Gossip

එංගලන්තයේ සුපිරි ජීවිතයක් ගත කළ ජනප්‍රිය නිළි සසන්ති ජයසේකරගේ අලුත්ම කතාව මෙන්න

සයන්ති ජයසේකර කියන්නේ එක්තරා කාලෙක අපේ රටේ සිටි ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළියක්. ඒත් ඒ වකවානුවේදීම ඇගේ පෞද්ගලික ජීවිතයේ ඇතිවූ අවාසනාවන්ත කාරණයක් මුල්කරගෙන ඇය රට හැර ගියා.
සසන්ති රට හැර ගියත් ලංකාවේ ඉන්නා කාලේ තමන් එක්ක සුහදව ඇසුරු කළ අයගෙන් ඇය ඈත්වුණේ නැහැ. ඒ යාළු මිතුරුකම් ඒ විදිහට තියා ගත්තා.
ඔය හින්දම පසුගිය සති දෙක තුනකට කලින් ඇය අපිට අලුත් ආරංචියක් ලබාදුන්නා.

“මම මාර්තු මුල් සතියේ ලංකාවට එනවා. ඒ ඇවිත් ආපසු හොඳ කලා නිර්මාණයකට සම්බන්ධ වෙලා වැඩ කරන්නත් හිතාගෙන ඉන්නවා.”
“මේ පාර මම විතරන් නෙවෙයි, මගේ මහත්තයා වගේම පුතාලා දෙන්නත් ලංකාවට එන්නයි හිතාගෙන ඉන්නේ.”
සතිඅන්ත පුවත්පතකට ඒ සියලු විස්තර ඇය මේ විදිහට කියලා තිබුණා.

දැන් පුතාගේ වයස කීයද?
මම ලංකාවෙන් යද්දී මගේ පුතාට (සේනිය භූප) වයස අවුරුදු දෙකහමාරයි. දැන් එයා අවුරුදු 19ක ලස්සන කොල්ලෙක්. ඇත්තටම මට පුතා ගැන හරිම සතුටුයි. එයා ව්‍යාපාර කළමනාකරණ විෂය පැත්තෙන් ඉදිරියටම ගියා. දැන් එයා උපදේශකවරයෙක් විදියට රාජකාරි කරනවා.
ඒ වගේම මගේ අනෙක් පුතා ජෝර්ජ්. (Georege) එයා මගේ මහත්තයා ස්ටීව්ගේ (Steve) පළමු කසාදේ පුතා. දැන් මේ දෙන්නම අපි දෙන්නගේ දරුවෝ. වෙනසක් නැහැ.

පුතාලා දෙන්න තුළ ඔයා දකින විශේෂත්වය මොකක්ද?
සේනිය පුතා ස්ටීව් එක්ක හරිම එකතුයි. ඒ දෙන්නා අතර තිබෙන්නේ පුදුමාකාර බැඳීමක්. ජෝර්ජ් පුතා ෆිල්ම් ගැන ඉගෙන ගන්නවා. එයා කලාවට හුඟක් ආදරෙයි.
ඒ හින්ද අපි දෙන්නා ඒ ගැන කතා කරනවා. හැබැයි පුතාලා දෙන්න අතරත් පුදුමාකාර බැඳීමක් තිබෙනවා. ඒ දෙන්නම එක වයසේ.

සසන්ති ලංකාවෙන් යන්නේ සංකීර්ණ ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා. දැන් මොනවද ඒ ගැන හිතෙන්නේ.?
මම කිසිම කෙනෙක් එක්ක තරහ නැහැ. ලංකාවෙන් ගියෙත් ඒ හැම දෙයක්ම අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න. ඒකට මට මගේ අම්මා, තාත්තා හුඟක් උදවු කළා. අවවාද කළා.
මම ලංකාවෙන් යද්දී එක තීරණයක් ගත්තා. ඒ තමයි ආපහු ජීවිතේ පටන් ගන්නාතුරු ඒ වගේම මගේ පුතාට යමක් තේරුම් ගන්න පුළුවන් වයසක් එනතුරු විවාහ වෙන්නේ නැහැ කියලා. මම ඒක කළා. මම අවුරුදු ගාණක් තනිවම හිටියා. ජීවිතේ ප්ලෑන් කළා. අද ඒ හින්දම මම හුඟක් සතුටින් ඉන්නවා.
මට හරිම වැදගත්, ලස්සන ගති පැවතුම් තිබෙන යහපත් මනුස්සයෙක් ස්වාමිපුරුෂයා හැටියට ලැබුණා. ඒක මගේ වාසනාවක් හැටියට තමයි මම සලකන්නේ.

කොහොමද ස්ටීව් හඳුනාගත්තේ?
අන්තර්ජාලය ඔස්සේ තමයි මම මුලින්ම ස්ටීව්ව හඳුනා ගත්තේ. ඒ යාළුකම ටික කලක් ගත වෙද්දී ලොකුම ලොකු යාළුකමක් බවට පත්වුණා.
ඒ කාලේ අපි හුඟක් කතා කරනවා. පෞද්ගලික ජීවිතේ බොහෝ දේවල් අපි කතා කළා. ස්ටීව්ගේ බිරිය මියගිහින්. ඒ වෙද්දී එයා හිටියේ දරුවා එක්ක තනිවම.

