Gossip

අපේ ක්‍රිකට් ටීම් එකේ පුහුණුකරු චන්දික හතුරුසිංහ ඉස්සරහට කරන්න යන දේ හෙළි කරයි

කොදෙව් සංචාරය 1-1 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා සමත්වුණා.
අභියෝග මැදින් මුහුණදුන් මෙම තරගය ආන්දෝලනයට තුඩුදුන්නා.
මේ ගැන ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ පුවත්පතකට මේ විදිහට තොරතුරු හෙළිකර තිබුණා.

කොදෙව්වන්ට එරෙහිව ටෙස්ට් තරගාවලියට එන විට කුමන විදියේ අභියෝග මතු වේවිද යන්න සලකා සැලැසුම් කළාද?
මේ රටේ තිබෙන වේගවත් තණතිලිවල ක්‍රීඩා කිරීමට තිබෙන අභියෝගය අපි දැන සිටි නිසා වේගපන්දු යවන්නන් පස්දෙනෙක් සමඟ සැලැසුමක් ඇතිව සූදානමින් මෙම සංචාරයට පැමිණියා. මා හිතන්නේ අපි පළමු ටෙස්ට් තරගයෙන් පසුව දියුණුවක් ලැබුවා.
දෙවැනි තරගයේ සිට අපි ඒක පෙන්නුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේදී ඔසවා තබන්නට චන්දික හතුරුසිංහ කියන පුහුණුකරුවා ගැන ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් අධික බලාපොරොත්තු තබා ගෙන සිටිනවා. එම අභියෝගය ජයගැනීම සඳහා ඇති සැලැසුම් කෙසේද?
දැන් කණ්ඩායමේ තේරීම් සහ ක්‍රීඩකයන් යොදවා ගන්නා ආකාරය දිහා බැලුවාම ඔබලාට වෙනසක් පේනවා ඇති.
මට ඕන කණ්ඩායමේ ස්ථායී බවක් ඇති කරන්නයි. කණ්ඩායම තුළ ක්‍රීඩකයන්ට විශ්වසනීයත්වය ගොඩනඟා ගෙන ස්ථාවර බවක් ඇති කරගත යුතුයි.
මම දකින විදියට ඉස්සර කාලයේ ක්‍රීඩකයන් තෝරා ගැනීම තුළ ස්ථායී බවක් තිබුණෙ නැහැ. ඒකෙන් සිදුවුණේ අපේ කණ්ඩායමේ සංක්‍රාන්ති කාලයක් කියමින් ක්‍රීඩකයන්ට ස්ථාවරත්වයක් ඇතිව ක්‍රීඩා කරන්න අවස්ථාවක් දුන්නෙ නැහැ.
ඒ නිසා මම කරන්නේ ක්‍රීඩකයන් හඳුනාගන්න ගමන්ම ඔවුන්ට ස්ථාවර වෙන්න කාලයක් දෙන එකයි. මගේ ගෙවී ගිය මාස 6ක විතර රාජකාරි කළ කාලයේ තරග දිනන ආකාරය බැලූවාම ජයග්‍රහණය කරලා තිබෙන්නේ එක් තරගාවලියක් පමණක් වුණත් ඉදිරියේදී ක්‍රීඩා කරන ආකාරය දෙස බලන කොට අපේ සැලැසුම් තේරුම් ගන්න පුළුවන් වේවි.

ඔබේ ඉදිරි අරමුණු ගැන කතා කළොත්?
මගේ අරමුණ තරගාවලියක් හෝ තරගයක් දිනන එකම නොවෙයි. මගේ අදහස කණ්ඩායමට කායික හා මානසික වශයෙන් ස්ථාවරභාවයක් ගෙනදීමයි. ක්‍රීඩකයන්ට හොඳ අඩිතාලමක් දාලා මේ අවුරුද්ද අවසන් වෙලා ලෝක කුසලානය ළං වෙන විට හොඳ කණ්ඩායමක් බිහිකිරීම මගේ ඉලක්කයයි.
එහිදී වැඩිම අවධානය යොමු කරන්න ඕන එක්ව ක්‍රීඩා කිරීමේ පිළිවෙතක් හදාගැනීම සඳහායි. දෙවනුව ලංකාවෙදි ක්‍රිකට් දිනන්න ඕන. බොහෝ වෙලාවට දකුණු අප්‍රිකාව හැරුණු විට අනෙක් සියලුම කණ්ඩායම් තමන්ගෙ රටින් පිට තරග දිනන්න ලොකු අරගලයක් කරනවා. ඒ නිසා අපි දැන් ටෙස්ට්වල 6 වැනි ස්ථානයේ ඉන්න අවස්ථාවේ රටින් පිට හැම තරගයක්ම දිනන්න ඕන කියල හිතනවා නම් ඒක මිථ්‍යාවක්. ඒකට කාලයක් යනවා.

