Gossip

“ඔත්තුකරුගේ නිවසේ සිටම නාකොටික්ලාත් අයිස් ගහලා.. ඉතිරි කොටස ඔත්තුකරුට දීලා.” – නාකොටික් එක ගහපු ඇග හිරිවැටෙන ගේම් එළිවෙන හැටි

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් කොස්තාපල් ලක්‍ෂාන් සමීර වන්නිආරච්චි නමැත්තා ඇතුළු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඔවුන් අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ඔත්තුකරුගේ නිවසේ සිටම පාවිච්චි කර ඇති බව අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා ඔත්තු ලබාදෙන එක්තරා පුද්ගලයකු විසින් ලබාදෙන ලද තොරතුරක් අනුව 2018.09.30 වැනිදා සිදු කළ වැටලීමකදී ගංජා කිලෝ 2300 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 2 ක් හා මත්පෙති තොගයක් සමග මුස්ලිම් ජාතික ත්‍රීරෝද රථ රියැදුරකු හා කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇතිි බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලලිත දිසානායක මහතා සිය විමර්ශන වාර්තාව මගින් අධිකරණයට පෙන්වා දී තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුට හා සැකකාරියට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති සමීර වන්නිආරච්චි ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගත් අයිස් තොගයෙන් කොටසක් පාවිච්චි කර ඉතිරි කොටස ඔත්තුකරුට ලබාදුන් බව එම ඔත්තුකරු තම දෙපාර්තමේන්තුවට ලබාදුන් ප‍්‍රකාශය අනුව අනාවරණය වන්නේ යැයිද සිය විමර්ශන වාර්තාව මගින් අධිකරණයට දන්වා තිබේ.

තමා විසින්ම ලබාදෙන ලද තොරතුරක් අනුව 2018 අගෝස්තු 18 වැනිදා ගනේමුල්ල ප‍්‍රදේශයේ පිහිටි ගෙස්ට් හවුස් ආයතනයක් වැටලූ සමීර වන්නිආරච්චි නමැත්තා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 38 ක්, රුපියල් 13,000 ක් සමග එම හෝටලයේ සේවකයකු අත්අඩංගුවට ගත් නමුත් හෙරොයින් සහ මුදල් සන්තකයේ තබාගෙන සැකකාර හෝටල් සේවකයා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මුදාහැරීමට පියවර ගත් බවටද එකී ඔත්තුකරු ලබාදුන් ප‍්‍රකාශ අනුව පැහැදිලි වන බව විමර්ශන නිලධාරීන්ගේ වාර්තාවේ දැක්වේ.

සමීර වන්නිආරච්චි නමැති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ සැකකරුගේ එකී අයුතු කි‍්‍රයාදාමය පිළිබඳව ඔහු විසින් 2018 ඔක්තෝබර් 1 වැනිදා ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය වෙත පැමිණිලි කර ඇතත් එකී සිද්ධීන් දෙක පිළිබඳ මේ දක්වා නිසි විමර්ශනයක් සිදු කර නොමැති බවට ද එකී ඔත්තුකරු සිය ප‍්‍රකාශය මගින් අනාවරණය කර ඇතැයිද හෙරොයින් ජාවාරම් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට එරෙහිව විමර්ශන සිදු කරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලලිත දිසානායක මහතා ඉදිරිපත් කළ විමර්ශන වාර්තාව මගින් පෙන්වා දී තිබිණි.

නඩුවට අදාළව සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව මත්ද්‍රව්‍ය ගබඩා කර තැබීමට කටයුතු කළ ස්ථාන වශයෙන් හඳුනාගත් හොරම්පැල්ල, මීගොඩ, බෙම්මුල්ල ප‍්‍රදේශවල පිහිටි නිවසක් සහ තෙල් මෝලක් රජයේ රස පරීක්‍ෂකවරයා විසින් පසුගිය 13 වැනිදා පරීක්‍ෂා කළ බවත් එකී පරීක්‍ෂාවේදී ලබාගන්නා ලද සාම්පල සම්බන්ධයෙන් මෙතෙක් විශ්ලේෂණ වාර්තා ලැබී නොමැති බවත් විමර්ශන නිලධාරීන් මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

සැකකාර නිලධාරීන්ට මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය සඳහා මාසික කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී මෝටර් රථයක් ලබාදී ඇත්තේ එම ජාවාරමේ ප‍්‍රධාන සැකකරුවකු වන ලයනල් ජයරත්න නමැති පොලිස් පරීක්‍ෂකවරයා බව එම ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැුඳවුම් භාරයේ තබාගෙන සිටින උදාර චතුරංග පේ‍්‍රමසිරි නමැති උප පොලිස් පරීක්‍ෂකවරයා ලබාදුන් ප‍්‍රකාශ අනුව පෙනී යන්නේ යැයි ද විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වූහ.

සුඛෝපභෝගී වාහනය සැකකාර නිලධාරීන් භාවිත කළ මාසයක කාලය සඳහා රුපියල් එක් ලක්‍ෂ පන්දහසක මුදලක් ගෙවා ඇති බවත් තවත් රුපියල් 11,000 ක මුදලක් සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා විසින් ගෙවිය යුතු බවට වත්තල ප‍්‍රදේශයේ පිහිටි කුලී පදනම මත වාහන සපයන ආයතනයක හිමිකරු ප‍්‍රකාශයක් ලබාදී ඇතැයි ද විමර්ශන නිලධාරීන් සිය විමර්ශන ප‍්‍රගති වාර්තා මගින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට දන්වා ඇත.

වාහනයේ සවි කර ඇති ජී. පී. එස්. උපකරණයෙන් ලබාගත් දත්ත අනුව සැකකාර නිලධාරීන් එම වාහනය මිනුවන්ගොඩ යටියන යනාදී ප‍්‍රදේශවල සඟවා තිබූ මත්ද්‍රව්‍ය ආරක්‍ෂිත ස්ථානවලට ගෙන යෑමට භාවිත කර ඇති බව පෙනී යන්නේ යැයිද විමර්ශන නිලධාරීන්ගේ වාර්තාවේ සඳහන් වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!