Gossip

අප්පච්චිට පොඩි විවේකයක් ලැබුණු ගමන් මම අප්පච්චි ළඟට බුවිනි එක්කගෙන ගිහින් අප්පච්චි මේ ඉන්නේ… කියලා මට කියන්න ලැබුණේ එච්චරයි. මම බුවිනිව එතන තියලා බයටම පොඩ්ඩක් විගාට ගියා – සජිත අනුත්තර

බුවීව මට මුලින්ම මුණගැසුණේ 2016 ජනවාරි මාසෙදි. ඇත්තටම බුවීව මම හඳුනාගත්තේ 2015 නොවැම්බර් කාලවලදියි. හැබැයි මුලින්ම මුණගැහුනෙනම් 2016 වසරේ මුලදියි. මම අඳුරන නැටුම් ශිල්පියකුගේ fb එකේ එක ඩාන්ස් එකක් තිබුණා. ඒ නැටුමේ මගේ යාළුවත් එක්ක නටපු පාට්නර් තමයි බුවී කියන්නේ. ඉතින් හරි ලස්සනට ඩාන්ස් කරන කෙල්ලෙක්. මමත් ටිකක් ඩාන්සින් ක්ෂේත්‍රයේ ඉන්න නිසා මම නොදන්න මේ කෙල්ල කවුද කියලා පොඩ්ඩක් හොයලා බැලුවා.

මුලින්ම බුවිනි ගැන හොයලා බැලුවෙ ඔයාගේ යාළුවා මාර්ගයෙන්ද?
ඔව්. මම යාළුවගෙන් කවුද මේ කෙල්ල කියලා අහද්දි යාළුවා කිව්වේ මෙයා මේ වෙලාවේ එංගලන්තයේ ඉන්නේ කියලා පොඩි විස්තරයක් කිව්වා. ඉතින් මටත් පොඩ්ඩක් බුවී ගැන විශේෂත්වයක් ඇතිවුණ බවත් මම යාළුවට කිව්වා. එයා එච්චර ලංකාව ගැන දන්න කෙනෙක් නෙවේ. ඒ නිසා හරියන එකකුත් නැහැ වගේ පොඩි කතාවකුත් කිව්වා. හැබැයි මමත් උත්සාහය අත්හැරියේ නැහැ. මම බුවීට මැසේජ් කරලා බැලුවා. ඒවට මුලින්ම කිසිම උත්තරයක් ලැබුණෙත් නැහැ. ඒ නිසාම මේ රිප්ලයි නොකරන කෙල්ල ගැන තව තවත් හොයලා බලන්න මට ඕන වුණා.

බුවිනි එච්චර මැසේජ් කරද්දි ඇයි ඒවට උත්තර නොයැව්වේ?

මගේ Instagram page එක මම එහෙම public කරලා නැහැනේ. ඉතින් ඒකේ ඉන්නේ මගේ පවුලේ අය, නෑදෑයෝ, යාළුවෝ වගේ දන්න කියන පොඩි සංඛ්‍යාවක් විතරයි. ඒ නිසා මම මෙයා එවන මැසේජ්වලට උත්තර දාන්න ගියෙත් නැහැ.

සජිත මුලදිම මැසේජ් කරද්දි ඒ ජැක්සන් ඇන්තනීගේ පුතා ඒවගේම සජිත නිර්මාණවල ඉන්න තරුණ කලාකරැවෙක් කියලා බුවිනි දැනගෙන හිටියද?
මුලින්ම සජිත මැසේජ් කරපු දවසේ මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. ඊටපස්සේ කවුද මේ කියලා හොයලා බලද්දි තමයි සූරිය අරණ චිත්‍රපටයේ හිටපු කෙනා කියලා මම දැනගත්තේ.

