Gossip

“මම ජීප් එක හරවගෙන එද්දී රංකැටියා එක පාරටම මට වෙඩි තියන්න පටන් ගත්තා”

මෙරට පවතින නීතියේ හැටියට මනුෂ්‍ය ඝාතනයක් හෝ කිහිපයක් සිදුකොට රක්ෂිත බන්ධනාගාර ගත වුවත් දින අනුවක් හෝ ඊට වැඩි ගණනක් ගෙවී ගිය විට ඇප මත නිදහස ලබාගත හැකිය.
සමහර පුද්ගලයන් මනුෂ්‍ය ඝාතනයක් සිදුකරන්නේ තමාට සිදු වූ තදබල අසාධාරණකම් ඉවසා සිටිය නොහැකි තැනය. තවත් සමහරු ක්ෂණික කෝපය නිසාත්, තමාගේ ආත්මාරක්ෂාව සඳහාත් ඝාතන සිදු කරති.
එහෙත්…. වර්ථමානය වන විට මෙරට සිදුවන ඝාතන වලින් වැඩි සංඛ්‍යාවක් කල්ලි අතර පවතින ගැටුම් හේතුවෙන් සිදුවන ඒවා බව සනාථ වී ඇත. එලෙසම මෙම කල්ලි වලට සම්බන්ධ ඝාතකයන් සිටින අතර ඔවුන් කරන්නේ කල්ලි නායකයාට අවශ්‍ය පුද්ගලයන් මරා දැමීමය.
එහෙත්…. සාධාරණ හේතුවක් මත මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ අයත්, මෙවැනි සංවිධානාත්මකව මනුෂ්‍ය ඝාතන සිදුකළ අයත් වෙනුවෙන් ක්‍රියාත්මත වන නීතිය එකමය. එබැවින් මේ දොගොල්ලන්ම ඇතුලට ගොස් දින ගණනක් ඉක්ම යද්දී එළියට එති.
සාධාරණ හේතුවක් මත ඝාතනයක් සිදුකළ පුද්ගලයා ඇප මත එළියට පැමිණියාට කාටවත් හානියක් කරන්නේ නැත. එහෙත්….. කල්ලි සාමාජිකයන් වෘත්තීය අපරාධ කාරයන් ඇප මත එළියට ආපසු පැමිණි දිනයේ සිට මාන බලන්නේ තමන්ට එරෙහි පුද්ගලයන් වලපල්ලට යැවීමටය.
මීට සති තුනකට පමණ ඉහත දී රාගම මඟුල්පොකුණ ප්‍රදේශයේදී රවීන්ද්‍ර මෙන්ඩිස් යන අයට වෙඩි තැබීම ද එලෙසය…. ඇප මත එළියට පැමිණ තම ඉලක්ක සපුරා ගැනීමට මාන බලමින් සිටි අයකුගේ ක්‍රියාවක් බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
“රංකැටියා” යනු රාගම, මහබාගේ ප්‍රදේශවල සිය බලය පතුරුවා ගැනීමට උත්සාහ කරන පුද්ගලයෙකි.
මීට වසර එකහමාරකට පමණ ඉහත දී මිනුවන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි රන් ආභරණ වෙළෙඳසලක් කොල්ලකන ‘රංකැටියා’ එහි හිමි කරු වෙඩි තබා මරා දමන්නේය.
මෙම අපරාධයට ‘රංකැටියා’ පොලිස් භාරයට ගත් අතර අනතුරුව වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ඇතුලු චෝදනා කිහිපයකට ඔහුට විරුද්ධව නඩු පැවැරිණි.
කලක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත එළියට පැමිණි මොහුගේ ඊළඟ ඉලක්කය වුයේ තමාට එරෙහි පුද්ගලයන් මරා දැමීමය.
