Gossip

ඔහුට ගැළපෙන වෘත්තීය ගැන තේරුම් ගන්න, ජීවිකාවට උදවු උපකාර කරන කෙනෙක් තෝරා ගනීවි කියලා මම විශ්වාස කරනවා – සාරංග දිසාසේකරගේ මව

ඔබ වසර ගණනාවක් මේ ක්‍ෂේත්‍රයේ ලබපු අත්දැකීම් මතු පරපුරට දායාද කිරීමට සැලසුම් කටයුතු ක්‍රියාත්මක වෙනවා කියලා ආරංචියි. ඒ ගැන අපට සඳහන් කළොත්?
මම මේ පාඨමාලාව ඉතාමත් සැලසුම් සහගතවයි සිදුකරන්නේ. ක්‍ෂේත්‍රයේ දක්‍ෂ ප්‍රවීණ විද්වත් මණ්ඩලයක් යටතේ තමයි අලුත් පරපුරට නිවේදන පාඨමාලාව සිදුකරගෙන යන්නේ. එහිදී හඬ හසුරුවා ගන්නේ කොහොමද? හඬ කැවීම් සහ එයට අවශ්‍ය මූලික ආභාසය තමයි අපි මෙහි සිදුකරන්නේ. එහිදී අප දැන හඳුනාගත් දක්‍ෂ පිරිසකට ඉදිරියට යෑමට මේ පාඨමාලාව ලොකු පිටිවහලක් වගේම හොඳ අත්තිවාරමක් වෙයි කියලා මම විශ්වාස කරනවා.

අත්තිවාරමක්, නිවැරැදි දැක්මක් නැතිව ගියොත් අතරමං වෙනවා කියලා ඔබ විශ්වාස කරනවාද?
ඇත්තටම ඔව්. එහෙම කිසිම හරයක් නැතුව වගේ කියවන පිරිසක් 90 දශකයෙන් පස්සේ තමයි බිහිවුණේ. ඔය හැබැයි කටකාර වුණු පළියට හැමෝටම නිවේදන වෘත්තිය කරන්න බැහැ. 90 දශකයෙන් පස්සේ විවිධ පෞද්ගලික නාළිකා කිහිපයක් බිහිවුණා. එහි හිටිය විද්වත් මණ්ඩලයත් හිතුවා මේක තමයි දැන් යන සිස්ටම් එක කියලා. අලුත් නිවේදන කලාවක් හැදුවා. එයින් වුණේ නිවේදන වෘත්තිය හෑල්ලුවට ලක්වුණු එක තමයි. වල්-පල්, දෙඩෙව්වා කියලා ශ්‍රාවකයන් ග්‍රහණය කරගන්න බැහැ. ඔවුන් අපට වඩා බුද්ධිමත්. ඔවුන්ට දිය යුත්තේ නිවැරැදි දේවල් පමණයි. එය කළයුත්තේ මේ වෘත්තියට ආදරය කරමින්. දැන්නම් නව පරපුරේ ගොඩ දෙනෙක් පෙලඹිලා ඉන්නවා නිවැරැදි දැක්මක් අනුව හැදෑරීමක් ඇතිව මේ වෘත්තියේ නියැළෙන්න.

ඔබ ටෙලි නාට්‍ය චරිතාංග රංගන ශිල්පිනියක් වුණත් ඔබ ගැන කතාබහට ලක්වුණේ ලතාගේ කතාව හරහා නේද?
මම ටෙලිනාට්‍ය සුළු ප්‍රමාණයක තමයි රඟපෑවේ. 82 රූපවාහිනී ආරම්භයත් එක්ක මුල්ම ටෙලි නාට්‍යයක් ලෙසට විකාශය වුණු “ඉල්ලම” ටෙලිනාට්‍යයේ රඟපෑවා. එහෙත් දැන් වගේ මොකක්දෝ මන්දා හේතුවකට නාට්‍ය අතරමඟදී නතර වුණා. ගුවන්විදුලියේ විකාශය වුණු “ලතාගේ කතාවේ” ලතාගේ චරිතයට හඬ මුසු කළේ මම. ඒ කාලේ ටෙලිනාට්‍යවලට වඩා ප්‍රේක්‍ෂකයන් ගුවන්විදුලි නාට්‍ය ශ්‍රවණය කිරීමට ලොකු නැඹුරුවක් තිබුණා. රෑ බත්පත අතට අරගෙන ගුවන්විදුලි නාට්‍ය එක්ක තමයි බත්පත රස විඳින්න පුරුදු වුණේ.

