Gossip

“හැමදේම දරාගෙන ඔයා මාව ඔයාගෙ මනාළි කරගත්තා.ලස්සන පෝරුවක් උඩ..මං ඔයාව දාලා ගියානම් මං කොච්චර පව් කාරයෙක්ද කියලා හිතුනා”

හෙඳියකගේ හදින් ඔහුට ලියූ සංවේදී කතාවක්…

මුලින්ම කියන්නම්.. මහත්තයෝ ..ඔයත් හරියට බුද්ධ කාලීනව භාරතයේ හිටපු සමහර ස්වාමිපුරුෂන් වගේ..
තමන්ගෙ භාර්‍යාව මහණ දම් පුරන්නට අවසර පතද්දි අවසර දුන් ඒ උතුම් ස්වාමිපුරුෂන් වගේ..
මේකත් එක පාරමිතාවක්.. ඔව්.. රැයක් දවාලක් නැතුව ඔයා වෙනුවෙන්.. අපේ පවුල වෙනුවෙන්..දරුවන් වෙනුවෙන් අපේ අනාගතය වෙනුවෙන් යොදවන්න ඕනි කාලය… මගේ රැකියාව වෙනුවෙන් යොදවද්දි… ඒ හැම දේම දරා ගන්න හිත හයිය ගර ගත්ත ඔයා පුරන්නෙ පාරමිතාවක්..
” නර්ස් කෙනෙක් නම් මොකක්ද බන්.. ? උන්ට හම්බෙන සැලරි එකම මදෑ පරම්පරාවක් ගොඩ යන්න.. අනික.. ඕකා ඒකිව බඳින්නෙත් පඩියට..
ඒකිත් නිදි මරන්නෙ අපිට කරන්න නෙමෙයිනෙ.. මාසෙ අන්තිමට පඩි ගන්නකොට මොකෝ අපිට දෙනවා නෙමෙයිනෙ..ඔය මැරීගෙන වැඩ කරන්නෙ පඩියට..”
ගොඩක් දෙනා ඔයයි මායි ගැන ඔය වගේ කතා කෝටියක් කියාවි..
ඒත් මට මතකයි… මට නර්සින් යන්න ලියුම ආපු පළවෙනි දවස..
“සුදු නංගි.. ඔයාට යන්නම ඕනිද..?”
මං ගොළු උනා..
“මට යන්නම ඕනිද ? ? ”
මාත් හිතුවා.. උසස් පෙළට විද්‍යා විශය කලේ නර්සින් යන්න නම් නෙමෙයි .. ඩොක්ට කෙනෙක් වෙන්න..
ඒත් ඒකට පින තියෙන්නෙ දිස්ත්‍රික්කයේ පළවෙනි හැත්තැපහකට සීයකට විතරයි.. බී තුනයි.. බී දෙකයි සී එකයි.. සී තුනයි.. ඔය වගේ රිසල්ට් අරන් කැම්පස් එකේ එක එක කෝස් වලට සිලෙක්ට් වෙන්න මටත් පුලුවන් කම තිබුනා.. කැම්පස් එකෙන් මාව තෝරා ගත්ත ලියුම මේසෙ උඩ තියෙද්දි මගේ අත ගියෙ නර්සින් වලට ආපු ලියුමට..
සුදු පාට කැප් එකට , කළුපාට ඉන පටියට.. මං ආදරේ කලා.. මහා ගොඩක්..
“ඔයාට කැම්පස් යන්න පුළුවන්නෙ..සල්ලි ප්‍රශ්නයක් තියනවනම් මම උදව් කරන්නම්..”
ඔයා කියුවා..ඇත්තටම සල්ලිත් ප්‍රශ්නයක් තමයි..ඒත් මං කැම්පස් ගියොත් මගෙ අම්මා තාත්තා ඉඩම් ගෙවල් උකස් කරලා හරි මට උගන්නනවා.. ඒකයි ඇත්ත.. ඒත් මගෙ හිත නතර වෙන්නෙම මෙතනනම්..
“එහෙම දෙයක් නෙමෙයි.අයියෙ.. මං මේකට ආසයි..”
මං ගොත ගැහුවෙ ඔයාමට යන්න එපා කියන බයට..
“බලන්න.. අපෙ අම්මලත් කැමති නෑ..නර්ස් කෙනෙක් උනාම රෑකට ගෙදර නෑ.. ළමයි බලා ගන්නෙ පවුලෙ දේවල් බලා ගන්නෙ කවුද ? අම්මා කියන්නෙ ඒක මැණික.. තේරුම් ගන්න..”