රංකැටියා ගේ වෙඩි පහරට ලක් වූ රවීන්ද්‍ර මෙන්ඩිස් ව්‍යාපාරිකයෙකි. රාගම, මඟුල්පොකුණ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර රංකැටියා ද ඒ අවට පදිංචි කරුවෙකි. දෙදෙනා හිතවතුන්ය.
“මීට ටික කලකට කලින් දවසක් උදේ රංකැටියා යකඩ බාර් දෙකක් අරගෙන යනවා. මම ඇහුවා කොහෙද …ගෙනියන්නේ කියලා. බෝතල් කඩේකට දෙන්න ගෙනියනවා කියලා කිව්වා.”
“මමත් ජීම් යනවා. වේට් කරනවා. රංකැටියට රුපියල් දාහක් දීලා මම ඒ දෙක ඉල්ල ගත්තා. පස්සේ තමයි දැනගත්තේ ජීම් එක කඩලා ඒවා හොරකම් කරගෙන ඇවිත් කියලා.”
“ඒ බව දැනගත්තට පස්සේ මම රංකැටියාගෙන් ඇහුවා. ඒකට මිනිහා මාත් එක්ක බහින්බස් වුණා. මට වඩා ගොඩක් බාල කොල්ලෙක් ඒ වෙලාවේ මිනිහට ගැහුවා. ඒකට තමයි මිනිහා මාත් එක්ක වෛර බැඳගත්තේ.”
“ඊට පස්සේ මිනිහා කට්ටියක් එක්ක අපේ ගෙදරට ඇවිත් ගැහුවා. පස්සේ ගමේ කට්ටියක් එකතුවෙලා මිනිහගේ බඩවැල් එළියට එන්න කැපුවා. ඒකට මාවත් අත්අඩංගුවට ගත්තා. ඒත්…. මම ඒකටට සම්බන්ධ නැති බව ඔප්පු වුණා. උසාවියෙන් මාව නිදොස් කොට නිදහස් කළා.”
“කොහොමහරි අපි පස්සේ ආපහු හිතවත් වුණා. ඒත්…. කවුරුහරි මිනිහව උසිගන්නලා තිබුණා. මිනිහව මරන්න මම පිස්තෝලයක් තියාගෙන ඉන්නවා කියලා.”
“මිනිහා පැත්තෙම චන්ඩිපාට් දාගෙන ඉන්න හැදුවේ. කොල්ලකනවා, හොරකම් කරනවා. නයිට් කඩේකින් රෝස් කරපු කුකුලෙක් හොරකම් කරලා අහුවෙලා මාධ්‍ය වලත් ඒක ප්‍රචාරය වුණා.”
“ඔය සිද්ධිය වෙච්ච දවසේ මම මගේ ඉඩමට ගිහින් ඇවිත් ජීප් එක පාරේ නවත්වන්න හදද්දී බැට්රිය බැහැලා. ඒක නිසා මම ජීප් එක වත්තට දාන්න කලින් අමාරුවෙන් ස්ටාර්ට් කරගෙන බැට්රිය චාර්ජ් කරගන්න ටිකක් ඉස්සරහට ජීප් එක එලවාගෙන ගියා.”
“බැට්රිය චාර්ජ් වෙනකම් කිලෝමීටර් දෙක තුනක් උඩහට පහළට ගියා. ඒ අතරේ හරවාගෙන යද්දී රංකැටියා මඟ ඉන්නවා දැක්කා.
“නවත්තපු බයික් එකක දෙන්නෙක් හිටියා. රං කැටියා හිටියේ බයික් එක පිටිපස්සේ. මම ජීප් එක හරවාගෙන එද්දී රංකැටියා එක පාරටම මට වෙඩි තියන්න පටන් ගත්තා. ටී – 56 වෙපන් එකකින් මගේ දිහාට ෂොට් දහ තුනක් විතර තිව්වා.”
“වෙඩි තියද්දීම මම වාහනේ ඉස්සරහට එලවාගෙන ගියා. එයින් ෂොට් හතරක් මට වැදුණා.
