Gossip

“අපේ ගෙදරට හොරු පැනලා – එතැන ඉන්න එක අපි දෙන්නාට තවත් ආරක්ෂා නැහැ” – සමනලී ෆොන්සේකා

සමනලී ෆොන්සේකා කියන්නේ මේ දිනවල ජනප්‍රිය රංගන ශිල්පිණියක්. ඒ මේ දිනවල තිරගත වන සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් චිත්‍රපටය නිසායි. ඉතින් සමනලී මේ හැමදේම ගැන පුවත්පතක් සමග ඇගේ කියලා තිබුණේ මේ විදියට.

සමනලී මේ දිනවල මොනවද කරන්නේ?
මේ දිනවල ගෙදර බඩු අදිනවා.

ඒ කිව්වේ?
අපේ ගෙදරට හොරු පැනලා. ඉතින් එතැන ඉන්න එක තවත් ආරක්ෂා නැහැ. ඒ නිසා මේ දිනවල අලුත් ගෙයක් හොයනවා.

මීට කලිනුත් වතාවක ගෙදරට හොරු පැන්නා නේද?
ඔව්. දෙපාරක් විතර හොරු පැන්නා. ඒත් අපි ඒ ගෙදර දාලා ගියේ නැහැ. මොකද අපි දෙන්නා ජීවත් වෙන්න පටන් ගත්ත පළමු ගෙදර වෙච්ච නිසා. ඒත් දැන් අපි ගෙවල් මාරු කළා.

ඒ නිසාද පසුගිය දිනවල පෙනෙන්නට හිටියෙ නැත්තෙ?
නැහැ. දැන් මේ සිද්ධිය වෙලා සතියක් විතර වෙනවා. කොහොමටත් පසුගිය දිනවල මම හිටියෙ විදෙස් ගතවෙලා.

නැවතත් විදෙස් ගතවෙන්නද කල්පනාව?
නැහැ. ඇත්තටම පසුගිය දිනවල ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩි සහ මෙල්බර්න් නගරවලදී ප‍්‍රසංග කීපයක් පැවැත්වුණා. තවත් බොහෝ කලාකරුවන් පිරිසක් එම ප‍්‍රසංගය හැඩ කළා. මටත් ඊට ආරාධනා ලැබී තිබුණා.

දැන් සමනලීට ගීත ප‍්‍රසංගවලට බෙහෙවින්ම ආරාධනා ලැබෙන බව ආරංචියි?
පසුගිය දිනවල එක එක වැඩසටහන්වලදී ගීත ගැයීමට ආරාධනා ලැබුණා. ඒ නිසා ඒ හැකියාව ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තා. නමුත් මගේ මූලිකත්වය නිතරම ලබා දුන්නේ රංගනයටයි. ගීත ගායනය මම පුහුණු කරලා නැහැ. ඒ නිසා මම හිතන විදියට එතැනදී වෘත්තීය මට්ටමක මම නැහැ. නමුත් සංගීතයට මම ආසා නිසා, එය විඳින නිසා ගායනයෙහි නියැලෙනවා. ඒත් වෘත්තීය මට්ටමින් තවම මම එතැන නැහැ.

නමුත් බොහෝ දෙනා කියන්නෙ සමනලීගේ හඬ හරි මිහිරියි කියලයි? ඒ හැකියාවෙන් යමක් කළොත් නේද හොඳ?
තව ටිකක් ඒ අංශයේ නිරතව කටයුතු කරලා, ප‍්‍රවීණත්වය ලබන්න ඕනෑ. එහිදී මට හදිසියක් නැහැ.

මේ විදියට කටයුතු කරන සමනලී මේ දිනවල ‘දැවෙන විහඟුන්’ එක්ක.
ඔව්. පසුගිය දිනවල ‘දැවෙන විහඟුන්’ තිරගත වීම් ආරම්භ වූයේ. මේ චිත‍්‍රපටය ගැන එක් එක් කතා, විවේචන ආදිය තිබෙන බව පෙනනවා. කලා නිර්මාණයක් ඒ විදියට කතාබහට ලක්විය යුතුයි. ඒක හොඳ දෙයක්.

කොහොමද එය ඔබට දැනෙන්නේ?
ලංකා ඉතිහාසයේ එක් අඳුරු යුගයක් මුල්කරගෙන තමයි චිත‍්‍රපටය නිර්මාණය වී තිබෙන්නෙ. ඒ යුගයේදී ජීවිත හානි වූවා සේම, සමාජයේ පුද්ගල වශයෙන් බොහෝ විනාශයන් වුණා, ගරා වැටුණා යන දේ එක්ක ලාංකේය සමාජයේ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය සමග ස්ත‍්‍රියකට තනියම නැගී සිටින්න බැරි ඇයි කියන දේ ප‍්‍රකාශ වෙනවා.

