Gossip

අද රෑ ඉඳන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වාරණය වීමේ අවදානමක්..? – සියළු තොරතුරු මෙන්න

මෙරට මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් විසින් ෆේස් බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියට කර තිබෙන යෝජනාවක් නිසා ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු කාලයේදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි යම් වාරණයකට ලක්විය හැකි තත්ත්වයක් මතුව ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරනවා.
ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රචාරක කටයුතු අවසන් වන අද (13 ) මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ ප්‍රචාරක කටයුතු සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුළ පළකිරීම වැළැක්විය නොහැකි බැවින් ‍ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍යවල මුදල් ගෙවා සිදුකරන දැන්වීම් නැවැත්වීම සුදුසු බවට මෙරට එක්තරා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් ෆේස් බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියට යෝජනා කර තිබේ.
එය ක්‍රියාත්මක වුවහොත් මුදල් ගෙවා පළකරන දේශපාලන නොවන දැන්වීම් පවා නතර වන්නට ඉඩ ඇති බවත්, එයින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි යම් වාරණයකට ලක්විය හැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද වාර්තා වනවා.
ෆේස්බුක් යනු එක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් පමණක් වන බවත්, එම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුළින් සාමාන්‍ය ජනයාද තමන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරණය සිදුකරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි.
මෙම තත්ත්වය ඔවුන්ට අහිතකර ලෙස බලපාන්නට ඉඩ ඇතැයි ද ඔවුහු කියති.
සමාජ මාධ්‍ය වාරණය හෝ සමාජ මාධ්‍ය වෙබ් අඩවි වෙත යම් අවහිරතා ඇති කිරීම සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල පරිශීලකයන්ට හිමිවී තිබෙන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් බවත්, සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල හැසිරීම පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව සමාජ මාධ්‍ය වෙබ් අඩවි යම් වාරණයකට ලක් කරගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එම මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමට බලවත් අප්‍රසාදය පළ කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් සඳහන් කරයි.
සිදුකළ යුත්තේ සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල පළවන දැන්වීම් පාලනය කිරීමට කටයුතු කිරීම නොව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදුනොකළ යුතු අවස්ථාවේ ප්‍රචාරණ කටයුතුවල නිරතවන සමාජ මාධ්‍ය පිටු හඳුනාගෙන එම පිටු මෙහෙවන්නන්ට ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ පනතෙහි සඳහන් ආකාරයට මැතිවරණ කොමිසම විසින් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ලබාගැනීම බවද එම සංගමය පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!