මුලින්ම මුණගැසුණේ කවද්ද?
(ඔන්න ඒ ප්‍රශ්නයටනම් උත්තර දුන්නේ සජිත)අපි මුලින්ම මුණගැසුණේ 2016 ජනවාරි මාසෙදි. ඒ වෙද්දි බුවීයි මායි මැසේජ් කරලා හොඳ යාළුවො වුණා. ඇත්තටම ඒක යාළුකමකට එහා ගිය මොකද්දෝ බැඳීමක් කියලා මම දැනගෙන හිටියා. ඉතින් අපි දෙන්නටම මුණගැහෙන්න ඕන වුණා. දවසක් බුවී එයාගේ අම්මා එක්ක පෞද්ගලික රෝහලකට එනවා කියලා මට මැසේජ් කළා. එදා අපි මුලින්ම මුණගැහෙන්න කතාබහ කරගත්තා. ඒ නිසා අපි දෙන්නා මුලින්ම මුණගැසුනේ ඉස්පිරිතාලෙක.

එදා දෙන්නට කතා කරන්න අවස්ථාවක් ලැබුණද?
ඔව්. එදා මෙයයි අම්මයි හොස්පිට්ල් එකට ඇවිත් හිටියා. අම්මා චෙක්අප් එක කරන්න ඇතුළට යනකල් ඉඳලා මම බුවී ළඟට ගිහින් කතා කළා.

සජිත බුවීට ආදරය කරන්න, විවාහ කරගන්න ඇය ළඟ තිබුණ සුවිශේෂීකම මොකද්ද?
බුවීට හිත ගිය පළවෙනිම විශේෂත්වය තමයි බුවීගේ තිබුණ පෙනුම. ඊටපස්සේ පෙනුමට වඩා වැදගත් වන දේවල් ටිකක් තියෙනවනේ. බුවීට හොඳ සුදුසුකම් තිබුණා. . අපි දෙන්නා යාළු වුණාට පස්සේ එයා එයාගේ ජීවිතේ දේවල්වලට කලින් එයා එයාගේ මව්පියන්ට, මට ආදරේ කළා. අපි හැමදෙනා ගැනම හොයලා බලලා සලකලා තමයි එයා එයා ගැන හිතන්නේ.

සජිත එහෙම කියද්දි බුවිනි සජිතට ආදරය කරන්න සැමියා කරගන්න තිබුණු සුවිශේෂීකම මොකද්ද?
මෙයා ගොඩක් හොඳ කෙනෙක් කියලා මට තේරුණා එයා එක්ක කතා කරද්දි. එයත් මට වගේම මගේ මව්පියන්ටත් ආදරය කළා. එයාව ආශ්‍රය කරද්දි එයා කොයි වගේ කෙනෙක්ද කියලා මට හොඳට තේරුණා. එයා මට හරි ආදරෙයි. ඒ ආදරය මට දැනුණා. එයා හොඳ මනුස්සයෙක් කියලා මට දැනුණා.

සජිතට මතකද මුලින්ම බුවිනිට දීපු තෑග්ග?
ඔව්.. මතකයි. ඒකටත් හොඳ කතාවක් තියෙනවා. බුවීව මුලින්ම මුණගැහෙන්න යන බව මම මගේ අයියට කියලා තිබුණා. බුවී ගැන මම මුල ඉඳන්ම අයියට කියලා තිබුණේ. ඉතින්…. හොස්පිට්ල් එකට යන්න වරු ගාණක් ලෑස්ති වෙලා සුවඳ ගහලා, හැඩ වෙලා එළියට බහින්න හදනකොටම අයියා මොනවද ගෙනියන්නේ? කියලා ඇහුවා. ඒ වෙලාවේ ගෙනියන දේවල් ගැන මගේ ඔළුවට කිසිම දෙයක් මතකයට ආවෙ නැහැ. මුකුත් නැහැ කියලා මම කියද්දි උඹට පිස්සුද මොනවහරි ගෙනියපන් කියලා කියද්දිත් ගෙනියන දේ ගැන එකපාරටම මතකයට ආවේ නැහැ. ඒ වෙලාවේ එමී අක්කත් ටක්ගලා ඇවිත් ඉන්නකො මොනවාහරි කරමු කියලා මාව එක්කගෙන ගිහින් එයාගේ කබඩ් එක ඇදලා ඇදලා රත්තරන්වලින් හදපු ලස්සන බ්‍රේස්ලට් එකක් මට දීලා මේක ගිහින් දෙන්න කියලා දුන්නා. එදා හොස්පිට්ල් එකේදි මුලින්ම හම්බවෙලා මම බුවීට ඒක මම ගත්ත විදිහට තෑගි කළා. එච්චර උනන්දුවෙන් තෑග්ගක් අරගෙන ආපු එක ගැන එදා බුවී ගොඩාක් සතුටු වුණා. හැබැයි ඒක එමී අක්කගේ එකක් කියලා මම පස්සෙ තමයි එයාට කිව්වේ.

