Gossip

ගමෙන් කොළඹට ආ ගැහැණියක් පිරිමියෙකුගේ බසට රැවටී වැරදි පාරේ ගිහින් විනාශ වුණු හැටි

කොළඹ සිට කිලෝමීටර් 50ක් පමණ නුදුරින් පිහිටි ගම්මානයක උපන් කරුණාවතී තිදරු මවකි. තවමත් 39වන වියේ ඇය පසු වුවත් විඳි දුක් වේදනාත් දැනට සිපිරිගෙයි ගෙවනා ජිවිතයත් අතීත මතකයත් ඇය වයසට වඩා මහලු කොට ඇත.
ඉතා දිළිඳු පවුලක උපන් කරුණාවතී නිසි කල වයසට එළැඹෙන්නටත් පෙර විවාහ දිවියට ඇතුළත් වුවාය.
ඇයගේ සිත් ගත් තරුණයා වැල්ඩින් කරුවකු ලෙස වැඩපළක සේවය කළ අයෙකි.
කාලය කෙමෙන් ගෙවෙද්දී කරුණාවතී පුතුන් දෙදෙනෙකුගේ ද දියණියකගේ ද මවක් වුවාය.
මේ ගෙවී ගිය කාල පරිච්ඡේදය කරුණාවතීට හෝ දරුවන්ට හෝ සුන්දර කාලයක් වුයේ නැත. දැඩි හැලහැප්පීම් මත යන්තම් රඳා පැවැති කරුණාවතීගේ විවාහය බාල දියණිය උපත ලබා දින කිහිපයකින් අවසන් විය.
කරුණාවතීගේ සැමියා කරුණාවතී අතහැර වෙනත් කාන්තාවක හා දීග කෑමට ගියේය.
දරුවන් තිදෙනකු සමඟ අතරමං වූ කරුණාවතීගේ අත් උදව්වට ඇයගේ මව නිවෙසට පැමිණියාය.
මවගේ පැමිණිමත් සමඟම දරුවන්ගේ වගකීමෙන් ටිකක් ඈත් වු කරුණාවතී රැකියාවක් සොයා ගත්තාය.
ඒ දරුවන් තිදෙනා හදාවඩා ගැනීමට මුදල් ලැබෙන වෙන මාර්ගයක් නොවු බැවිනි.
නිවෙස අසල පිහිටි පැළතවානක වැඩට ගිය ඇයට එතරම් මුදලක් ලැබුණේ නැතත් ලැබෙන මුදලින් දරුවන්ට කන්න අඳින්න දෙන්නටත් මවට සැලකීමටත් කරුණාවතී කෙසේ හෝ කටයුතු කළාය. දුක් කරදර මැද වසර 5ක් ගෙවී ගියේය.
දැන් බාල දියණියට වයස අවුරුදු 5කි.
පුතුන් දෙදෙනා ඊට වඩා ලොකුය.
පැළ තවානේ වැඩ කිිරීමෙන් ලැබෙන මුදල මේ දරු පැටවුන් නඩත්තු කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් වුයේ නැත.
කරුණාවතීට අදහසක් පහළ විය. දරු තිදෙනා මවට බාර දී විදේශයකට ගොස් රැකියාවක් කොට දරුවන්ගේ ඉදිරිය සැපවත් කිරිමට ඇයට සිතිණි. ඒ සිතිවිල්ල ක්‍රියාවට නැංවීමට කල්පනා කළ කමලාවතී ගෘහ සේවිකාවක ලෙස රැකියාවක් සොයාගෙන පිටරටකට යාම සඳහා කොළඹ පිහිටි එක්තරා විදේශ රැකියා ඒජන්සියකට පැමිණියාය.
ඒ වන විට 35 වැනි වියේ පසුවූ කරුණාවතී විදෙස් රැකියාව කෙරෙහි තැබු දැඩි විශ්වාසය ඒජන්සියේ සිටි ‘අයියා’ කෙනෙක් නිසා තව තවත් ශක්තිමත් විය.
