Gossip

ආර්ථික දුෂ්කරතා මැද අසරණ වූ පවුලක උපන් ශ්‍රීමාලි ලෝකය ජයගනී – රන් පදක්කමේ ගෞරවය කිරි ගවයින් දෙදෙනාටත්

උස්බෙකිස්තානයේ පැවැත්වෙන ලෝක ශුරතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේදී කාන්තා කිලෝග්‍රෑම් 45 බර පන්තියේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රීමාලී සමරකෝන් ක්‍රීඩිකාව සමත් වුණා.

ඇය 2015 වසරේදී ද මෙම තරගාවලියේ රිදී පදක්කම මව්බිමට දිනා දී තිබුණා.

ඇයගේ ගමන්මග මල් ඇතිරූ මාවතක් නොවේ. එය කටුක අත්දැකීම් සහිත ආර්ථික දුෂ්කරතා සහිත ගමන්මගක්.

ඇයගේ ජයග්‍රහණයට ශක්තිය දුන් මව සහ පියා ජීවත්වන්නේ හබරණ තිබලව ගම්මානයේ.

කිරි ගවයින් ගෙන් ජීවිතය ගැටගසා ගන්නා ඔවුන් සිය දියණියගේ අපිරිමිත උත්සාහයේ ප්‍රතිඵලය ගැන අතිශ්‍ය සතුටකින් පසුවෙනවා.

තිඹලව පිහිටා තිබෙන්නේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් අතරයි.

සිය දියණියගේ ජයග්‍රහණය ඔවුන් දැනගෙන තිබුණේ රූපවාහිනියෙනි.

මේ වනවිට 55වන වියේ පසුවන සමරකෝන් සහ 53 හැවිරිදි ආර්.එම්. ඩබ්ලිව් සුනේත්‍රා කුමාරි ශ්‍රීමාලිගේ දෙමව්පියන්.

අප ඔවුන් සොයා යන විට කිරි ගවයින් සමග දෛනික කටයුතු කරමින් සිට සුනේත්‍රා දෑත්වල තැවරී තිබූ ගොම ඇඳිවතින් පිසදාගෙන අප ඉදිරියට පැමිණියා.

ශ්‍රීමාලිගේ කුඩා අවදිය ගැන මතකය අවදි කළ ඇය කියා සිටියේ කුඩා කාලයේ සිටම ශ්‍රීමාලි බර ඉසිලීමේ ක්‍රීඩාවට ඇළුම් කළ බවයි.

සිය කුඹුර උකසට තබා කිරි ගවයින් දෙදෙනෙකු මිලදී ගෙන තිබුණු ඔවුන් ශ්‍රීමාලිටත් ඊට බාල දියණියටත් ඉගැන්වීම සඳහා මුදල් සොයාගෙන තිබුණා.

දෑස්වල සතුටු කඳුළු උනද්දී ශ්‍රීමාලිගේ මව කියා සිටියේ ඇයගේ රන් පදක්කමේ ගෞරවය තම කිරි ගවයින් දෙදෙනාටද හිමිවන බවයි.

එමෙන්ම තම දියණියගේ සියලු ජයග්‍රහණවලට ඇයගේ ක්‍රීඩා ගුරුවරයා වන නදීක බණ්ඩාර මහතාට ගෞරව කළ යුතු බවද ශ්‍රීමාලිගේ පියා පැවසුවා.

සිය දියණියව කුඩා අවදියේ සිට පුහුණු කරමින් රැකබලා ගත්තේ එම ගුරුවරයා බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

ශ්‍රීමාලී සමරකෝන් බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමුවී තිබුණේ හබරණ මහා විද්‍යාලයෙනි.

පසුව උසස් අධ්‍යාපනය සඳහා මහනුවර මහමායා බාලිකා විදුහලට ඇතුළත් වන්නටත් ඇය වාසනාවන්ත වී තිබුණා.

ඇය මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!