බුවිනි සජිතට දීපු මුල්ම තෑග්ග මොකද්ද?
මමත් සජිතට මුණගැහෙන්න මුලින්ම හොස්පිට්ල් එකට ආපු දවසෙම එයාට තෑග්ගක් අරගෙන ආවා. ඒ ලස්සන ටී-ෂර්ට් එකක්. ඒකේ Today is a good day කියලා ප්‍රින්ට් කරලා තිබුණා. ඒකටත් සජිත හරි කැමතියි.ඒ තෑග්ගෙනුත් බුවී පොඩි ඉඟියක් මට දුන්නා. හොඳ වෙලාවට අයියා මට තෑග්ග මතක් කරලා මාව බේරුවේ. නැත්නම් මම වැඩේ නානවා. (එහෙම කිව්වේ සජිත)

සජිත අප්පච්චිට, අම්මට බුවිනි ගැන කිව්වෙත් ඔයාමද?
ඔව්. අපි දෙන්නගෙම අම්මලා දෙන්නා තමයි මුලින්ම අපිව දැනගත්තේ. මම අපේ අම්මටත් කියලා තිබුණා. බුවී එයාගේ අම්මටත් කියලා තිබුණා. හැබැයි අපි දෙන්නගෙම තාත්තලට කියන එක ටිකක් අමාරු වුණා. අපි මුලින්ම අපේ අප්පච්චිට තමයි කිව්වේ. ඒ දවස්වල අප්පච්චි ධර්ම යුද්ධය චිත්‍රපටයේ රෑගතකිරීම්වලට මාතලේ තමයි හිටියේ. ඉතින් දවසක් මම බුවිනිත් එක්කගෙන මාතලේ ගියා. අපි යද්දිත් අප්පච්චි ෂූටිං. ටික වෙලාවක් බලාගෙන ඉඳලා අප්පච්චිට පොඩි විවේකයක් ලැබුණු ගමන් මම අප්පච්චි ළඟට බුවිනි එක්කගෙන ගිහින් අප්පච්චි මේ ඉන්නේ… කියලා මට කියන්න ලැබුණේ එච්චරයි. මම බුවිනිව එතන තියලා බයටම පොඩ්ඩක් විගාට ගියා. බුවිනිත් බය වෙලා. ඒ වෙලාවේ අපේ වෙලාවට දිල්හානි ඇන්ටියි (දිල්හානි ඒකනායක) තිසුරියි (තිසුරි යුවනිකා) එතන හිටියා. දිල්හානි ඇන්ටි තමයි මගේ ඉතිරි වචන ටික ගැටගහලා අප්පච්චිට බුවිනි හඳුන්වලා දුන්නේ. තිසුරිත් සපෝට් එක දුන්නා. ඇත්තම කිව්වොත් අප්පච්චි එක්ක හැරෙන්නවත් අපිට බැහැ. එදා ඒ වෙද්දිත් අප්පච්චි මේ සම්බන්ධය දැනගෙන ඉඳලා අපි එනකල් තමයි බලාගෙන ඉඳලා තියෙන්නේ.

