Gossip

“උදේ පහට විතර පොළව දෙදරගෙන ලොකු සද්දයක් ආවා. පුතයි දුවයි දරුවයි හිටපු කාමරේ සම්පූර්ණයෙන්ම යටවෙලා.” – සියළු හදවත් කම්පා කළ ඛේදවාචකය – Photos

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් ගොඩනැඟිල්ලක් ඊයේ (20දා) අලූයම 5.00 ට පමණ ගිලා බැසීමකට ලක්ව ඊට පහළින් වූ කාමර දහයකින් යුත් හෝටලයක් මතට කඩා වැටීමෙන් එම හෝටලයේ හිමිකරු, ඔහුගේ බිරිඳ හා මාස දෙකක් වයසැති දරුවා මරණයට පත්වුණා.
සංඝමිත්තා මාවතට යාබඳව පිහිටි පස් මහල් ගොඩනැගිල්ලේ ප‍්‍රවිශ්ඨ දොරටුව හැර සම්පූර්ණ ගොඩනැගිල්ලම කඩා වැටී තිබෙන අතර එහි හිමිකරු බිරිඳ හා දරු තිදෙනා සමඟ අලූයම 3.00 ට පමණ ඉන් පිටව ගොස් තිබෙන බව පොලිසිය පවසනවා.
අධික බෑවුම් සහිත ස්ථානයක ඉදිකර තිබූ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේදී එහි සුන්බුන් ඊට පහළින් වූ තවත් ගොඩනැගිලි දෙකක් මතට වැටී තිබෙන බවත්, මියගොස් ඇත්තේ එම ගොඩනැගිලි දෙකින් එකක පදිංචිව සිටි තිදෙනකු බවත් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පවසනවා.
මියගිය පුද්ගලයා අදාළ ගොඩනැගිල්ලේ හෝටලයක් පවත්වාගෙන ගොස් තිබෙන බවත්, එහි කාමර දෙකක බිරිඳ හා දරුවා සමඟ එම පුද්ගලයාත් තවත් කාමරයක බිරිඳගේ මව හා තවත් කාන්තාවක සිට ඇති බවත් පොලිස් අධිකාරිවරයා ප‍්‍රකාශ කළේය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ චමිල ප‍්‍රසාද් (35), අචලා ඒකනායක (32) හා ඔවුන්ගේ දෙමසක් වයසැති දරුවා බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.
මියගිය අචලා ඒකනායක නමැති අය නීතිඥවරියක වන අතර ඇය විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකි. මියගිය අය හෝටලය පවත්වාගෙන යන අතරතුර එහි කාමර දෙකක පදිංචිව සිට තිබෙන බව පොලිසිය පවසනවා.
‘‘මම හෝටලයේ වැඩකරන දුවත් එක්ක හෝටලයේ කාමරයේ නිදාගෙන හිටියා. එහා කාමරයේ පුතයි දුවයි දරුවයි නිදාගෙන හිටියා. උදේ පහට විතර පොළව දෙදරගෙන ලොකු සද්දයක් ආවා. මොනවත් පෙනුණේ නැහැ. අපේ කාමරේ බිත්ති කඩාගෙන ඇඳ ළඟටම හේත්තු වෙලා තිබුණේ. හතර වටේ මොකුත්ම පෙනුණේ නැහැ.
ඇඳ ළඟ තිබුණ ෆෝන් එක අතට අහුවුණා. ඒකෙන් 119 අංකයට ඇමතුමක් අරන් ගේ කඩාගෙන වැටුණා කියලා කිව්වා. වෙලාව පහට විතර ඇති. ඊට ටික වේලාවකට පස්සේ පොලිසිය එතැනට ආවා. ලණුවකින් කට්ටියක් අපි හිටපු තැනට බැහැලා ඒ ලණුව ගැටගහලා අපිව උඩට ගත්තා. පුතයි දුවයි දරුවයි හිටපු කාමරේ සම්පූර්ණයෙන්ම යටවෙලා’’ යැයි මියගිය අචලා ඒකනායකගේ මව වන ජයන්ති ඒකනායක (60) මහත්මිය පැවසුවාය.
මේ අතර මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේදී පස්මහල් ගොඩනැගිල්ලක්, හෝටලයක් මතට කඩාවැටී එම සුන්බුන්වලට යට වී සිටි හෝටලය හිමි අඹුසැමි යුවළගේ සිරුරු ඊයේ සවස් වරුවේදී හමුදාව විසින් ගොඩගෙන තිබේ. මොවුන්ගේ දෙමස් බිලිඳා සුන්බුන් අතරින් ගොඩගෙන රෝහලට ගෙනයන අතරතුර මියගොස් තිබේ.
ගිලා බැසීමට ලක්වූ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු ඔහුගේ පවුලේ උදවිය සමඟ අවට කිසිවකුට හෝ අනතුරු ඇඟවීමක් නොකර පිටව ගොස් තිබෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!