Gossip

අම්මාටයි තාත්තාටයි මේ කට්ට කන්න වෙන්නේ තව අවුරුදු කිහිපයයි – මම වෛද්‍යවරයෙක් වෙලා පවුලම ගොඩ දානවා කියපු රසිඳු අවසන් ගමන යයි

“අම්මාටයි තාත්තාටයි මේ කට්ට කන්න වෙන්නේ තව අවුරුදු කිහිපයයි. මම උසස් පෙළ විභාගයෙන් ජය ගන්නවා. අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකු වෙලා මගේ අම්මායි තාත්තායි ගොඩ දානවා. එළිවෙන අලුයමේ සීතලේ ගැහි ගැහී ඒ දෙන්නා යන අයිස් මෝලේ රස්සාවට තිත තියන්න පුළුවන්. අපිට බැරි කාලේ අපිව ජීවත් කරන්න තාත්තා ගත්තු වෙහෙස මම දන්නවා. මොනවා කරන්නද තව ටික කාලයක් ඔහොම තාත්තා දුක් වින්දත් මම වෛද්‍යවරයෙක් වෙලා පවුලම ගොඩ දානවා කියූ පුතා මෙහෙම ගෙදර ඒවි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ.” යනුවෙන් විලාප ගසන මවක් දරු ස්නේහය අහිමි වී දරාගත නොහැකිව මුළු නායිම්බල ගම්මානයම හැඬ වූවාය.

පසුගිය 24 වැනි දින මාතර ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසලදී සිසුන් දෙපිරිසක් ඇතිකරගත් ගැටුමෙන් පසු මියගිය මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ විද්‍යා අංශයෙන් ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි ජයවික්‍රම කංකානම් ආරච්චිගේ රසිදු ගිම්හාන ශිෂ්‍යයාගේ ඝාතනය නිසා තිහගොඩ බණ්ඩත්තර ගම්මානයම ශෝකයෙන් නැහැවී ගොස් ඇත.

සිවු දෙනකුගෙන් යුතු පිරිමි දරුවන් සිටින පවුලේ දෙවැනියා වූ රසිදු ගිම්හාන පවුලේ වැඩිමහල් සහෝදරයාට මෙන්ම බාල සහෝදරයන් දෙදෙනාටද පියකු මෙන් ආදර්ශවත් විය. සහෝදරයන් වරදට පෙලඹීමට ඉඩ නොදුන් ඔහු ඔවුන්ගේ සෑම ප්‍රශ්නයකටම, ආරවුලකටම ඔහු මුහුණ දී එය විසඳීමට උත්සාහ කළේය. ඒ පවුලේ ඇතිවන ප්‍රශ්න, මඟ තොටේ ඇතිවන ප්‍රශ්න මෙන්ම පාසලේ ඇති කරගන්නා ප්‍රශ්න සියල්ලටම විසඳුම රසිදු ගිම්හාන විය.

ඔහුගේ සහෝදරයන් ඇති කරගන්නා ප්‍රශ්න සියල්ලම සාවධානව විසඳීමට ඔහුට පහළ වී තිබුණේ තියුණු බුද්ධියකි. එහෙත් මේ වාරයේ සිය සහෝදරයා ඇති කරගත් ප්‍රශ්නයක් නිසා තමාට සදහටම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ යැයි රසිදු කිසිදාක නොසිතන්නට ඇත.

ඒ තම සහෝදරයකු ඇතිකරගත් පෙම් පලහිලව්වක් නිසාය. එය සමථයට පත් කිරීමට ඔහු සිතා ගත්තේය. ඒ අනුව මෙම ආරවුලට ප්‍රධාන සැකකරු වූ මාතර ප්‍රසිද්ධ පාසලක අපොස උසස් පෙළට පෙනී සිටිමට නියමිතව සිටි මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ පහළ විටියල, විටියල පදිංචි සිතිජ සමඟ කතාබහ කරගෙන තිබේ.