ඔබ වඩාත් කතා බහට ලක්වෙන පුහුණුකරුවෙක් බවට පත්වුණේ කෙසේද?
ඒකට හේතුව මටම ආවේණික ක්‍රමයකට වැඩකිරීම වෙන්න ඇති.
නවකයකු කණ්ඩායමට පැමිණි පසුව ඔහුට ප්‍රමාණවත් කාලයක් කණ්ඩායම තුළ ක්‍රීඩා කිරීමට අවස්ථාව දිය යුතුයි.
එසේ නොමැති නම් එම ක්‍රීඩකයා කණ්ඩායමට තෝරාගැනීමේ තේරුමක් නැහැ. නමුත් මෑත කාලය තුළ හිතපු නැති විදියට කණ්ඩායම වෙනස් කරන්න වුණේ ක්‍රීඩකයන් ආබාධවලට ලක්වූ නිසායි. එහෙම වුණේ නැත්නම් දැනටමත් සෑහෙන හොඳ ස්ථාවර කණ්ඩායමක් ගොඩනඟාගන්න ඉඩ තිබුණා.
ඒ වුණත් දැනට රතු පන්දුවට හා සුදු පන්දුවට ක්‍රීඩා කරන විස්සක් විසිපහක් පමණ ක්‍රීඩකයන් ප්‍රමාණයක් දැනට අපි සූදානම් කර ගෙන යනවා. සමහර විට ඉදිරියේදී මේ කණ්ඩායමේ ක්‍රීඩකයෝ දේශීය තරග ක්‍රීඩා කරන එකක් නැහැ. ඒ ඇයි කියලා අහන්න එපා.
ළහිරු කුමාර වගේ වේග පන්දු යවන්නෙක් ලබන අවුරුද්දේ ජාත්‍යන්තර තරග පමණක් ක්‍රීඩා කරාවි. එහෙම නැතිව ඒ වගේ ළාබාල පන්දු යවන්නෙක් ආබාධවලින් වළක්වා ගන්න බැහැ.

ඔබ පුහුණුකරු රාජකාරිය භාරගන්නා විට බොහෝ කොන්දේසි දැම්මා. ඔබට අවශ්‍ය පුහුණුකරුවනුත් බඳවා ගන්න ඉල්ලීම් කළා. ඒ අතින් ඔබ වෙනත් පුහුණුකරුවන්ට වඩා වෙනසක් පෙන්නුම් කළා නේද?
මගේ වෘත්තියට අවශ්‍ය දේවල් මට ඕන විදියට ලැබෙන්නෙ නැත්නම් මට ඒකෙ වගකීම විතරක් ගන්න කියනව නම් ඒක වැරැදියි නේ. යුද්දෙට යන්න කියල තුවක්කුව අතට දුන්නෙ නැත්නම් වැඩක් නැහැ නේ. මට ඕන පුහුණු සහාය කාර්ය මණ්ඩලය නැතිව වෙන අය ගෙන්වලා ඒ අයට ඕන විදියට ඒක කරගන්න යනවා නම් මම ඉඳලා වැඩක් නැහැ නේද?

ආබාධ සහ වෙනත් හේතු නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාවර සංයුතියක් පවත්වාගෙන යෑමට තවමත් අපොහොසත් වෙලා තිබෙනවා. මේ ගැන ඔබ ගන්නා පියවරයන් කුමක්ද?
මෙවර කණ්ඩායමෙත් සංයුතිය වෙනස් කරන්න සිදුවුණේ ක්‍රීඩකයන්ගේ ශාරීරික ආබාධ නිසායි. රංගන, ප්‍රදීප් හා චමීර ආබාධයන්ට ලක් වුණා. මැතිව්ස්ට ගෙදර යන්න අවශ්‍යතාවක් වුණා. කොහොම වුණත් අපි මෙවැනි අභියෝගවලට මුහුණ දෙන්න ලෑස්තිවෙලයි ඉන්නෙ. හැබැයි ආබාධයක් නිසා දක්‍ෂතා දක්වන ක්‍රීඩකයෙක් එළියට ගියොත් එයා සුව වෙලා ආවාම මම නැවතත් එයාට කණ්ඩායමේ ස්ථානය දෙනවා.
ඒ වන විට ආදේශක ක්‍රීඩකයා දක්‍ෂතා දැක්වුවත් එයාට එළියට යන්න වෙනවා. එවිට තමයි තරගකාරිත්වයක් ඇතිවෙන්නෙ. හැබැයි ෆේල් වෙලා කණ්ඩායමෙන් කෙනෙක්ට එළියට යන්න වුණොත් තව කවුරු හරි කණ්ඩායමට ගේනවා.
එවිට එළියට ගිය කෙනාට නැවත එන්න වෙන්නෙ යළිත් දස්කම් දැක්වීමෙන් පසුවයි. නමුත් ඉතිං බොහෝ ආබාධ සැලැසුම් කරලා නවත්වන්න පුළුවන් ඒවා නොවෙයි. එහෙම පුළුවන් එවා අපි කරනවා.

එළැ‍ඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව ඇති අභියෝග සහ වගකීම කෙසේද ඔබ දකින්නෙ?
එම අභියෝගයට මම දැන්ම සිට සූදානම් වෙමින් ඉන්නවා. අපේ ඉලක්කයත් මීළඟ ලෝක ක්‍රිකට් කුසලානය දිනන එකයි. නමුත් ලෝක කුසලානය වන විට අපි කොතැනද ඉන්නෙ කියල දැන්ම මට කියන්න බැහැ. එංගලන්තය සහ ඉන්දියාව යන කණ්ඩායම් අනෙක් අයට වගේම අපිටත් අභියෝගයක් වේවි කියල හිතෙනවා. එහිදී තරග වැඩි ප්‍රමාණයක් තිබෙන නිසා මුලදී දිනාගන්නා තරග ටික ඉතාම වැදගත්. කොහොම වුණත් අවසන් අදියරේදී අපේ දඟපන්දු යවන්නන්ගෙන් වැඩි වාසියක් ලබා ගන්නත් හැකි වෙයි කියලා විශ්වාස කරනවා.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!