“එක්ක නළලට වැදිලා ස්ලිප් වෙලා ගියා. තව එකක් හිස් මුදුණට වැදිලා ස්ලිප් වුණා. අනෙක් ෂොට්ස් දෙක වම් අතටයි දකුණු අතටයි වැදිලා ස්ලිප් වෙලා ගියා. මට වෙඩි තියලා දෙන්න බයික් එකෙන් පැනලා ගියා.”
“හොඳ වෙලාවට මට තියපු වෙඩි පාරවල් ස්ලිප් වෙලා ගියා. ඒත් වාහනේ වීදුරු කැඩිලා ඒ කටු වලට මම සැහෙන තුවාල වුණා.”
රංකැටියාගේ ප්‍රහාරයට ගොදුරුව ජීවිතය බේරාගත් රවීන්ද්‍ර මෙන්ඩිස් එලෙස තොරතුරු හෙළි කළේය.
මෙම වෙඩි තැබිමේ සිද්ධියෙන් බරපතල තුවාල ලැබු රවීන්ද්‍ර මෙන්ඩිස් මහබාගේ රෝහලට ඇතුලත් කළ අතර පසුව රාගම රෝහල වෙත මාරුකොට යවා තිබිණි. ඒ ….ඔහුට සිදු වු තුවාල බරපතල බැවිනි.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ බස්නාහිර උතුර (පැලියගොඩ) අපරාධ කොට්ඨාසයට පැවරී ඇත. එම ඒකකය කරගෙන යන පරීක්ෂණ වලදී හෙළි වූ තොරතුරු වලට අනුව රංකැටියා කුඩු ජාවාරමට සම්බන්ධ අයෙකි. රවීන්ද්‍ර මෙන්ඩිස් ද කුඩු ජාවාරමට සම්බන්ධ බව කියන අතර දෙදෙනා අතර ගැටුමට මුල් වී ඇත්තේ රංකැටියාගේ කුඩු ජාවාරම ගැන රවීන්ද්‍ර විසින් පොලිසියට තොරතුරු සැපසුවාය යන සැකයක් බව හෙළි වී ඇත.
එලෙසම “රංකැටියාගේ බඩවැල් එළියට එන ලෙස කපා දැම්මේ රවීන්ද්‍ර මෙන්ඩිස් බවත්, තුවාල සුව වීමෙන් අනතුරුව රංකැටියාගේ එකම ඉලක්කය වුයේ රවීන්ද්‍ර මෙන්ඩිස් ඝාතනය කිරිම බවත් පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත. පසුව රංකැටියා රවීන්ද්‍ර මෙන්ඩිස් සමඟ හිතවත් කමක් ඇතිකරගෙන තිබුණේ ඉලක්කය සපුරා ගැනීම සඳහා බවත් මොහු රවීන්ද්‍ර මෙන්ඩිස් ඝාතනය කිරීම සඳහා දින කිහිපයක් තිස්සේ උත්සාහ කර ඇති බවත් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
රංකැටියා සොයා මොහෙයුම් දියත් කළ පැලියගොඩ ඒකකයට තවමත් ඔහු සොයා ගැනීමට හැකි වී නැත. ඒ… ඔහු ප්‍රදේශය හැර පලාගොස් සිටින බැවිනි. මේ වන විට මොහුට පැවරී ඇති නඩු සියල්ලටම වරෙන්තු වී ඇත. මිනුවන්ගොඩ රන් ආභරණ වෙළෙඳසලේ හිමිකරු ඝාතනය ඇතුලු කොල්ලකෑම් කිහිපයකටම මොහුට විරුද්ධව නඩු පවතින අතර රවීන්ද්‍ර මෙන්ඩිස්ට වෙඩි තැබීමෙන් අනතුරුව මොහු මෙම නඩුවලට පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු වී ඇත.
පැලියගොඩ ඒකකයක මොහු සොයා මෙහෙයුම් දියත්කොට ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!