Gossip

ඔස්ට්‍රේලියාවේ අවධානය දිනූ ශ්‍රී ලාංකික සිව් නිවුන් ‘මාස්ටර් ක්ලාස්’ ක්‍රිකට් තරු – Photos

2006 වසරේ මැයි මස 25 වන දින ශ්‍රී ලාංකික යුවළක් නිසා ඔස්ට්‍රේලියාවට සුවිශේෂී දිනයක් බවට පත්විය.

ඒ, ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් රෝහලේදී ශ්‍රී ලාංකික යුවළකට දාව සිව් නිවුන් දරු උපතක් සිදුවීම නිසාය. එම රෝහලේදී එවැනි දරු උපතක් සිදුවූයේ, වසර 9කට පසුවය. ඊට අමතරව එම රෝහලේදී සිදු වූ සිව් නිවුන් දරු උපත් අතළොස්ස අතරින් පිරිමි දරුවන් සිව් දෙනෙකු උපත ලැබූ පළමු අවස්ථාව එය විය.

ඔවුහු පසු කලෙක ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා මාධ්‍ය නාලිකා සහ පුවත්පත්වලට නැතිවම බැරි චරිත බවට පත්වූහ.

“එදා ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මාධ්‍ය ඔක්කොම වගේ මොනෑෂ් හොස්පිට්ල් එකට ආවා. සිව් නිවුන් දරු උපතක් නිසා ඔවුන් දැඩි අවධානයක් යොමු කළ අපේ දරුවන් ගැන. මේ හතර දෙනා ඉපදුණ දවසේ ඉඳලා මාධ්‍යවල පෙනී හිටියේ එහෙමයි,” එලෙස සිය සිව් නිවුන් පුතුන් පිළිබඳ සුන්දර මතකය අවදි කළේ, ඔවුන්ගේ පියා වන නිරෝෂන් රණවීරය.

කෙවින් ලෝචන රණවීර
ඩිලන් මධූෂ රණවීර
රයන් නිෂේධ රණවීර
බ්‍රයන් අභීත රණවීර ඔවුන් සිව් දෙනාය…

“මමයි මගේ බිරිඳ වෙරෝනිකා රණවීරයි එකතු වෙලා අපේ පුතාලට ඉංග්‍රීසි නමකුයි, සිංහල නමකුයි එන විදිහට නම් දැම්මා,”

නිරෝෂන් රණවීර ප්‍රකාශ කළේ, සිය සිව් නිවුන් දරුවන්ට ඔස්ට්‍රේලියානු සමාගම් කිහිපයක් විවිධ ආකාරයෙන් අනුග්‍රහය දැක්වූ බවය.

ඔස්ට්‍රේලියාව පුරා ජනප්‍රිය සිව් නිවුන් ක්‍රිකට් සොහොයුරෝ…

මේ වන විට කෙවින්, ඩිලන්, රයන් සහ බ්‍රයන් යන සිව් නිවුන් සොහොයුරන් ඔස්ට්‍රේලියාව පුරා ජනප්‍රිය පුංචි ක්‍රිකට් තරු බවට පත්වී හමාරය.

එරට සෑම මාධ්‍යයක ම ඔවුන් පිළිබඳ තොරතුරු පළවෙයි. ඒ, ඔවුන් සිව් නිවුන් සොහොයුරන් වන නිසා පමණක් නොව එක ම ක්‍රිකට් කණ්ඩායමක තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩකයින් බවට පත්ව සිටීම හේතුවෙනි.

මේ වන විට මේ සුවිශේෂී සොහොයුරන් සිව් දෙනා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි හැලම් ක්‍රිකට් සමාජයේ වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයින් බවට පත්ව සිටිති.

ඔවුන්ගේ දක්ෂතා පිළිබඳව අගය කරන බොහෝ දෙනෙකු ඔවුන් ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති බවට අනාවැකි පළ කර තිබේ.

“මේ හතර දෙනා හැලම් ක්‍රිකට් ක්ලබ් එකේ 15න් පහළ කණ්ඩායමට දැන් නැතුවම බැරි තත්ත්වයක ඉන්නේ. ඒ නිසා තරග තියෙන කාලවල නිවාඩුවකට ශ්‍රී ලංකාවට යන එකත් දැන් අමාරු වැඩක්,” නිරෝෂන් රණවීර පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවූ හැටි…

නිරෝෂන් රණවීර රත්නපුර සීවලී විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර ඔහු පාසල් සමයේ නිවාසාන්තර ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කර තිබිණි. එහෙත්, ඔහු පවසන්නේ, සිය පුතුන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවීමට ප්‍රධාන හේතුව වූයේ, තමන් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දැඩි උනන්දුවකින් පසුවීම බවය.

“මම ගොඩක් ක්‍රිකට් ක්‍රීඩාවට කැමතියි. හැම මැච් එකක්ම වගේ බලනවා. ඒ නිසා අපේ පුතාලා හතර දෙනාම පොඩි කාලේ ඉඳලම ක්‍රිකට්වලට කැමතියි. මං හිතන්නේ ඒගොල්ලෝ ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙන්න ඒක බලපාන්න ඇති,” නිරෝෂන් රණවීර පැවසීය.

නිරෝෂන් රණවීර සිය පුතුන් සිව් දෙනා හැලම් ක්‍රිකට් සමාජයට ඇතුළත් කරන ලද්දේ, ඔවුන් වයස අවුරුදු 9දී පමණය.

