Gossip

අලුතින් දක්ෂ රංගන ශිල්පීන් බිහි වනවා. ඒත් ඔවුන්ගේ පැවැත්ම ගැන දෙවරක් හිතන්න සිදු වෙලා – උමයංගනා වික්‍රමසිංහ

“නිර්මාණ කිහිපයකම රූගත කිරීම්වලට සම්බන්ධ වෙන නිසා මේ දිනවල ටිකක් කාර්යබහුලයි. ටෙලි නාට්‍යවලට අමතරව රසික ලියනගේ අධ්‍යක්ෂණය කරන නවතම සිනමා සිත්තම ‘මොනර විලක්’ සඳහා මට ඇරියුම් ලැබී තිබෙනවා. නුදුරේදී චිත්‍රපට තුනක් එන්න තිබෙනවා. තව සති කිහිපයකින් එහි රූගත කිරීම් ආරම්භ වනවා. ඊට අමතරව වේදිකාව පැත්තෙන් ගත්තොත් සුපුරුදු පරිදි ‘මාරක ළිඳේ සවාරියක්’, ‘රජා මං වහලා’ දර්ශන වාර සඳහා මේ දිනවල සම්බන්ධ වී ඉන්නවා.

විවිධ චරිතවලට පණපෙවුවත්, උමයංගනා කියන්නේ ඇත්තටම කොයි වගේ චරිතයක්ද?
ඒ ගැන විනිශ්චයක් දෙන්නට පුළුවන් වෙන්නේ මට වඩා මාව ඇසුරු කරන අයටයි කියලයි මට කියන්න වෙන්නේ. මොකද, මාව ඇසුරු කරන අයට විවිධ ආකාරයෙන් දැනෙන්න පුළුවන්නේ.උමයංගනා කොහොම කෙනෙක් වුණත්, තාමත් ගොඩක් දෙනා ඔබව හඳුනන්නේ ‘දේදුනු’ කියලා…ඒ කාලේ සිනමාවට වගේම චිත්‍ර කතාවලටද දැඩි සේ ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් අදටත් ඉන්නවා. ‘ඉතිං ඊට පස්සේ’ කියන්නේ එදා අතිශයින් ජනප්‍රිය වෙලා තිබුණු චිත්‍රකතාවක් ඇසුරෙන් ගොඩනැඟුණු ටෙලි නාට්‍යයක්. එදා මිනිසුන් අතර ජනාදරයට පාත්‍ර වූ ‍නිර්මාණයක ප්‍රධාන චරිතය මට ලැබීමම එක්තරා ආකාරයක වාසනාවක් කියලයි මා හිතන්නේ. ‘දේදුනු’ කියන නම මගේම නම විදියට තමයි මට තාමත් ඇසෙන්නෙ. විවිධ චරිතවලින් විවිධ නම් ලැබුණත් ඒ නම වගේ දැනුණේ නෑ. ඒ වගේම ඒ නම නිසා මට ගොඩක් දේවල් ලැබුණා. ජනප්‍රියම නිළිය බවට පාත්‍ර වුණා. ඇත්තටම ඔබ කීවා වගේ උමයංගනා කියන නමට වඩා තාමත් ‍ප්‍රේක්ෂකයන් මාව හඳුනන්නේ ‘දේදුනු’ කියලයි.

ඔබ රංගන ක්ෂේත්‍රයට ඇවිත් කොපමණ කාලයක්ද?
මගේ මතකයේ හැටියට ක්ෂේත්‍රයට ඇවිත් මේ වන විට වසර දාහතක් පමණ වෙනවා.

දැන් ඔබ ජීවිතයේ කිසියම් මට්ටමකට අත්දැකීම්වලින් පෝෂිත චරිතයක්. ජීවිතය ගැන මොන වගේ අව‍බෝධයක්ද තිබෙන්නේ?
ජීවිතය කියන්නේ නවාතැනක් විතරයි. මම නම් කියන්නේ අපි සදාකාලිකව නොමැරෙන මිනිසුන් විදිහට නැතිව, මැරෙන මිනිසුන් විදිහට ජීවත් විය යුතුයි කියලයි.

රංගන ක්‍‍ෂේත්‍රයේ නළු-නිළියන්ට කටකතා හැදෙනවා වැඩියි… උමයංගනාගේ අත්දැකීම මොන වගේද?
සමාජයේ ගැහැනු-පිරිමි භේදයකින් තොරව කටකතා හැදෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් පිරිමින්ට සාපේක්ෂව ගැහැනුන්ට තමයි වැඩිපුරම ඇඟිල්ල දිගු වන්නේ. අනුන්ගේ කුණු හොයන්න වගේම ඒ කුණු අහන්නත් අය ඉන්නවා. මේ සමාජයේ කටකතා හදන්නෙත්, හැදෙන්නෙත් නැත්තේ සත්තුන්ට විතරයි! ඒ උන්ට කතා කරන්න බැරි නිසයි.

ඔබ ‍‍බොහොම සංවේදි චරිතයක් කියන්නේ ඇත්තද?
මෙහෙමයි… සංවේදි වෙන්න ඕන තැන මම සංවේදියි. කෙනකුගේ දුක වේදනාව හොඳින් මට දැනෙනවා. හැබැයි ප්‍රශ්න ගැන හිතලා අඬ-අඬා ඉන්න චරිතයක් නම් නෙමෙයි.

ඔ‍බේ ඒ සංවේදිකම නිසා ඔබට ජීවිතයේ වැඩිපුරම ලැබුණේ ලාභද? පාඩුද?

ඇත්තටම මම එහෙම හිතන්නේ නෑ. මොකද, මම මගේ ජීවිතයේ සිදු වුණු, සිදු වන දේවලට පසුතැවිලි වන්නේ නෑ.

නවක රංගන ශිල්පීන් ගැන ඔබට මොකද හිතෙන්නේ?
අලුතින් දක්ෂ රංගන ශිල්පීන් බිහි වනවා. ඒත් ඔවුන්ගේ පැවැත්ම ගැන දෙවරක් හිතන්න සිදු වෙලා. මම ඔවුන්ට කියන්නේ හොඳ අභ්‍යාසයක් ඇතිව ගියොත් ඔවුන්ට හොඳ ගමනක් තිබෙනවා කියලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!