ආදරය ගැන කතා කරන්න ගත්තේ මේ හිතවත්කම වැඩිදියුණු වුණාම. ඒ කියන්නේ විවෘතව හැමදේම බෙදා හදා ගත්තට පස්සේද?
ඔබ හරි… අපි හොඳ යාළුවෝ හැටියට කතාබහ කරද්දී අදහස් හුවමාරු කරගත්තා. මම ඉන්න තත්ත්වය හා අනාගතයේදී මම කරන්න හදන දේ එයාට කිව්වා. ස්ටීව් කිව්වෙත් ඔය හා සමාන කතා තමයි.
ඉතිං අපිට තේරුම් ගියා අපි දෙන්නා හොඳට ගැළපෙනවා කියලා. ආදරය බෙදා ගන්න පුළුවන් කියලා. අවබෝධයත් හොඳයි කියලා.
ඒ අනුව මම මේ ගැන අපේ ගෙදරට කිව්වා. ඔහොම තමයි අපි විවාහ වුණේ.

සසන්තිගේ අතීතය ගැන කියද්දී ස්ටීව් මොනවද කිව්වේ?
එයා කිව්වා මට ඕන හොඳ සහකාරියක් විතරයි. අනෙක් ඒවා වැඩක් නැහැ කියලා. හැබැයි මම එයාව මගේ ස්වාමිපුරුෂයා හැටියට භාර ගනිද්දීම එක දෙයක් හිතුවා. ඒ තමයි කවදාවත් මම ස්ටීව්ගේ විශ්වාසය බිඳින්නේ නැහැ කියලා.
“මට අදටත් ස්ටීව් උපරිම නිදහස ලබාදීලා තිබෙනවා. හැබැයි මම ඒ නිදහසින් වැරදි වැඩ කරන්න උත්සාහ ගන්නේ නැහැ.
ඒ විශ්වාසය හැමදාම මම රකිනවා. ඒක මගේ අධිෂ්ඨානයක්.
ඇත්තටම ස්ටීව් කියන්නේ පුදුමාකාර මානුෂික ගති පැවතුම් තිබෙන හොඳ මනුස්සයෙක්. මට ඒ වගේ කෙනෙක් ලැබුණේ මගේ වාසනාවට.

සසන්ති එංගලන්තයේ කරන රස්සාව මොකක්ද?
මම කොණ්ඩ මෝස්තර සකසන ආයතනයක් පවත්වාගෙන යනවා. ස්ටීව් ගිණුම් ක්‍ෂේත්‍රයේ කළමනාකරුවෙක් විදියට සේවය කරනවා.
දැන් සසන්ති නැවත රඟපාන්න කැමැත්තෙන් ඉන්නවනේ. ඒ ගැනත් ටිකක් කියමු.
ඔව්. මට හිතුණා හොඳ නිර්මාණයකට දායක වෙන්න තිබුණොත් ලංකාවට ඇවිත් රඟපානවා කියලා. හැබැයි මගේ ගෙදර දේවල් අවුල් නොවන විදියට.
ඒ වගේම මට හරි ආශාවක් තියෙනවා පුතා එක්ක වෙළෙඳ දැන්වීමකට හරි පෙනී සිටින්න. මොකද එයාගේ ඇඟේත් කලාව තිබෙනවා. දැන් පුතා හොඳ පාපන්දු ක්‍රීඩකයෙක්. ඒ වුණත් කලාවට කැමතියි.

සේනියගේ තාත්තා එක්ක එයා කතා කරනවාද?
මම වගේම ස්ටීව්ත් අපේ පුතාට කියලා තියෙන්නේ ඔයා කැමැති නම් කතා කළාට කමක් නැහැ කියලා. අපි ඒවාට බාධා කරන්නේ නැහැ. එයා පුළුවන් වෙලාවට ගිහින් එයාගේ තාත්තාව බලලා ආවත් කමක් නැහැ.
ඇත්තටම මම මේ කියන්නේ ස්ටීව් හිතන දේ. එයා කියන දේ. අපේ රටේ සමහර අය වගේ මේ වගේ ප්‍රශ්න දිහා පටු විදියට ඒ අය බලන්නේ නැහැ.

දැන් ඔයා ලංකාවට එන්නේ හුඟ කාලෙකින් එහෙම නේද?
ඔව්. ඒ හින්දම පුදුමාකාර ආශාවකින් ඉන්නවා. අපි ලංකාවට එන්නේ ස්ටීව්ට ඒ වගේම ජෝර්ජ් පුතාට අපේ රටේ ලස්සන තැන් පෙන්වන්න. ඒක තමයි මේ ගමනේ ප්‍රධාන අරමුණ. මොකද අපේ රටේ ලස්සන මම ඒ දෙන්නට නිතරම කියනවා. ඒ ලස්සන දැන් පෙන්වන්න ඕන.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!