“මේ රටේදී කිසිම වෙනසක් අපේ දරුවන්ට වෙන්නේ නැහැ. සම අවස්ථා ලැබෙනවා. ඒ නිසා පුතාලා හොඳින් දක්ෂතා දැක්වුවොත් ඒගොල්ලන්ට තවත් ඉස්සරහට යන්න කිසි ම බාධාවක් නෑ.”

මාර්ටර් ක්ලාස්…

ක්‍රිකට් ක්‍රීඩාවට කෙතරම් දක්ෂතා දැක්වුව ද, නිරෝෂන් රණවීර සහ ඔහුගේ බිරිඳ වන වෙරෝනිකා රණවීර සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සමබරව පවත්වාගෙන යාමට සහය දෙති. ඒ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූයේ, මව වන වෙරෝනිකා රණවීරය.

“අපි අපේ දරුවන් ක්‍රිකට්වලින් ඉහළට යවන්න වගේ ම අධ්‍යාපනය පැත්තෙනුත් ඉහළට යවන්න තමයි බලන්නේ. ඒ දෙක සමබරව කරගෙන යනවා. ඇත්තට ම පුතාලා හතර දෙනාම හොඳින් ඉගෙන ගන්න වැඩත් කරගෙන යනවා. අපේ දුව විනුරි රණවීර දැන් මෙල්බෝර්න් විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරනවා. වැඩිමල් කෙනා විදිහට එයා දුන්න ආදර්ශය නිසා පුතාලාත් ඒ අඩි පාරේ යමින් ඉන්නවා.”

මේ සම්බන්ධයෙන් සිව් නිවුන් සොහොයුරන්ගෙන් ද අදහස් විමසුවෙමු. එහිදී පිළිතුරු දීමට ඉදිරිපත් වූයේ, සිව් දෙනාගෙන් බාලයා ලෙස සැලකෙන බ්‍රයන්ය. ඔහුට සිංහල බසින් කියන දේ වටහා ගත හැකි නමුත් ව්‍යක්ත ලෙස සිංහල බස හැසිරවීම අපහසු නිසා අප සමග ඉංග්‍රීසි බසින් කතාබහ කළේය.

“අපි හතර දෙනා ම ඉන්නේ මාස්ටර් ක්ලාස් එකේ. ඒකට තෝර ගන්නේ ටෙස්ට් එකක් තියලා. ඒක පාස් වුණ අය විතරයි මාස්ටර් ක්ලාස් එකට ඇතුළත් කරන්නේ. අපි ක්‍රිකට්වලට වගේ ම ඉගෙන ගන්නත් මුල් තැන දීල තියෙනවා. අපිට ඕන අනාගතයේදී හැම අතින් ම සාර්ථක අය වෙන්නයි,” බ්‍රයන් අභීත රණවීර පැවසීය.

කෙවින්ගේ සහ බ්‍රයන්ගේ ප්‍රියතම විෂය ඉංග්‍රීසි වන අතර ඩිලන් සහ රයන් ගණිතයට ප්‍රිය කරයි.

අනාගත ක්‍රිකට් සිහින…

කෙවින්, ඩිලන්, රයන් සහ බ්‍රයන් යන සිව් සොහොයුරන්ගේම අනාගත සිහිනය වී ඇත්තේ, ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමය.

“අපි හතර දෙනා ම ඕල් රවුන්ඩර්ස්ලා. මම ගොඩක් දක්ෂ බෝලිංවලට. ඒ නිසා මම බෝලිං ඕල් රවුන්ඩර් කෙනෙක්. කෙවින් වැඩිපුර බැට් කරන්න දක්ෂයි. අනිත් දෙන්නාත් ඕල් රවුන්ඩර්ස්ලා. ඒ නිසා අපට විශ්වාසයක් තියෙනවා ඉදිරියට යන්න,” බ්‍රයන් පැවසීය.

“අපි ඔස්ට්‍රේලියාවේ හිටියට ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අනුව තමයි ජීවත් වෙන්නේ. අපි වැඩිපුර කන්නෙත් රයිස් ඇන්ඩ් කරි. මමයි කෑම හදන්නේ. මම පාර්ට් ටයිම් ජොබ් එකක් කරන ගමන් තමයි පුතාලාව ඉස්කෝලේ ගෙනියන්නෙත්, ක්‍රිකට්වලට ගෙනියන්නෙත්. පුංචි කාලේ නම් ගොඩක් අමාරු වුණා. ඒත් දැන් මේගොල්ලන්ට තමන්ගේ වැඩ තනියම කර ගන්න පුළුවන් නිසා ටිකක් ලේසියි,” එලෙස පැවසූවේ, වෙරෝනිකා රණවීරය.

2006 වසරේ පෙබරවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය නිරෝෂන් – වෙරෝනිකා යුවළ පදිංචිව සිට ඇත්තේ, රත්නපුර ප්‍රදේශයේය.

“ඇත්තටම ගොඩක් සතුටුයි අපේ දරුවෝ සාර්ථකව ජීවත් වෙන එක ගැන. ඒගොල්ලෝ කවදහරි දවසක හොඳින් ජීවත් වෙන හැටි බලල සතුටු වෙන එක තමයි අපට ලැබෙන සතුට,” නිරෝෂන් මෙන් ම වෙරෝනිකාගේ ද අපේක්ෂාව එයයි.

උපුටා ගැනීමකි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!