අහිංසක පෙනුමක් ඇති හෙමින් කතා බහ කරන ලැජ්ජාශිලි මෙන්ම සමාජය පිළිබඳ එතරම් දැනුමක් තේරුමක් නොතිබුණ කරුණාවතී ඒජන්සියේ “අයියා”ගේ අමුතු බැලුම් හමුවේ සලිතව ගියාය. වැල්ඩින් වැඩපලක වැඩ කළ තමන්ට දිගින් දිගටම අඩම්තේටම් කරමින් සිට මීට වසර කිහිපයකට පෙර තමා අතහැර දමා වෙනත් ගැහැනියක සමඟ පලාගිය සිය සැමියාට වඩා මේ ‘අයියා’ කෙතරම් වටින්නේ දැයි ඇයට සිතෙන්නට ඇත.
‘අයියා’ගේ දයාබර වදන් හමුවේ තම සිත පාලනය කර ගැනීමට නොහැකි වු තැන කරුණාවතී ‘අයියා’ සමඟ ආදරයෙන් වෙලී ගියාය.
රට යන ගමන නිවැරැදිව සකස් කර ගැනීම සඳහා නිතර නිතර කොළඹ ආ කරුණාවතී ‘අයියා’ හමුවී නිදහසේ ජීවිතය විඳින්නට පුරුදු වුවාය. ඇය අයියාට ආදරය කළාය. අයියා විශ්වාස කළාය.
අතේ තිබෙන මුදල් සොච්චම වියදම් කරමින් කොළඹ එන ඇයට රට රැකියාවට යාමට ඉක්මනින්ම මඟ පාදා දෙන බව කී ‘අයියා’ මසක් දෙකක් යනතුරුත් එය ඉෂ්ඨ කර දුන්නේ නැත. එහෙත් අයියාගේ අවශ්‍යතානම් හොඳින් ඉෂ්ඨ කර ගත්තේය.
‘අයියා’ සමඟ පැවැති ඇසුරෙන් වැඩිකලක් නොගොස් කරුණාවතී ගැබ් ගත්තාය.
අවසානයේ තමාට දරුවකු ලැබෙන්නට සිටින බව දැනගත් වහාම ඇය ‘අයියා’ හමු වී ඒ බව කියා සිටියාය. ඒ වෙනුවෙන් දීමට පිළිතුරක් අයියා ළඟ තිබුණේ නැත. අයියා නිහඬ වුවා පමණක් නොව ඇය මඟ හරින්නට ද පටන් ගත්තේය.
පසුව කරුණාවතී ‘අයියා’ හමුවීමට කිහිපවතාවක් එජ්න්සියට ගියත් ‘අයියා එතැනද නොවීය. ඇය තව තවත් අසරණ වුවාය.
මේ බව දැනගත් ඇයගේ මව ද අක්කාගේ නිවෙසට ගියාය.
එදා…ඇයගේ දරුවන් තිදෙනා පාසල් ගොසිණි. ඒ වන විට ඇයගේ ගැබට මාස 08ක් සපිරී තිබිණි. උදේ ගෙදර වැඩ කරමින් සිටින අතර එක් වරම ඇය බිම ඇද වැටුණාය. ඒ වැටීමත් සමඟම ඇයගේ දරු කුසද තදින් බිම වැදිණි. ඒ සමඟම ඇයට දැඩි බඩේ වේදනාවක් දැනෙන්න විය.
වැසිකිළියට ගිය කරුණාවතීට කුසේ සිටි දරුවා ඉපදෙන්න යන බවක් දැණිනි. ඇය වහාම නිවෙස තුළට පැමිණියාය. අවට කිසිවෙක් නැත. උදව් ඉල්ලා ගැනීමට හැකියාවක් නැත. ගෙයි සාලයේ වැටුණු ඇය ප්‍රසුත වේදනාවෙන් කෑ ගැසුවත් ඇයගේ පිහිටට කිසිවෙක් නැත. වේදනාවෙන් සිහි විකල්ව සිටි කරුණාවතී කුසෙන් එළියට ඒමට උත්සාහ කරන දරුවා සියතින් ඇද එළියට ගත්තාය. ඒ සමඟම කරුණාවතී සිහිසුන් විය.