එහි ‘වාසනා’ ඔබට දැණුන විදිය කොහොමද?
ඒක සහාය චරිතයක්. මගේ අම්මාට ඉන්නෙ අනෝමා ජනාදරී රංගන ශිල්පිනියයි. ඇය වටා තමයි මෙහි අනෙකුත් චරිත ගොඩ නැගී තිබෙන්නෙ. පවුලේ වැඩිමහල් දියණිය තමයි වාසනා. ඇයට නොතේරෙන පරාසයක සිට ඇය කොහොමද ජීවිතය දරා ගන්නෙ කියන දේ ප‍්‍රකාශ වෙනවා. ඇත්තටම වාසනාව තේරෙන්නෙ නැහැ, මොකද ඇය ඒ භීෂණයට මුහුණ දුන්නෙ නොතේරෙන අවදියකදීයි. අනෝමා ජනාදරී අක්කා ලාංකීය සමාජයේ සිටින රංගන ශිල්පිනියන් අතරින් අසීමිත දුෂ්කර දේ කළ හැකි රංගන ශිල්පිනියක්. ඇය වටා මේ කතාව ගලා යන අයුරු හරිම අපූරුයි. ඇයගෙ මෙන්ම මේ සියලූ දෙනාගේ රංග ස්වභාවයන් ඉතා සූක්ෂමව උකහා ගනිමින් සංජීව පුෂ්පකුමාර අපූරු සිනමා නිර්මාණයක් එයාගෙ උපරිම කැපවීමෙන් නිර්මාණය කර තිබෙනවා. අධ්‍යක්ෂවරයකුගේ කැපවීම ඉතා ඉහළින් ප‍්‍රකාශ කෙරෙන තවත් සිනමා නිර්මාණයක්.

කාලයකදී සමනලීගෙ අරමුණ වුණේ නීතීඥවරියක වීම නේද?
අරමුණක් තිබුණා. ඒත් උසස් පෙළ කළේ නාට්‍ය හා රංග කලාව. ඒකත් එක්ක ඒ හීනය අත්හැරලා දැම්මා. ඒ අත්හැරීම ගැන දැන් සතුටු වෙනවා. සමහරු එහෙම වෙන්න බැරි වුණාම දුක් වෙනවා.

ඒත් ඔබ සතුටු වෙනවා.
එය වෘත්තීය පිළිබඳව ගැටලුවක් නිසා නෙවෙයි. රංගනය කියන දේ සංවේදීව කළ හැකි වෘත්තියක් කියලයි මට දැනේනනේ. රංගනය මිනිසුන්ගෙ හැඟීම් වලට වඩාත් ළඟ බව මගේ හැඟීමයි.

සමනලීගේ ජීවිතේ කොහොමද කියල ඇහුවොත්?
ඉතාම ආදරණීයව, ඉතාම සතුටින් ගෙවෙනවා. තමන් කරනදේට අවංක විය යුතුයි. ජීවිතය යනු තීරණ ගැනීම් මත ඉදිරියට යන දෙයක්. කොතෙක් හරි වෙන්න පුළුවන්. වැරදියි කියලා හිතන්නත් පුළුවන්. තීරණ ගැනීමේදී හරිද වැරදිද කියන එක නෙවෙයි වැදගත්. ඒ ගත්ත තීරණ තමන් අවංකව ගැනීමයි වැදගත්. තමන් තමන්ට අවංකවීම වඩා වැදගත් යන සිතිවිල්ල ඇතිව තමයි මම ජීවිතයේ බොහෝදේට මුහුණ දෙන්නෙ.

සමනලී සහ ඉන්ද්‍රචාපා එකතු වෙලා සංගීත ප‍්‍රසංගයක් කළොත් හොඳයි නේද?
ඒක කොහොමටවත් වෙන එකක් නැහැ. එයාගේ ස්ථාවරය සහ ශෛලිය වෙනස්. හැබැයි ඉතින් එයා මට සංගීත විෂයෙහිදී උදව් කරනවා. බොහෝ දේ කියලා දෙනවා. ඉස්සර මට ගිටාර් වාදනය එක්ක ඒ තාලයට අනුව ගීතයක් ගයන්න පුළුවන් වුණේ නැහැ. ඒක මම ඉගෙන ගත්තෙ එයාගෙන්. කවදාවත් ඇහිච්ච නැති රිද්ම රටා මට තේරුම් ගැනීමේ හුරුව ඇති වුණා. ඇත්තටම ගිටාරය එක්ක විතරක් ගීතයක් ගැයීම වෙනස් දෙයක්. ඒ වගේ බොහෝ දේ මම එයාගෙන් දැන ගන්නවා.

​සඳුන් ගමගේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!