩක් ආදරේ කළා. මා සමග එකතුයි බොහෝම. ඔසාමා ඉපදී වසර තුනකට පසු අලියා සිය පළමු සැමියාගෙන් දික්කසාද වී ඇත. ඇත්තෙන්ම බින්ලාඩන්ගේ පියාට බිරියන් 11 දෙනකු සිටියේය.

ජෙඩාවල අබ්දුල් අසීස් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නකොට තමයි එයා වෙනස්වුණේ. එක කල්ලියක් තමයි එයාගේ ඔළුව නරක් කළේ. විශ්වවිද්‍යාලයේ හිටපු කල්ලියක් ඔසාමාව වෙනස් කළා. අබ්දුල්ලා අසාම්ගේ කල්ලියෙන් තමයි මේ දේ වුණේ. ඔවුන්ගේ ක්‍රියාකාරකම් කරගෙන යන්න මුදල් තිබුණා. මම හැමදාම ඔසාමාට කිව්වේ ඔය වැඩවලට යන්න එපා කියලයි. නමුත් ඔහු කරන්නේ මොනවාද කියලා මට කිසිම වෙලාවක කිව්වේ නෑ. මොකද ඔහු මට ගොඩක් ආදරේ නිසා. අලියා කියයි.

ඔසාමාගේ සහෝදරයකු වන අහමඩ් පවසන්නේ සිය මව සැමවිටම මියගිය සහෝදරයාගේ හොඳ පමණක් කතාකරන බවයි.

ඇත්තටම අම්මා ඔහුට ගොඩාක් ආදරෙයි. ඒ නිසා ඔසාමාට චෝදනා කරනවාට අකමැතියි. ඇය දන්නේ ඔහුගේ හොඳ පැත්ත විතරයි. ඇය ජිහාඩ් යුද්ධ ගැන දන්නේ නැහැ.

මගේ ජීවිතේ බොහොම දුෂ්කර වුණා ඔහු සිටියේ මට බොහෝම ඈතින් නිසා යැයි අලියා නැවත කියයි.

ඔසාමාගේ සහෝදරයකු වන හසන් මෙසේ කියයි. මුල් කාලයේ ඔහුට හැමෝම ගරු කළා. 80 දශකයේ මුල් කාලයේ රුසියානුවන්ට එරෙහිව සටන් කරන්න ගියාමත් සවුදි රජයේ පවා පිළිගැනීමක් තිබුණා. නමුත් පසුව ඒවා වෙනස් වුණා. ඔහු මගේ වැඩිමහල් සහෝදරයා ලෙස මගේ ලොකු ගෞරවයක් තියනවා. නමුත් පුද්ගලයකු ලෙස මට ඔහු ගැන සතුටු වෙන්න බැහැ. ඔහු ලෝක තලයටම ගියා අවසානයේ මොකද වුණේ කිසිවක් නෑ.

ඔසාමාගේ මවට සහ පවුලේ උදවියට සිය ත‍්‍රස්ත සහෝදරයා අවසන් වරට හමුවී ඇත්තේ 1999 දීය. ඒ ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නුවරදීය. පවුලේ පිරිස දෙවතාවක් කන්දහාර් වෙත ගොස් ඇත.

අපිට ඔසාමාව මුණගැසුණේ කන්දහාර් නුවර ගුවන්තොටුපළ ආසන්නයේ පිහිටි ස්ථානයකදීය. ඒක මම හිතන්නේ රුසියානුවන්ගෙන් අල්ලා ගත් තැනක් වෙන්න ඕනෑ. ඔහු අපිට ඉතා හොඳින් සැලකුවා. නගරය පුරා ගෙනහිල්ලා අපිට විවිධ ස්ථාන පෙන්නලා දුන්නා. එමෙන්ම ඔහුම සතෙක් මරලා අපිට වෙනම භෝජන සංග‍්‍රහයකුත් දුන්නා යැයි බින්ලාඩන්ගේ මව සිය අතීත තොරතුරු ගෙනහැර දැක්වූවාය.

බින්ලාඩන් ඝාතනය වූයේ 2011 මැයි 02 වැනිදා පකිස්තානයේ ඇබෝටාබාද් නුවරදීය. ඇමරිකන් විශේෂ බළකාය කළ මෙහෙයුමකදී මේ ත‍්‍රස්ත නායකයා සදහටම නිහඬ විය. 2001 සැප්තැම්බර් ප‍්‍රහාරයෙන් පසුව ඇමරිකාවේ ප‍්‍රමුඛ සතුරා වූයේ බින්ලාඩන්ය. ඇමරිකාව මොහුගේ හිසට ඩොලර් මිලියන 25 ක වටිනාකමක් ලබාදී තිබිණි. 2001 සිට 2011 දක්වා ඔසාමා සොයා ලොවපුරා සිදු කළ මෙහෙයුම් නිසා දශලක්‍ෂයක් ඝාතනය විය. ඇමරිකානු ආර්ථිකයට දරාගත නොහැකි ආකාරයෙන් ඩොලර් ට්‍රිලියනයකට අධික යුද වියදමක් දරන්නට සිදුවිය.

එහෙත් අලියා ගානෙම් නම් සිය දරුවා ත‍්‍රස්තයකු ලෙස හුවාදැක්වීමට කිසිම කැමැත්තක් දක්වන්නේ නැත. බින්ලාඩන් ඝාතනය කළ මෙහෙයුම් නිසා දසලක්‍ෂයක් ඝාතනය වූ බව මේ සිරියානු කාන්තාව දන්නේද? එහෙත් බින්ලාඩන් ඇතිකළ ආගමික යුද්ධය නිසා දිනපතා දුසිම් ගණනින් ඝාතනය වන බව නම් සත්‍යයකි. එසේ නම් ඉතිහාසය කිසිවිටක අල්කයිඩා නායකයාට සමාව දෙන්නේ නම් නැත.

සටහන – චතුර පමුණුව

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!