ඔයාගෙ ඇස් හීනියට තෙත් වෙලා..මට ඇස් උස්සන්න බෑ.. මං ඇඩුවා..මහා ගොඩක්..ඇඩුවා..
මං තීරණයක් ගත්තා..
“සුදු අයියෙ.. රටේ ඉන්න හැම නැන්දම්මම හැම පිරිමියෙක්ම ඔහොම හිතුවොත්.. රටට ඒ තරම් සේවයක් කරන නර්ස් කෙනෙක් කෝ..
ඔයා ඔයාව අම්මව බලා ගන්න පුලුවන් හොඳ නෝනා කෙනෙක් හොයා ගන්න.. කවුරුහරි කෙනෙක් ඇති මේ ලෝකෙ..මේ දේවල් දරා ගන්න.. එහෙම කෙනෙක් දවසක මටත් ආදරේ කරාවි..”
මම යන්න කලින් දවසෙ ඔයාට මැසේජ් එකක් දැම්මා..සුදු සාරිය ඇඳලා කොණ්ඩෙ ගුලියක් ගහා ගත්තෙ හෙද විදුහලට යන්න..
පළවෙනි දවස..අම්මට තාත්තට අක්කට වැඳලා මං බලද්දි ඔයා මගෙ ගේ දොරකඩ..
“මට පුළුවන් නංගි.. මං දන්නවා…. ඔයා රට වෙනුවෙන් කැප වෙද්දි ඔයා කවදාවත් ඔයාගෙ යුතුකම් මගාරින්නෙ නෑ.. ඔයාට ඒ ශක්තිය තියනවා.. මට ඔයාව විස්වාසයි.. මං ඔයත් එක්ක ඉන්නවා.. හැමදාම..”
හැමෝම ඉස්සරහා මං ඔයාට වැන්දෙ හැමෝගෙම ඇස් වල කදුලු පිරෙද්දි.. ඔයා තමයි මගෙ ශක්තිය..
හෙද විදුහලේ අවුරුදු තුනක් කියන්නෙ ලේසි කාලයක් නෙමෙයි .. කවදාවත් වෙලාවට ඔයා කෑවද බිවුවද කියලා හොයන්න..
වෙන කෙල්ලනට වගේ පැය ගනන් එල්ලිලා මල් කඩන්න.. මුණ ගැහිලා දවසක් ඇවිදින්න යන්න.. කෝ අපිට වෙලාවක්..
“අනේ දවසම වෝඩ් අයියෙ.. කකුල් රිදෙනවා ඉන්න බෑ.. ඔළුවත් පැලෙන්න වගෙ. .. අම්මෝ අද තුවාලෙකට බෙහෙත් දැම්මා ..
තාම මට ඒ ගඳ පස්සෙන් එනවා වගේ..නෑවත් යන්නෙ නෑ..”
කෝල් එකක් ගත්තට් මං කියවන්නෙ ඕවා.. වෙලාවකට හිතෙනවා ඔයා මේ හැමදේම දරා ගත්තෙ කොහොමද කියලා.. ටිකක් වෙලා කතා කරනකොට මට නින්ද ගිහින්..
ඉදලා හිටලා බැරිම තැන පොඩ්ඩක් රණ්ඩු උනාට තරහා උනාට ඔයා කවදාවත් මගෙ ඉගනීමට බාධා කලේ නෑ..
මටත් වඩා උස පොත් එක්ක හැප්පෙද්දි. ..වාට්ටුවේ ලෙඩ්ඩු එක්ක කාලය ගෙවෙද්දි මට ඔයාව මගෑරුනා..
මහා ගොඩක්.. අනේ ඔයා අසනීපයි කියලා කියුවට පෙනඩෝල් දෙකක් මගෙ අතින් ඔයාට පොවා ගන්න බැරි මන් වාට්ටුවේ දහසකුත් එකක් රෝගීන්ට මගෙ අත් දෙකෙන් උපස්ථාන කළා.
ඔයාව මතක් නොවුනා නෙමෙයි.. ඒත් මොනවා කරන්නද..
හැම දේම දරාගෙන ඔයා මාව ඔයාගෙ මනාලි කර ගත්තා.. ලස්සන පෝරුවක් උඩ..
අපි එක වහලක් යටට උනාම මටත් ලෝභ හිතුනා.. අනේ ඔයාව දාලා රෑ කිඋයක් වාට්ටුවේ ඉන්නද..?
මම නයිට්_දවසට හවස මං උයලා එන කෑම ගෑස් එකේ රත් කරගෙන කාලා නිදා ගන්න ඔයාට උණු උණුවෙම උයලා කවන්න තිබ්බනම්..