ඇයට සිහිය එන විට ලේ විලක් මැද දරුවා වැටී සිටියාය. දරුවා හුස්ම ගත්තාද නැද්ද යන්න පිළිබඳව කරුණාවතීට මතකයක් නැත. කතුරක් ගෙන පෙකණීවැල කපා දැමු කරුණාවතී දරුවා දෙස බැලුවාය. ඒ ගැහැනු දරුවෙකි. දරුවාගේ බෙල්ලේ පෙකණිවැල සිර වී තිබෙනු දුටු කරුණාවතී දරුවා දෑතට ගෙන පෙකණිවැල අයින් කළාය. ඒ වන විටත් දරුවා මිය ගොසිණි.
මිය ගිය දරුවා පසෙක සඟවා තැබු කරුණාවතී කෙසේ හෝ දරුවා උපන් ස්ථානය පිරිසුදු කළාය. පසුව දරුවාගේ සිරුර ගෙවත්තේ සඟවා ඇය පාඩුවේ සිටියාය. මේ සිදුවීම් මාලාව කිසිවෙකුත් නොදන්නවා යැයි කරුණාවතී සිතා සිටියත් ඇයට වැරදි තිබිණි.
මේ දෙස ඇස ගසාගෙන සිටි යම් කිසිවෙක් සියලු තතු පොලීසියට පවසා තිබිණි. බිහි වූ සැණින් දරුවා මරා දැම්මේ චෝදනාව මත කරුණාවතී පොලිස් අත්අඩංගුවට පත්විය.
දරුවා ඝාතනය කළේය යන චෝදනාව සම්බන්ධටයෙන් පැවති නඩු විභාගයෙන් ඇයට වසර හතරක සිර දඬුවමක් නියම විය.
දැන් ඇයගේ දරුවන් ලොකු මහත්වෙලාය. නමුත් ඔවුන් තැන් තැන් වලය. ඔවුන් රැකියා කරන්නට තරම් ලොකු තත්ත්වයකට තවම පැමිණ නැත. ඔවුන්ට අම්මා වෙනුවෙන් කළ හැකි දෙයක් නැත. ඇය ගැන සොයා බැලීමට ඇයගේ ඥාතින්වත් දැන් පැමිණෙන්නේ නැත.
“ඒ ගොල්ලන්ට වැඩ ඇති. එයාලත් අමාරුවෙන් ජීවත්වෙන අයනේ. මම ගැන හොයන්න එන්න වේලාවක් නැතිව ඇති.” කරුණාවතී කඳුළු සඟවමින් පවසන්නීය. බන්ධනාගාරයේ සිටින කාන්තාවන් අතරින් අහිංසකම කාන්තාව කරුණාවතී බව බන්ධනාගාර නිලධාරීනියෝ පවසා සිටිති. ආගම දහමට ළැදිව ඉතා නිශ්ශබ්දව ජීවත්වන ඇයට තවත් වසරක පමණ කාලයක් සිරගෙදර ගත කරන්නට සිදු වී ඇත.
දරුවා මිය යාමේ සිද්ධියේ නඩු විභාගයේ දී සිදුවුයේ කුමක් දැයි පැහැදිලි කිරිම සඳහා කරුණු ඉදිරිපත් කිරීමට සිදු වී ඇත්තේ ඇයටමය. සිදුවීමක් පැහැදිලි ලෙස ගලපා ප්‍රකාශ කිරිමේ හැකියාවක් ද ඇයට නැත. මියගිය දරුවාගේ සිරුර හොර රහසේ වළ දැමීම ඇයට නිර්දෝෂී භාවය පෙන්වීමට ඇති මඟ අහුරා ඇත.
මේ වන විට සිර ගෙදර ජිවිතයට හුරු වී සිටින ඇය සිර ගෙදර පවත්වාගෙන යන මැහුම් කර්මාන්ත ශාලාවේ පාපිසි මැසීමේ නිරතව සිටි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!