එහෙත් ඔහු සමඟ කතා කර ප්‍රශ්න විසඳා ගැනීමට අපහසු අයකු බව රසිදුට තේරුණේද නැත. එහෙත් තම බාල සොයුරු සමඟ ගැටලු ඇති කර නොගන්නා ලෙස සිතිජගෙන් ඉල්ලා සිටියද ඔහු නිතර නිතර ගැටුම් ඇති කරගෙන තිබේ. මෙහිදී මෙම ගැටලුව විසඳීමට පැමිණි රසිදු සමඟ වෛර ඇති කරගත් සිතිජ මහමඟදී පවා ගැටුම් ඇති කරගෙන තිබේ. එහෙත් මේ කිසිවක් රසිදුගේ මවට පියාට සැලකර සිටියේ නැත. රසිදුගේ වැඩිමහල් සහෝදරයා නවිදු නදුෂාන්ය. (21) ඔහු මීට වසරකට පමණ පෙර සිට දියතලාව ගුවන් හමුදා කඳවුරේ සේවය කරයි. ඔහුගේ විසිරයෑමේ උත්සවය ලබන ජනවාරියේ පැවැත්වීමට නියමිතව තිබූ බවත් එම උත්සවය දැක ගැනීමට යෑමට ඔහු මහත් ආශාවෙන් බලා සිටි බවත් කියැවේ.

රසිදු ගිම්හානගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ සිතිජගේ පාසල් පෙම්වතියට බැන වැදුණේ යැයි රසිදුගේ බාල සොයුරු සමඟ මෙම ආරවුල ඇතිකර ගෙන තිබේ. නිශදු පවසන්නේ සිතිජගේ පාසල් පෙම්වතිය තමාට බැන වැදුණු බවත් ඊට ප්‍රතිචාර ලෙස තමාද බැන වැදුණු බවත්ය. එය සිතිජට පවසා තිබීම නිසා සිතිජ තමාට පහර දුන් බවයි. එහෙත් නිශදු කවිෂ්කගේ මිතුරන් පවසන්නේ සිතිජගේ පෙම්වතිය සමඟ හාද වීමට ගිය නිසා මෙම ආරවුල ඇති වූ බවයි.

එහෙත් මේ වන විට විය යුතු සියල්ල සිදුවී හමාරය.

තම සහෝදරයාගේ ප්‍රශ්නයකට මැදි වී රසිඳුට ජීවිතයෙන් සමුගන්නට වූයේ මුළු නායිම්බල ප්‍රදේශයම හඬවාය. තම පියාගේ කරගැට මතුවූ දෑත දුටුවිට රසිදුට අධ්‍යාපන කටයුතුවල කොතෙක් නිරත වුවත් එහි වෙහෙසක් නොවීය. ඒ කෙසේ හෝ වෛද්‍යවරයෙක් වී තම පියාගේ මෙහෙවර අවසන් කර සැනසිල්ල උදාකර දීමට ඉටාගත් බැවිනි.

රසිදුගේ බාල සොයුරු මියුරු හිමල්ක 16 වියේ පසුවෙයි. ඔහු මෙවර අපොස සාපෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය. පිරිමි දරුවන් සිවුදෙනකුගෙන් යුත් පවුල රැකගැනීම හා පෝෂණය කිරීම කොතෙක් අපහසු වුවද රසිදුගේ පියා වූ චන්දන පුෂ්ප කුමාර (43) ඒ වෙහෙස හිතට නොගෙන කටයුතු කළේ දරුවන් සිවු දෙනාගේ අනාගතය පිළිබඳ සිහින දකිමිනි. ඔහුගේ බිරිය වූ සී.බී.එන්. කුමාරි මහත්මිය ද (42) රැකියාවක් නොකරම නිවෙසේ නතර වූයේ පුතුන් සිවුදෙනා හොඳින් රැකබලා ගෙන රටට වැඩදායි පුරවැසියන් කිරීමේ චේතනාවෙනි.

එහෙත් ඇයගේ දෙවැනි පුතු තම පුතුගේ වයසේම පුතකුගේ පිහි පහරින් මෙලොවින් සමුගැනීම කිසිසේත්ම අදහාගත නොහැකි විය. පුතුගේ වියෝවෙන් කඳුලු සලන ඒ අම්මාට දැනෙන දුක් වේදනාවම තම ජීවිතයේ හිරිමල්විය පසුකරන්නටත් පෙර දෑතට විලංගු වැටී ජීවිතය විනාශ කරගත් ඒ දරුවා ගැනද ඇයට මොහොතකට සිහියට එනු ඇත.

පුතුගේ වියෝවෙන් මවකගේ ශෝකාන්තය මෙසේ පැතිරෙද්දී ඉහළ විටියල ගම්මානයේ තවත් නිවෙසක තම පුතා මිනීමරුවකු වී දෑතට විලංගු වැටී ඇති සැටි සිහිවෙන කොට රසිදුගේ නිවෙසට දෙවැනි නැති අඳෝනාවක් ඒ නිවෙසේද ඇසේ.

ඒ සියල්ල පසෙක තබා අද පස්වරුවේ රසිදු තම අවසන් ගමන යෑමට සූදානම්ය.

මාතර – උදය කුමාර රණවීර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!