අනේ කොච්චර දෙයක්ද ? මට අනන්තවත් හිතිලා ඇති.. හවසට වැඩ ඇරිලා ඇවිත් තනියම තේ හදාගෙන බොන්න.. මහා රෑට තනියම ටීවී බලන්න..
අනේ මහත්තයෝ .. මේ පපුව පිච්චෙන තරම ඔයා දන්නවනම්..
මහා රෑට හීතලට වහිද්දි ඔයා ගෙදර ඇඳේ තනියම කියලා මතක් වෙද්දි මගෙ ඇස් වලට කඳුලු ආවත් ඒවා රහසෙම පිහ දා ගත්තා.. ඔයාට තුරුල් වෙලා ඉන්න තිබ්බනම් කියලා හිතුන වාර අනන්තයි.. ඒත් මොනවා කරන්නද..? මං විතරක් නෙමෙයි..
ජීවිතේ ඉල්ලලා පණ අදින දහසකුත් එකක් රෝගීන් වෙනුවෙන් ඔයා කරන්නෙත් කැප කිරීමක්..පාරමිතාවක් මහත්තයෝ ..
මගේ අත් දෙකෙන් සුව වෙන දස දහස් ගණන් බිරින්දෑවරුන්ට ස්වාමිපුරුෂයන්ට එකිනෙකා අහිමි වෙන්නට නොදී ඔවුන්ගෙම ලෝකයක් හදලා දෙන පිනෙන් ලබන ආත්මෙවත් අපිට ලගම ඉන්න ලැබෙනවනම්.. මට එහෙමත් හිතුනා..
උදේට ඔයාගෙ නලල ඉඹලා නැගිට්ටවලා තේ එක ගෙනත් දෙන්න මාසෙටම දවස් කීයද පුළුවන්.. උදේට උයලා එන කෑම එක රස නැතත් ගෙදරින්ම කන ඔයා.. ගැන තව මන් මොනවා කියන්නද ?
ඔයාගෙ ඇඳුම් හෝදලා දෙන්න වෙන්නෙ දවස් කීයද මාසෙට.. මං හෝඳලා එන ඇඳුම් වේලලා නමලා අල්මාරියට දාන්න.. සමහර දවස් වලට මගෙ රෙදිත් ඔයා හෝදලා.. අනේ ඒ වෙලාවට ඔය පපුවෙ ඔළුව ගහගෙන අඩන්න හිතෙන වාර අනන්තයි ..
“සුදු නෝනා.. ඔයා දන්නවද දෙයක්..”
ඔයා දවසක් ඇහුවම මන් ඔයා දිහා බැලුවා.
“අර එහා ගමේ නිහාල්ගෙ බබා.. ලෙඩ උනාලු හොඳටම..ඔයාගෙ වාට්ටුවේලු හිටියේ.. ඔයාලගෙ කැපවීම නිසාම දරුවට පණ ආවලු.. හරියට පින් දුන්නා සුදු එයාලා.. අම්මා තාත්තට මට පවා පින් දුන්නා..මං ඔයාට දෙයක් කියන්නද ?”
“ම්ම් කියන්න..”..
“මට ඇඩුනා සුද්දි … එදා මං ඔයාව දාලා ගියානම් මං කොච්චර පව් කාරයෙක්ද කියලා හිතුනා..
නර්ස් කෙනෙක් කියන්නෙ වටින චරිතයක් සුද්දි.. හැම කෙල්ලෙක්ටම ඒ කැප කිරීම කරන්න බෑ.. අපෙ අම්මට වැරදුනේ එතන සුදූ..
අම්මලා කියුවෙ ඔයාට එයාලව බලා ගන්න වෙලාවක් නැති වෙයි කියලා..ඒත් එයාලට අමතක උනා කවදාවත් දැකපු අහපු නැති මිනිස්සුන්ට අම්මා තාත්තා කියලා කතා කරලා ඒ මිනිස්සු බලා ගන්න ඔයාට මගෙ අම්මා තාත්තා කොච්චර වටීද කියලා..
කවදාවත් දැකපු අහපු නැති මිනිස්සුන්ගෙ කැත කුණු අත ගාන ඔයා තමගෙම පවුල වෙනුවෙන් කොච්චර කැප වෙයිද කියලා..
ඒ තරම් හැම දේම දරාගන්න ඔයා පවුලෙ මොන ප්‍රශ්න ආවත් ඒ හැම දේම දරා ගෙන ලස්සනට ජීවත් වෙයි කියලා..
