Gossip

“ඒ විවාහයේ මට ඉන්න බැරි තැනට ආව නිසයි මම එතනින් අයින් වුණේ.. මේ ලෝකෙ දික්කසාද වුණ එකම ගැහැනු කෙනා මම නෙවෙයි..”

ශේෂාද්‍රි ප්‍රියසාද් දැන් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. මේ දවස්වල ඇය ගැන අලුත්ම කතාවක් කරළියට ඇවිත්.
ඉතිං ඇයගේ අලුත්ම තොරතුරු මේ විදිහට ශේෂාද්‍රි සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

තිරයේ දකින්න ලැබුණත් නොලැබුණත් රසිකයන්ගේ ආදරය ඔබ සමග නේද?
ඇත්තටම මම ගොඩක් වැඩ කළේ නැති වුණාට හැමෝගෙම ආදරය ලැබෙනව. ඒකට හේතුව මම වැඩ කළේ නැති වුණාට මගේ අක්කයි නංගියි නිසා මාව අමතක වෙන්නෙ නැති බවක් තියෙනව. අනිත් එක ගොඩක් වෙලාවට මම රඟපාපු චිත්‍රපට රූපවාහිනියේ නිතරම පෙන්වනව. ඒවට මට රසිකයන්ගෙන් ප්‍රතිචාර ලැබෙනව. රංගනයට දායක නොවුණට මම වෙනත් කලා කටයුතුවලට යනව. අපි ශෝෂල් මීඩියාවල අපේ තොතුරු හා ඡයාරූප දානව. මේ නිසා රසිකයටන්ට මාව අමතක වෙලා නැහැ. එදා ලැබුණ ආදරේ එහෙමම තියෙනව.

ශේෂාද්‍රි කියන්නෙ අහිංසකාවියක්ද?
මම සාමාන්‍ය කෙනෙක්. ගොඩක් අය අපිව විවිධ විදිහට දකිනවනෙ. සමහරු හිතනව මම හරිම නපුරු කෙනෙක් කියල. සමහර අය කියනව ඔයා හරිම අහිංසකයි කියල. ඇත්තම කියනව නම් මම මගේ පාඩුවේ මගේ වැඩක් බලාගෙන ඉන්න කෙනෙක්.

ශේෂාද්‍රිටත් අක්කටයි නංගිටයි වගේම රංගනයට ඇරයුම් ලැබුණත් ඇයි මේ නිහඬ?
කලාවෙන් මට ආරාධනා ලැබෙනව. ඒත් මම කවදත් වැඩ තෝරගෙන කරපු කෙනෙක්. මම කැමති නැහැ ගොඩක් කාර්යබහුල වෙන්න. එකක් ඉවරවුණ ගමන් එකක් කරන්න මම කැමතිත් නැහැ. ඉස්සර වැඩ කරගෙන ගිය විදිහටම තමයි මම දැනුත් වැඩ කරන්නෙ. හොඳ ආරාධනාවක් ලැබුණොත් තෝරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. මොකද අවුරුදු පහක නැවතීමකින් පස්සෙ අලූතින් යමක් කරනව නම් හොඳ අධ්‍යක්ෂවරයෙක් සමග හොඳ නිර්මාණයකට දායක වෙන්න ඕන කියල හැඟීමක් මට තියෙනව.

ජනප්‍රිය නිළියක් වන ශේෂාද්‍රි ටෙලි තිරයට පායන්න නොසිතුවෙ ඇයි?
ටෙලි නාට්‍ය ගැන මම ඒ තරම් දන්නෙ නැහැ. මම මෙතෙක් රඟපාල තියෙන්නෙ චිත්‍රපටවල පමණයි. නමුත් හොඳ ටෙලිනාට්‍යයකට ඇරයුමක් ලැබුණොත් ඒ ගැන හිතා බලනව.

වෘත්තීය කලාකාරිණියක් නොවන ඔබ කිසියම් වූ වෘත්තියක නියැලෙන්නියක්ද?
පුර්ව ළමා සංවර්ධනය කියන ක්ෂේත්‍රයෙන් තමයි මම මගේ උසස් අධ්‍යාපනය කළේ. මම හරි ආසයි කුඩා දරුවන් සකමග වැඩ කරන්න ගෙවී ගිය කාලයේ මම ගොඩක් සතුටින් කළ වෘත්තියක් තමයි ඒක. මේ වන විට මම කිසිම වෘත්තියක නිරත වෙලා නැහැ. නමුත් මම බලාපොරොත්තු වෙනව ඉගෙන ගත්ත දෙයින් සමාජයට සේවයක් කරන්න. ඊට අමතරව ළඟදීම කථිකාචාර්යවරියක් විදිහටත් වැඩ පටන් ගන්න බලාපොරාත්තුවෙන් ඉන්නව.

