Gossip

අර වංචාකාරයාගේ දේවලුත් වැටුණා මගේ එකවුන්ට් එකට. අපේම අය අවලාද නඟද්දි මගේ හිතට තදින් දැනුණා..

වේදිකා නාට්‍ය හරහා අප අතරට ආ ඒ ආදරණීය චරිතය වසර 10ක් නරිබෑනා නාට්‍යයේ ගමදුවට රගපෑවා.ඇය ඉන්පසුව ලොකු කාලයක් ක්ෂේත්‍රයෙන් අයින්වෙලා හිටියා. දැන් ඇය නැවතත් ටෙලි නාට්‍යක් හරහා රසිකයන්ව හමුවෙනවා. ඇය නමින් ලක්ෂ්මි දමයන්ති.

ලක්ෂ්මි… ඇයි ඔබට ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්නට හිතුණේ?

වැඩි දෙනෙකු ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්නට උත්සුක වන්නේ නැහැ. විකාශය කර ගැනීමේදී ද ගැටලු තිබෙනවා.මං සාමාන්‍යයෙන් ටිකක් මුරණ්ඩු චරිතයක්. දෙයක් කරන්න හිතුණොත් කරලමයි පස්ස බලන්නේ. මට අවශ්‍ය වුණේ හොඳ නිර්මාණයක් කරන්න. ඒක මං කළා කියලා විශ්වාස කරනවා. වසර කිහිපයක් ක්ෂේත්‍රයෙන් ඈත් වෙලානෙ මං හිටියේ. මේ නාට්‍යයත් එක්ක මං නාට්‍ය කලාවට නැවත ප්‍රවිෂ්ටවීමක් වගේ දෙයක් සිද්ධ වුණා. මට පොඩි ස්වාධීනකමකුත් ලැබුණා.

මෙය අධ්‍යක්ෂණය කරන්නට ඔබ තෝරා ගත්තේ සුදත් දේවප්‍රියව?

මේ කතාව ඔබ කිව්වට විශ්වාස කරන එකකුත් නැහැ. අධ්‍යක්ෂ සුගත් සහ මම කිසි දිනක නිර්මාණයකදී හමු වෙලා නැහැ. අප මිතුරන්වත් නෙවෙයි. ඔහු සහ මම හමුවන්නේ ෆේස්බුක් එකෙන්. සුගත් අඹ යාළුවෝ එහෙම කරපු හොඳ ඩිරෙක්ටර් කෙනෙක්නෙ. ඔහු ගැන යම් පැහැදීමක් තිබුණා. මම තමයි යෝජනාව ගේන්නේ ඔහුට නාට්‍යයක් කරමු කියලා. ලැබුණේ සෘණාත්මක පිළිතුරක්. සුදත් ඒ වන කොට මේ නාට්‍ය කලාව ඇතුළේ නේක වූ ප්‍රශ්නවලට මුහුණ දීපු කෙනෙක්. මට බැහැ ලක්ෂ්මි මේක කරන්න. ලාභයක් ගන්නවත් බැහැනෙ දැන් නාට්‍ය කරලා කියලා ඔහු කිව්වා. ලාභයක් මටත් වුවමනා වුණේ නැහැ. හොඳ නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට ගෙන එමු කියන ඉල්ලීම මත සුදත් එකඟ වුණා නාට්‍යය කරන්න.

ඔබ වැඩිපුරම දායක වුණේ වේදිකා නාට්‍යවලිනි. බොහෝ දෙනකු හිතුවෙත් ඔබ වේදිකා නිෂ්පාදනයක් ඉදිරිපත් කරයි කියලා?

මං විදෙස් ගතවන්නට ප්‍රථම කැලණි විශ්වවිද්‍යාලයේ මාස්ටර්ස් කළා. ඒකේ අවසාන නිබන්ධනය හැටියට මම කළේ බෙර හඬ නාට්‍ය නැවත නිෂ්පාදනය කිරීම. ඒක පැරැණි නාට්‍යයක්නෙ. පස්සේ මට හිතුණා නවතම වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරන්න. නිෂ්පාදිකාවක් හැටියට එනවා නම් පළමු නිර්මාණයම වේදිකා නාට්‍යයක් විය යුතුයි කියලා මං මතයක හිටියා. නමුත් මං දැන් ඉන්නේ විදෙස් ගතවෙලා. දිගටම මෙහෙ නැහැනෙ. වේදිකා නාට්‍යයක් පටන් ගත්තොත් ඒක අතරමඟ නවතින්න ඉඩ තියෙනවා කියලා මට හිතෙනවා.

ලංකාවේ කාර්යබහුලම නිළියක වෙලා සිටිය ඔබ හදිසියේම විදෙස් ගත වුණේ?

