Gossip

“ඇය මාව අතහැරියේ එයාගේ කැමැත්තටම නෙවෙයි – මම එයාට ඒ තීරණය ගන්න ඉඩ දුන්නා” – දුෂේනිගේ පෙම්වතා අනුජ් කියපු කතාව

මිහිරිව අතහැරලා නතාශා තමන්ගේ ජීවන සහකාරිය කරගන්න හීන දැක්ක ඔයාගේ ජීවිතයට සිද්ධ වුණේ හිතන්නෙවත් නැති දෙයක් නේද?
ඇත්තටම ඒක මට විතරක් නොවෙයි ඕන කෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක්. අපි ජීවිතයේ අරමුණු, සැලසුම් හදාගෙන ඉස්සරහට යද්දී හිතන්නේවත් නැති දේවල්වලට මුහුණ දෙන්න වෙනවා. මමත් ජීවිතය සැහැල්ලුවෙන්, විනෝදයෙන් විඳපු කෙනෙක්. ඒත් මට මුහුණපාන්න වුණු ඇක්සිඩන්ට් එක එක්ක මම පුදුම විදියේ මානසික කඩාවැටීමකට ලක්වෙන්නේ. සිද්ධ වුණ දේ මගේ ජීවිතයට පුදුම විදියට බලපෑවා. අන්තිමට මං ළඟ ඉතිරි වුණේ හිතපුවත් නැති අය.

ඔයා ආදරය කරපු මිහිරිව අතහැරලා දාන්න තරම් ආත්මාර්ථකාමී පෙම්වතෙක් වුණා නේද?
මම ආත්මාර්ථකාමී පෙම්වතෙක් කියලත් හිතනවා. හැබැයි මම කළේ අම්මා, තාත්තා කියපු දේ ඇහුව එක. මාව උස් මහත් කළේ මගේ අම්මයි, තාත්තයි. අම්මයි තාත්තයි කියන විදියට තමයි අපේ පවුලේ හැමදේම සිද්ධ වෙන්නේ. මම මිහිරිව විවාහ කර ගත්තා නම් ඒක මගේ මවුපියන්ගේ පැත්තෙන් මම කරන ආත්මාර්ථකාමී වැඩක්. ඒ වෙලාවේ ගන්න ඕන හොඳම තීරණය මම ගත්තේ. දෛවයේ සරදමක් විදියට මටත් ඒ ඉරණමට මුහුණ දෙන්න වුණා.

අන්තිමේදී පළමු පෙම්වතිය තමයි ඔබ ළඟ ඉතිරි වුණේ?
ඔව්. එයා මාව අතහැරියේ නැහැ. ඒක තමයි සැබෑ ආදරය. බොහෝ දෙනෙක් කියන්නේ ආදරය විවාහයෙන් කෙළවර වන දෙයක් කියලා. හැබැයි පොතක පිටු ඉවර වෙනවා වගේ අපේ ආදරය ඉවර වුණේ නෑ. මිහිරිගෙයි මගෙයි තිබ්බේ වෙනස් බැඳීමක්. කරදරයක් වුණ වෙලාවේ එයා මගේ ළඟින් හිටියා. කරදරයක් වුණාම ළඟ ඉන්න අය ගොඩක් වටිනවා. මට කරදරයක් වුණ වෙලාවේ මිහිරි මං ළඟ හිටියා.

නතාශා ජීවිතෙන් ඈත් වීම ඔයාගේ ජීවිතයට ලැබිච්ච දඬුවමක් නේද?
ඇත්තටම ඒක දෛවයේ සරදමක්. ඇය මාව අතහැරියේ එයාගේ කැමැත්තටම නෙවෙයි. අම්මටයි, තාත්තටයි විරුද්ධ වෙන්න එයාටත් බැරිවුණා. මටත් ජීවිතේ එවැනි අවස්ථාවකට මුහුණ දෙන්න වුණා. ඉතිං මම එයාට ඒ තීරණය ගන්න ඉඩ දුන්නා.

මිහිරි ආයෙත් ඔයාට මුණගැහෙන්නේ වෙනත් කෙනකුගේ පෙම්වතියක් වෙලා. පළමු ආදරේ හිමිකාරිය මුණගැහුණාම ආයෙත් ආදර හැඟීමක් ඇති වුණේම නැද්ද?
ආයෙත් මට මිහිරිව මුණගැහෙද්දී එයා ගයන්තගේ පෙම්වතිය වෙලා. එයාලා දෙන්නම මට යාළුවෝ වගේ. එයාලා මට මුණගැහෙද්දී මම තනිවෙලා හිටියේ. මගේ මානසික කඩාවැටීම ශාරීරික වේදනාවට වඩා වැඩි වුණා. ඔවුන් මට කළ සාත්තු මට ගොඩක් බලපෑවා.මිහිරිගේ ආදරය ගයන්ත ළඟ තියෙද්දී මගේ හිතට දුකක් නොදැනුණාම නෙවෙයි.

අපි මේ කතා කළේ ‘වස්සානයේ සඳ’ චිත්‍රපටයේ සන්දේශ්ගේ ආදර කතාව ගැනනේ. අනුජ්ට ‘වස්සානයේ සඳ’ චිත්‍රපටයට එකතු වෙන්න ලැබුණ අවස්ථාව ගැන දැන් කතා කරමු.
මම සම්බන්ධ වුණ ‘මේ වගේ ආදරයක්’ චිත්‍රපටය උදයකාන්ත අයියා බලලා තිබ්බා. එදා මට ඔහු කිව්වා ඉස්සරහට ඔහුත් එක්ක වැඩක් කරමු කියලා. ඉතිං ඒ කියලා කාලයකට පස්සේ මට මේ චිත්‍රපටයට ආරාධනා කළා. මේ චරිතය ගැන කියද්දී ඇත්තටම මම සතුටු වුණා.