හැම වෙලේම ලේ දුක් අදෝනා මැද ජීවත් වෙන ඔයා මගෙ හැම ප්‍රශ්නෙකදිම මට ලොකු හයියක් වෙන පොළවෙ පය ගහපු කෙල්ලෙක් කියලා..”
ඔයාගෙ ඇස් වල කඳුලු..මන් නාඩා ඉන්නෙ කොහොමද..
“අනේ මහත්තයෝ ඇයි මේ..ඒ කියන්නෙ ඔයාට තරහක් නැද්ද්?? මං රෑට ගෙදර නැති එකට.. හැමදාම ඔයාට උයලා දෙන්න බැරි එකට..තව සමහර ගමන් බිමන් ඔයාට තනියම යන්න වෙන එකට…”
“තරහක් නෑ සුද්දි.. දුකයි.. බණ ගෙවල් වල වෙඩින් වලට මල ගෙවල් වල.. තනියම යන්නෙ ගොඩක් වෙලාවට.. ඔයා හිටියනම් කියලා හිතෙනවා.. ඒත්.. ඔයා කියන්නෙ මගෙ සම්පතක් විතරක් නෙමෙයි සුද්දි..මුළු රටක්ම බලන් ඉන්නවා ඔයාගෙ අත් දෙක උඩ සනීප වෙන්න..
ඉතින් මේ අත් දෙක මන් ලග විතරක් තියා ගත්තොත්..මට පව් පිරෙයි.. මේ අත් වලට ලොකු බලයක් තියනවා ජීවිතේ ඉල්ලන මිනිස්සුන්ට ජීවිතේ දෙන්න වගේම ජීවිතේ අතාරින අයට සුවදායි මරණයක් දෙන්න..”
ඔහු කියුවෙ මගෙ අත් දෙක සිඹින ගමන්..ඔයා කියුවම මට හිතුනෙ ඔයා දෙවියෙක් කියලා මගේ කැප කිරීමේ සම්පූර්ණ අයිතිය ඔයාගෙ කියලා..
දැන් ඔයා විතරක් නෙමෙයි.. මගෙ පැටියත් ඒ කැප කිරීම කරනවා. අනේ ඔයාට තරහත් ඇති… අපේ පැටියා අසනීපෙන් ඉද්දි මම වෙන ලෙඩ්ඩු බලා ගන්න වැඩට යනවා..
ඔයා පැටියව නිදි වරාගෙන බලාගනිද්දි මම වාට්ටුවේ දරුවන්ව රෑ නිදි වරාගෙන බලා ගන්නවා..
දැන් පැටියා එන්න එන්න ලොකු වෙද්දි මට වඩා එයාට ලග ඔයා.. ඔයා කවදාවත් එයාගෙ හිතේ මං ගැන තරහක් ඇති කරලා නෑ..දන්නවද දැන් එයත් කියනවා..
“අම්මි.. තාත්ති කියුවා අම්මි නර්ස් කෙනෙක් නිසා මගෙ යාළුවො ඔක්කොටම කියන්න පුළුවන්ලු.. මගෙ අම්මි තමයි ලෙඩ වෙච්ච අය සනීප කරන්න දෙවියො එවපු සුරංගනාවි කියලා..”
අනේ මහත්තයෝ ..ඔයා මගෙ පැටියටත් ඉගැන්නුවද ..?
අම්මා කරන්නෙ මොනාද කියලා..
“ඉතින් පුතුට දුක නැද්ද අම්මි ගෙදර නැති දවසට.. ”
“නෑ එදාට තාත්ති මායි අම්මිගෙ ෆොටෝ එකට උම්මා දීලා අම්මිගෙ කොට්ටෙ තුරුල් කරන් දොයියනවනෙ.. අම්මි ගියෙ නැත්නම් කවුද අසනීප වෙච්ච මං වගේ බලාලව බලා ගන්නෙ..”
අනේ මහත්තයෝ .. ඔයා ඒ කැප කිරීම මගෙ පුතුටත් කියා දීලා..ආදරෙයි රත්තරන් ..
ගොඩක් දෙනෙක් දකින්නෙ අපේ වැටුප විතරයි..ජොබ් එකක්නම් වැටුපක් ගෙවනවා..ඒත් ඒ වෙනුවෙන් එකිනෙකා කරන කැපකිරීමයි වෙනස් වෙන්නෙ..
ඒක දන්නෙ නර්ස් කෙනෙක්ගෙ අම්මා තාත්තා පවුලෙ අය වගේම පෙම්වතෙක් සැමියෙක් දරුවෙක්ම විතරයි..

අහින්සා පැහැසරණි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!