Gossip

අපල අපල කියල හැම වෙලේම හැම දේකටම හිතන්න ගියොත් තමයි ඔය අපල කියන දේට අපට මුහුණ දෙන්න වෙන්නෙ -සූර්යා දයාරුවන්

ඔබේ කේන්දරේ?

අම්මගෙ අල්මාරියේ බොහොම පරිස්සමට තියෙනවා. ඒක කොච්චර පරිස්සම් කරනවද කිව්වොත් අවුරුදු පහ හයකට සැරයක්වත් අල්මාරියෙන් එළියට ගන්නෙ නෑ. මට මතක ඇති කාලෙක මගේ කේන්දරේ එළියට ගන්න ඇත්තෙ පසුගිය කාලෙ මාව ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවෙ තමයි. මොකද අපේ ගෙදර කවුරුත් වැඩිය කේන්දර එක්ක ඇලිල ගැලිල නෑ.

කේන්දරේ ගැන මොකද හිතෙන්නෙ?
කෙනෙක් වෙනුවෙන් එහෙම දෙයක් හදල තිබුණට වැරැද්දක් නෑ. උපන් වෙලාවට ගණිත ක්‍රමයක් උපයෝගී කරගෙන හදල තියෙන නිසා කේන්දරවල සැලකිය යුතු ඇත්තක් තියෙනව. ඒත් කාගෙ වුණත් මුළු ජීවිතේම ඕකට බාරදීල ඉන්නව කියන එක නම් අනුමත කරන්න බෑ. 50% ක ඇත්තක් වගේම 50% ක නැත්තකුත් ඕකෙ තියෙන්න පුළුවන්.

ප්‍රයෝජනයට ගන්නෙ මොන වෙලාවටද?
තවම නම් කේන්දරේ ප්‍රයෝජනයට අරන් වැඩක් කරන්න මට අවස්ථාව ලැබුණෙ නෑ. මම සම්බන්ධයෙන් කේන්දරේ බැලූවනම් ඒ දේ කළේ මගේ අම්ම. ඉදිරියේදී වුණත් ඕක ප්‍රයෝජනයට අරන් මම දෙයක් කරයි කියල හිතන්න අමාරුයි.

අපල කාල ගැන විශ්වාස කරනවද?
මම හිතන්නෙ අපල අපල කියල හැම වෙලේම හැම දේකටම හිතන්න ගියොත් තමයි ඔය අපල කියන දේට අපට මුහුණ දෙන්න වෙන්නෙ. අනවශ්‍ය දේවල් නොහිතා තම තමන්ට සෙතක් ප්‍රාර්ථනා කරගෙන වැරදි වැඩ නොකර ඉන්නවානම් ඔය කියන අපල එකක්වත් නැතිවෙයි.

නැකැත් අනුගමනය කරනවද?
පුංචි කාලෙ ඉඳල සිංහල අලූත් අවුරුදු දවසෙදි අම්ම අදාල නැකැත්වලදි ඒ චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරනව දැකලම මමත් ඒවට හුරුවෙලා ඉන්නව. ඒ දේවල් ඒ විදිහට කරනව ඇරෙන්න එදිනෙදා ජීවිතේදී නැකැත් අනුගමනය කෙරෙන්නෙ නෑ.

දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසය?
උන්වහන්සේලාගෙන් අපිට ලොකු ආශිර්වාදයක් තියෙනව කියල විශ්වාසයි. පුංචි කාලෙ ඉඳලම ගෙදර ආගමික වතාවත් ඉෂ්ට කරන්න මම පුරුදුවෙලා හිටියා. අදටත් මම ගෙදරින් එළියට යනවනම් බුදුකුටියට ගිහින් වැඳල තමයි යන්නෙ. ගණ දෙවියන්ට සරස්වතී මෑණියන්ට පිං අනුමෝදන් කරනව පුළුවන් හැම වෙලාවකම.

පුද පූජා ශාන්තිකර්මවලට දෙන තැන?
කොහොමටත් එවැනි දේවල්වලට අපේ ගෙදර කිසිම කෙනෙකුගේ නැඹුරුවක් නැහැ. බෝධි පූජාවල් නම් අපි ඉතා විශ්වාසයෙන් පවත්වනව. ඒ තුළින් අපේ මනස නිරවුල් වෙලා ලොකු සහනයක් ලැබෙනව.

කේන්දරේ සඳහන් වුණ විශේෂ කාරණා?
කලාව තුළ බොහෝ දුර ගමනක් යනව කියලත්, අධ්‍යාපන කටයුතු උපරිම ආකාරයෙන් ඉහළට ගෙනිහින් පිටරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය පවා හිමිකර ගන්නා බව කියල තියෙනව.

නළුවෙක් ගායකයෙක් වෙන බව ඔබේ කේන්දරේ සඳහන් වුණාද?
එහෙම පැහැදිලිව ඒ දේ කියවුණා කියල මම කවදාවත් අහල නෑ. කලාවට සම්බන්ධකම් තියාගෙන ඉදිරියට යනව කියපු දේනම් අද වෙද්දි හරිගිහින් තියෙනවා.

කවදහරි විවාහ වෙන්නෙ කේන්දර ගලපල නැකැත් වලට අනුවද?
කේන්දර නෙමෙයි විවාහ වෙන දෙන්නෙක් සීයට සීයක් ගලපන්න ඕන අදහස්. මොකද කේන්දර දෙක සියයට සීයක් ගැලපුණත් වැඩක් නෑ. දෙන්නගෙ අදහස් එකිනෙකට විරුද්ධව යනවනම්. ඊළඟ ප්‍රධානම දේ තමයි ඉවසීම. ඒක නැතිනම් ඉතින් කේන්දර ගලපගෙන වැඩක් නෑ.

රාහු කාලෙට බයද?
රාහු කවුද ඒ රාහුගෙ වෙලාව මොකද්ද කියන එක මම දන්නෙම නැති දෙයක්. ඒ නිසා බයවෙන්න හේතුවක් නෑ. ඕව බල බල ඒ ගැන හිත හිත හිිටියොත් අපිට කරන්න වෙන වැඩක් නැතිවෙනව.

ලග්නය
වෘෂභ.

කේන්දරේ සඳහන් වුණ විශේෂ යෝග?
මම හිතන්නෙ නෑ කිසිම විශේෂ දෙයක් තියෙන්න ඇති කියල. එහෙම තිබුණනම් අම්ම ඒ ගැන මාත් එක්ක නොකිය ඉන්න හේතුවකුත් නෑ.

සඳහන් වුණ අසුභ යෝග?
ඒවානම් කීපයක්ම තිබුණා. එක කාලසීමාවකදී වතුරෙන් අපලයි කියලත් තවත් කාලෙකදි ගින්නෙන් අපලයි කියලත් කියවුණා. ඒ කාල මම ගෙදරින් එළියට යද්දි අම්ම මට ඒ හැමදේම මතක් කරනව. මම ඒ කියන විදියට පරිස්සම් වෙනව.

කේන්දර අහිමි අයට ජීවිතේ දිනන්න පුළුවන්ද?
අපෝ පුළුවන් මම හිතන්නෙ ඕනවට වඩා කේන්දර විශ්වාස කරල ඒව පස්සෙ ගිහින් තමයි බොහෝ අයගෙ ජීවිතේ පැරදෙන්නෙ නෑ. ඕක අතේ දුරින් තියාගෙන අධිෂ්ඨානෙන් තම තමන්ගෙ ගමන යනවනම්. ප්‍රශ්න අවම කරගෙන ඉන්න පුළුවන්.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!