ශේෂාද්‍රි ඔබේ විවාහය ළඟදිම සිදුවෙනවද?
ඒ කාරණය දෙමවුපියන්ටයි කාලයටයි බාරදිලා තියෙන්නෙ. මම පළමු විවාහය පිළිබඳ අමිහිරි අත්දැකීමකට මුහුණ දිලානෙ ඉන්නෙ. මම නැවත විවාහ වෙනව නම් ඒක ආවට ගියාට කරන්න බැරි දෙයක්. මම අනිවාර්යයෙන්ම විවාහ වෙනව. ඒක කවද කොයි වෙලාවෙ වෙනවද කියල තවම තීරණයක් නැහැ. ඉදිරියේදි අපි බලමු.

පහුගිය කාලයේ බිඳවැටුණ ඔබේ විවාහය ගැන මාධ්‍ය හා මිනිසුන් සීමාව ඉක්මවා කතා කළා කියල මම පැවසුවොත්?
මම අවුරුදු පහක්ම හැම දේකින්ම අයින් වෙලා හිටිය කෙනෙක්. ඒකට හේතුව වෙන්නෙ මම විවාහ වුණා. ඒ විවාහයේ මට ඉන්න බැරි තැනට ආව නිසයි මම එතනින් අයින් වුණේ. අපි කසාද බඳිද්දි අපි දික්කසාද වෙනව කියල හිතල විවාහ වෙන්නෙ නැහැනෙ. එතන ඇතිවුණ හැම ප්‍රශ්නයක්ම නිරාකරණය කරගන්න මම උත්සාහ කළා. එහෙම කරගන්න බැරිවුණ නිසා තමයි ඒ තීරණය ගන්න සිද්ධ වුණේ. එහෙමයි කියල මේ ලෝකෙ දික්කසාද වුණ එකම ගැහැනු කෙනා මම නෙවෙයිනෙ.
ජනප්‍රිය කෙනෙක් නිසා සමාජය ඒ ගැන කතා කරනව වැඩියි. සමහර ගොසිප් සයිට් ඇත්තටම සිද්ධවුණේ මොකක්ද කියල දන්නෙ නැතිව මගේ දික්කසාදය ඉස්සරහට දාල කතා කියුවා. මේ අවස්ථාවේ මම හිත හදාගත්තෙ මම අතේ වැරැද්දක් නැහැනෙ කියල හිතලයි. මම නිවැරදියි කියල ඔප්පු කරන්න මේ සිදුවීමේදි මගේ පැත්තෙ කතාව කියන්න ගියානම් මගේ පුද්ගලික ජීවිතයට බලපෑමක් වෙනව. මා ගැන සමාජයේ තිබුණ පිළි ගැනීම සම්පුර්ණයෙන්ම අනිත් පාර්ශ්වය නැතිකරල දැම්මා. නමුත් මම ඔවුන් ගේ තත්ත්වයට වැටුණෙ නැහැ. මම නිහඬව සිටියා. කොහොමත් ඒ හැමදේම සමනය වෙලා අවුරුදු පහක් වෙනව මට ඒවා ආයෙත් අවුස්සන්න ඕන නැහැ.

ඔබ කතා කරන්නෙ බලවත් පසුතැවීමකින් හැඩයි?
අපි මේ ක්ෂේත්‍රයේ ජනප්‍රියයිනේ. ඒක නිසා තමයි අපේ ජීවිතවල මොකක් හරි දෙයක් වුණොත් ඒ දේවල් ඉක්මනින් ප්‍රසිද්ධ වෙනව. මිනිස්සු ඒ ගැන කතා කරනව. නමුත් රංගන ක්ෂේත්‍රයේ නෙවෙයි” ඕනම ක්ෂේත්‍රයක ඉන්න අයගේ ජීවිතවල මේ වගේ දේවල් සිද්ධ වෙනව. ඒවා ප්‍රසිද්ධ වෙන්නෙ නැහැ. මම දුක්වෙනව” මේ වගේ දේවල්වලින් සතුටු වෙන අයගෙ මානසික මට්ටම ගැන.

ධම්මිකා සුරංජි පතිරණ
දිවයින

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!