ඇයි ඒ?
මොකද මට නිරූපණය කරන්න තිබ්බේ පෙම්වතාගේ චරිතයම නෙමෙයි. මට ඒ පෙම්වතාගේ චරිතය ඇතුළේ වෙන චරිතයක් ගොඩනඟන්න වුණා. උදයකාන්ත අයියගේ මෙහෙය වීම සහ මගේ දැනුම් තේරුම්කම එක්ක මම ඒ චරිතය පුළුවන් තරම් හොඳට කරන්න උත්සාහ කළා. ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලා මම හිතනවා.

ආබාධිත පුද්ගලයකුගේ චරිතයක් නිරූපණය කරද්දී අනුජ්ට අභියෝගයක් වුණ තැන් තියෙනවද?
ඇත්තටම මට ඒ චරිතය ලොකු අභියෝගයක් වුණා. මම මේ චරිතය කරන්න කලින් ලොකු රිසර්ච් එකක් කළා. ඇත්තටම ඒ වගේ ආබාධිතව ඉන්න අය කොහොමද හැසිරෙන්නේ කියලා මම හොයලා බැලුවා. මම ඒ තරම් ඒ චරිතය ගැන හොයනවා කියලා උදයකාන්ත අයියා දැනගෙන හිටියෙත් නැහැ. මම මුලින් ඒ චරිතයට ඕවර් ඇක්ට් කළේ. ඊට පස්සේ උදයකාන්ත අයියා ඕවර් ඇක්ට් නොකරන්න මාව මෙහෙයුවා. මම ඒ චරිතයට අනුගත වෙලා හිටියේ. සමහර වෙලාවට පියුමියි ඕෂධියි හිනාවෙනවා මට මොකද බුම්මගෙන ඉන්නේ කියලා. ඇත්තටම කකුල පණ නැති වුණා වගේ හැඟීමකින් මම රඟපෑවේ.

අනුජ්ගේ දෙවැනි සිනමා රංගනයට ලැබෙන ප්‍රතිචාර ජයද?
ඇත්තටම බොහෝ දෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හර්ෂ උඩකන්ද, නාලක විතානගේ වගේ ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂවරු මට කතා කරලා ඇගැයුවා. මේ තරම් ලොකු පරාසයක මට රඟපාන්න පුළුවන් කියලා සමහරු දැනගෙන හිටියේ නැහැ. මගේ ප්‍රේක්ෂකයෝ මේ චරිතය පෞද්ගලිකව අරගෙන දුක් වුණ අවස්ථා පවා තිබුණා.

කලාත්මක නිර්මාණයක් වෙනුවෙන් අනුජ්ට ආරාධනා ලැබුණොත් ඒ වෙනුවෙන් ඕනම කැප කිරීමක් කරනවද?
කැප කිරීම්වල සීමාවන් තියෙනවා. අපේ රටට, සංස්කෘතියට ඔබින දේවල් කරන්න මට පුළුවන්. අපේ සංස්කෘතියට එහා යන දෙයක් නම් මම ඒ ගැන ටිකක් හිතනවා. මොකද මම හදාගත්ත චරිතයක්, නමක් තියෙනවා. ඒක නැති කරගන්න මම කැමැති නැහැ. ඒ වගේම මගේ අම්මා තමයි මගේ හොඳම ප්‍රේක්ෂිකාව. ඇය මගේ ගුණ – ‍දොස් කියනවා. ඉතිං ඇයට බලන්න බැරි දෙයක් මම කරන්නේ නෑ. මගේ ව්‍යාපාර කටයුතුවලට කළු පැල්ලමක් එකතු කරගන්නත් මම කැමැති නැහැ.

අනුජ් දැන් පෙම්වතෙක්. දුෂේනිව කවදද සහකාරිය කරගන්නේ?
ජීවිතයේ තව ස්ථාවර තත්ත්වයක් හදාගන්න ඕන. ක්ෂේත්‍රයේ තව වැඩ කොටසක් කරලා සුදුසු කාලේදී ඒ අවස්ථාව උදාකර ගන්නවා.

රංගන කටයුතුවලට අනුජ්ට දුෂේනිගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවාද?
ඔව්. ඇයත් මගේ හොඳ ප්‍රේක්ෂිකාවක් වෙමින් ඉන්නවා. ඇය මගේ ගුණ – ‍දොස් කියනවා. ඒක මට ශක්තියක්.

අනුජ්ට රංගනයේ තවත් අලුත් අවස්ථා විවර වුණාද?
ඔව්. මම රඟපාපු තුන්වැනි චිත්‍රපටය බර්මින් ලයිලි ප්‍රනාන්දු මහත්මයාගේ ‘අග පිපිමල්’. ඒ චිත්‍රපටයත් මගේ රංගන ජීවිතයේ සංධිස්ථානයක් වෙයි. දූෂිත පොලිස් නිලධාරියකුගේ කළු චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒ චරිතයත් මට විශාල අභියෝගයක් වුණා. එක රාමුවකට කොටු නොවී ඉන්න මට අවස්ථාව ලැබුණා. සේනක විජේසිංහ අයියාගේ ‘මේඝ’ චිත්‍රපටයෙත් මට රහස් පරීක්ෂක චරිතයක් රඟපාන්න ලැබුණා.

මොනවද ඉදිරි සැලසුම්?
මගේ කතා සංකල්පයකට අනුව හර්ෂ උඩකන්ද එක්ක එකතු වෙලා වෙනස් වැඩක් කරන්න සැලසුම් කරගෙන තිබෙනවා. මේ අවුරුද්දේ ඒ නිර්මාණ කටයුත්තේ වැඩ පටන් ගන්නවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!