ඒක දිග කතාවක්. මං කෙටියෙන් කියන්නම්. මං රඟපාපු ඉතාම ජනප්‍රිය නාට්‍යයක් තිබුණා. මම නම කියන්නේ නැහැ මේ වෙලාවේ. ඒකේ දර්ශනයක් අපි සංවිධානය කළා පොළොන්නරුවේ. ඒක සංවිධානය කරපු කෙනා අපිට ලොකු වංචාවක් කළා. ඔය අතරේ අපේ නාට්‍ය ගෲප් එකේ අයගෙන් ඇතැම් දෙනා හිතාගෙන ඉඳලා තියෙන්නේ මම තමයි මේ දර්ශන වාරය ඕගනයිස් කළේ කියලා. අර වංචාකාරයාගේ දේවලුත් වැටුණා මගේ එකවුන්ට් එකට. අපේම අය අවලාද නඟද්දි මගේ හිතට තදින් දැනුණා. කලාකරුවෝ හැටියට අපි හරිම සංවේදී උදවිය. ඒ කාලේ ඉඳලම නාට්‍යයක් නාට්‍යයක් විදිහට කළා මිසක මුදල් පසුපස හඹා ගියේ නැහැ. අපි වගේ අය තරු නෙවෙයිනෙ. කට්ටක් කාලා මේ තත්ත්වය අමාරුවෙන් ගොඩ නඟා ගත්තේ. මං එතකොටත් උපාධිධාරිණියක්. එහෙම නොවුණත් නළු නිළියෝ හැටියට අපි බුද්ධිමත් වෙන්න ඕනෑ. ඔය නාට්‍යය ඉවර වෙලා මං ගෙදර ආවේ ඉතා විශාල මානසික පීඩනයකින්. ඒක හරියට හිතට වැදුණා. ඒ කලකිරීම මත මං ක්ෂේත්‍රයෙන් ඈත් වුණා.අන්තිමේ ඔබ විදෙස් ගත වන්නට තීරණය කළා?නැහැ, නැහැ. මං කවදාවත් මේ රට දාලා යන්න හිතපු කෙනෙක් නෙවෙයි. මගේ වාසනාවට වගේ මට ඇමරිකාවට යන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒක සම්පූර්ණ ශිෂ්‍යත්වයක්. පී. එච්. ඩී. එකක් වෙනුවෙන් ඔවුන් මට සම්පූර්ණයෙන්ම වියදම් කළා. මං ඇමරිකාවට ගෙනිච්චේ මගේ දක්ෂතාවය පමණයි. දෙදහස් අට වසරේ මං ඇමරිකාවට යනවා. එහිදී පී. එච්. ඩී. එක සම්පූර්ණ කරලා නිව්යෝර්ක් බිංහැම්ටන් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් විදිහට මං වැඩ කරනවා. අපිට ලොකු නිවාඩුවක් ලැබෙනවා සමර් එකට මාස තුනකුයි, වින්ටර් එකට මාස එකහමාරක්. කැම්පස් වහලා. එහෙම නිවාඩුවක් ලැබුණම මං ලංකාවට එනවා. මේත් එහෙම ආපු ගමන්. අදටත් මං වේදිකාවට හරිම ආදරෙයි. බොහොමත්ම ගරු කරනවා වේදිකාවට.

මඳක් ඈත් වුණත් මිනිස්සුන්ට ඔබව අමතක නැහැ?

අවුරුදු දහසයේදී විතර තමයි මං වේදිකාවට ගොඩ වන්නේ. මුලින්ම කළේ දයානන්ද ගුණවර්ධන සූරීන්ගේ ආනන්ද ජවනිකා නාට්‍යය. අසූ හයේ ඉඳන් නරි බෑනා නාට්‍යයේ ගම දුව හැටියට රඟපානවා. ඇහැළ මලින් ගස් පිරිලා සිංදුව මිනිස්සු අතරේ ගොඩක්ම ජනප්‍රිය වුණේ මගේ හඬින්. පස්සේ දූ දරුවෝ, දඬුබස්නාමානය වගේ නාට්‍යවලත් රඟපෑවා. එයාර්පෝර්ට් එකෙන් එළියට එද්දීම ඒකේ වැඩ කරන අය අහනවා ඇයි මිස් රඟපාන්නේ නැත්තේ කියලා. මං දන්නවා ඔවුන් මට හරිම ආදරෙයි. මේ ළඟදී හරි වැඩක් වුණා. කැනඩාවල නයගරා දිය ඇල්ල බලන්න ගිය වෙලාවක එතැන හිටපු කාන්තාවක් මගේ දිහා බලාගෙන ඉඳලා ළඟට ආවා. හානේ මේ නරිබෑනා එකේ ගම දුව නේද කියලා මගෙන් ඇහැව්වා. මට පුදුමත් හිතුණා. ඒ තැනැත්තිය ලංකාවේ කෙනෙක්. ඇයට මාව හොඳටම මතකයි. එහෙම එච්චරටම මිනිසුන්ට මතක තිබෙන්නේ අපි ක්ෂේත්‍රයේ දැනෙන්න දෙයක් කරපු නිසානේ.

සුළඟ මහ මෙරක නාට්‍යයේ ඔබත් රඟපානවා.ඒ චරිතය ගැනත් මඳක් කතා කළොත්?

සුදත් අයියව නාට්‍ය කරන්න එකඟ කරගෙන ඔහු පිටපත ලියන්න අත තියන්න කලින් මං කිව්වා මං පොර වෙන කතාවක් එහෙම ලියන්න එපා කියලා. එහෙම කිව්වේ මමම නිෂ්පාදනය කරගෙන මං හයිලයිට් වෙන්න කිසිසේත්ම වුවමනාවක් මට තිබුණේ නැති නිසා. නමුත් ඒක ලස්සනට ලියවිලා තිබුණා. මේක තරුණ විප්ලවයත් එක්ක ලියවිච්ච අසූ ගණන්වල කතාවක්. මං රඟපාන්නේ පවුලක වැඩිහිටි සොයුරියකගේ චරිතය. ඇය සිය කුටුම්භයේ වගකීම අතට ගත් කෙනෙක්. ඒක හින්දම ඇයට විවාහ ජීවිතයකට ඇතුළුවන්න ලැබෙන්නේ නැහැ. පෙමක් පටන් ගන්නා හෝ නොගන්නා තැනක තියෙන්නේ. ඇය පෙම්වතියක් නොවන පෙම්වතියක් හැටියට හඳුන්වන්නට පුළුවන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!