බුවිනිගේ තාත්තට කිව්වෙ බුවිනිද?
මම සජිතට කිව්වා මෙයාට ඇවිත් තාත්තා එක්ක කතාකරන්න කියලා. ඒවෙද්දිත් මගේ තාත්තටත් මොකක්හරි තියෙනවා කියලා තේරිලයි තිබුණේ. ඒ වුණාට අපි ඒක තාත්තට කියන එක අපේ යුතුකමනේ. ඉතින් දවසක් සජිත අපේ ගෙදර ආවා. එදා මම ගෙදර හිටියේ නැහැ.

සජිත ප්‍රතිචාරය කොහොමද?
ඇත්තටම බුවීගේ තාත්තා හරිම හොඳ කෙනෙක්. මාව හොඳට පිළිගත්තා. මම තාත්තට කිව්වා බුවීයි මායි යාළුවො විදිහට ටික කාලයක් ආශ්‍රය කළා. ඒ යාළුකමකට එහා ගිය බැඳීමක් කියලා හිතෙනවා. මට බුවී ගැන අදහසක් තියෙනවා කියලා මම තාත්තට කිව්වා. ඒ වෙලාවේ තාත්තා කිව්වේ පුංචි කාලේ ඉඳන් බුවීට දුකක් දෙන්නෙ නැතුව, අඬවන්නෙ නැතුව අපි හැදුවා. ඒ වගේ ආදරෙන් ඔයාට එයාව බලාගන්න පුළුවන්නම් එච්චරයි අපි බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒකෙන්ම මට බුවිනිගේ තාත්තා කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලා තේරුණා. ඒ අම්මයි, තාත්තයි අපි දෙන්නටම හරිම ආදරෙයි. අපි දෙන්නම පවුලෙ බාලයොනේ. ඉතින් අපි හුරතලේට හැදුණු දෙන්නෙක්. ඒ නිසා විවාහ වුණාට පස්සේ අපි ඒ ආදරේ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා බුවී මාව බලාගන්නවා. මම බුවීව බලාගන්නවා.

බුවීට උයන්න පුළුවන්ද?
දැන් බුවීට උයන්න පුළුවන්. අපි දෙන්නා විවාහ වුණාට පස්සේ බුවීගේ තට්ටු දෙකේ ගෙදර පහළ කොටස අපි දෙන්නට වෙන් වුණා. අපේ ගෙදරත් අපි දෙන්නට වෙනමම කාමරයක් තියෙනවා. ඒ නිසා අපි මේ තැන් දෙකේම මාරුවෙන් මාරුවට ඉන්නවා. හරියට සංචාරක දෙපලක් වගේ. ඉතින් ගෙදර ඉඳිද්දි දැන් බුවී උයනවා. ඉස්සර එහෙම බැහැ. මට තාම මතකයි එකපාරක් කට්ටියගෙන් අහලා පරිප්පු එකක් හදලා උළුහාල් වැඩි වෙලා විසි කරන්න සිද්ධ වුණා. හැබැයි දැන්නම් හොඳට උයනවා.

බුවිනි එක්ක ගතකරන මේ ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
අපි තාම විවාහ වෙලා මාස අටක් වගේ වෙන්නේ. හැබැයි මේ මාස කිහිපය මගේ ජීවිතේ මං ගතකරපු සුන්දර කාලයක්. එයා මට ගරු කරනවා. මම එයාට ගරු කරනවා. දැන් ජීවිතේ පහසුයි වගේ කියලයි මට හිතෙන්නේ. තනියම මුහුණ දුන්නු ප්‍රශ්නවලට දැන් දෙන්නත් එක්ක එකතු වෙලා මුහුණ දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඇත්තටම මේ ජීවිතේ දැන් හරි ෂෝක්.

(ඔන්න ඒ ප්‍රශ්නයම අපි බුවිනිගෙනුත් ඇහුවා.)ඇත්තටම මෙයා මාව හරිම ආදරයෙන් බලාගන්නවා. එයා එක්ක ගතකරන මේ ජීවිතේට මම හරි ආදරෙයි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!