පසුගිය කාලේ නම් ඔබ නැවැත ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසීමට ලොකු නැඹුරුවක් දැක්වූවා නේද?
මම ටෙලි නාට්‍යවලින් ඉවත් වෙලා හිටියේ නැහැ. මම ගුවන්විදුලියේ ස්ථිර නිවේදිකාවක් විදියට කටයුතු කරපු නිසා මට ටෙලිනාට්‍යවලට දින වෙන්කර ගැනීමේ ප්‍රශ්න මතු වුණා. මගේ වෘත්තීය කටයුතු නිසා මම ගුවන්විදුලියට බැඳිලා හිටියේ. පසුගිය දවස්වල  ටෙලිනාට්‍යයක රූපගත කිරීම්වලට සම්බන්ධ වුණා කාලෙකට පස්සේ.

“කරදිය වළල්ල” චිත්‍රපටය ඔබේ ජීවිතයේ තවත් සන්ධිස්ථානයක් කියලා මම පැවසුවොත් හරිද?
චිත්‍රපට පැත්තෙන් මම රඟපෑවේ නැති වුණත් “කරදිය වළල්ල” චිත්‍රපටය මම රඟපෑවා හා සමානයි. මොකද ස්වර්ණා මල්ලවආරච්චිගේ චරිතයට හඬ දුන්නේ මම. ඔය වගේ ශිල්පීන්ට අපහසුතාවක් තිබුණු අවස්ථාවල චිත්‍රපට අධ්‍යක්‍ෂවරු හොයාගෙන එන්නේ අපිව.

ගුවන්විදුලි නිවේදිකාවක් ලෙස ඔබ කටයුතු කරන විට ඔබ සමඟ ඔබේ ආදරණීය පුතු සාරංග දිසාසේකර එක්කත් ගුවන්විදුලියේ තරගයක් තිබුණා නේද?
ඒ දවස නම් කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. සාරංග අවුරුදු 7 ඉඳලා මමත් සමඟ ගුවන්විදුලියට යනවා. පාසල් ඇරිලා කරන්නේ මම එනකම් ගුවන්විදුලියට වෙලා ඉන්න එක. ඔය ඉන්න කාලවල මහින්ද අල්ගම මහතා සාරංග නිකම් ඉන්න එකේ පුහුණු වෙන්න කිව්වා. අවසානේ ඔහුගේ පුහුණුවත් එක්ක ඔහු පරීක්‍ෂණවලින් සමත් වුණා. පසුව ළමා පිටියේ නිවේදකයෙක් විදියට කටයුතු කළා. ඔය කාලේ පුතා 4.30ට ස්වදේශීය සේවයේ ළමාපිටිය කරනකොට මම 4.30ට වෙළෙඳ සේවයේ වැඩසටහන් ඉදිරිපත් කරනවා. අපි දෙන්නා බිත්ති දෙකකින් වෙන් වෙලා වැඩසටහන් ඉදිරිපත් කරනවා.

ගුවන්විදුලියේ, රූපවාහිනියේ වැඩසටහන් කරටකර ඉදිරිපත් කළ අම්මගෙයි පුතාගෙයි ඉදිරි දැක්ම කොයි විදියටද?
ඇත්තටම මගේ ලොකු ආශාවක් තියෙනවා පුතා සමඟ එකට රඟපාන්න. ගොඩදෙනෙක් මේ අදහස ගැන කතා කළා. ඒත් දැන් තිබෙන ටෙලිනාට්‍ය චරිත ගැන බලද්දී ලැබෙන චරිත ගැන ලොකු සැලකිල්ලකට ගන්න ඕනෑ. දැනටමත් ටෙලිනාට්‍ය කිහිපයකින් අපිට එකට රඟපාන්න ආරාධනා කළා. ගොඩක් දුරට ඒ අවස්ථාව ළඟදීම සිදුවෙයි කියලා මම හිතනවා.

මවකගේ එකම සතුට දරුවන්ගේ දියුණුව දැක සැනසීමයි. ඔබ ඒ අතර වාසනාවන්තියක් වීම සතුටක්. එහෙත් පුතාගේ ජීවිතයේ ඉදිරි දිවිය වෙනුවෙන් වෙනසක් කිරීමට ඔබ මැදිහත් වෙන්නේ නැතිද?
පුතා පොඩි කාලේ ඉඳලම ගොඩක් දක්‍ෂයි. හරිම තැන්පත් දරුවෙක්. කාගෙත් ආදරය දිනාගෙන ජීවිතය ජයගත්තා. ඒත් පුතා දැන් ලොකු ළමයෙක්. එයාගේ පෞද්ගලික ජීවිතයට මම මුලදී අත දැම්මෙත් නැහැ. දැන් වුණත් මැදිහත් වෙන්නේ නැහැ. ඔහුට යමක්කමක් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔහුට ගැළපෙන වෘත්තීය ගැන තේරුම් ගන්න, ජීවිකාවට උදවු උපකාර කරන කෙනෙක් තෝරා ගනීවි කියලා මම විශ්වාස කරනවා. පුතාගේ සතුට මගේත් සතුට එයයි මට කියන්න තියෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!