Gossip

සිය පුතු දකින්නට දිවි පරදුවට තබන, ආදරයේ උල්පත වුණු අම්මා

ඇතැම් විට දරුවන්ට එය ගානක් නොවුවත් මවුවරුන්ට සිය දරුවන් වෙනුවෙන් ඉපදෙන ස්නේහය කොතෙක්දැයි කියා නිම කළ නොහැකිය. මුලතිව් සෙල්වපුරම් ගම්මානයෙන් ඇසෙන මේ කතාවද දරුවන් වෙනුවෙන් උපන් මවු සෙනෙහස උතුරා යන කතාවකි.
මුලතිව් සෙල්වපුරම් ගම්මානය අවට ජීවත් වන පිරිස මේ දිනවල මේ මවගේ දරු සෙනෙහස ගැන බොහෝ දේ කතා කරති. විටෙක මේ වියපත් මවට බැණ වදිති.
මේ වසරේ පෙබරවාරී මාසයේදී අසූහත් වෙනි වියට පා තැබූ මුලතිව් සෙල්වපුරම් ගම්මානයේ සුන්දරපිල්ලේ සත්කුණාදේවී අම්මා පුතකුගේ හා දියණියකගේ මවකි.
වයෝවෘද්ධ සතුකුණදේවී මාතාව යුද්ධ කිරීමට නොගියත් යුද්ධයේදී පුපුරා ගිය කාලතුවක්කු උණ්ඩයක් ඇගේ උකුල් ඇටය හරහා ගමන් කිරීම නිසා ඇය දැන් ඉන්නේ ඔත්පලවය. යම් තැනකට යෑමට අවශ්‍ය නම් ඇය කාගේ හෝ උදව් උපකාරය ලබා ගත යුතුය. එදා පිපිරී ගිය කාලතුවක්කු උණඩයේ අධික ශබ්දයට ඇගේ කන්බෙරය පිපිරී ගොස්ය. ඒ නිසා කන් නෑසේ. නමුත් ඇය ඉතා ධෛර්යවත්ව ජීවිතයට මුහුණ දෙන්නීය.
මීට වසර දහතුනකට පෙර සත්කුණාදේවීගේ ස්වාමි පුරුෂයා මියගියේය. පසුව ඇස් දෙක මෙන් රැක බලාගත් දරුවන් දෙදෙනාගෙන් දියණිය මේ වන විට උපාධිධාරී ගුරුවරියකි. පාසල් සමයේදී යුද්ධයට මුහුණ දීමට සිදු වීම නිසා ඉන්දියාවට පලා ගොස් ආපසු මුලතිව් සෙල්වපුරම් ගම්මානයට පැමිණි සත්කුණදේවීගේ පුතා දැන් සිල්ලර වෙළෙද සලක් පවත්වාගෙන යන්නේය.
මුලතිව් සෙල්වපුරම් ගම්මානයේ මේ මවට අක්කර තුන්කාලක ඉඩමක් ඇත. ඇයත් ඇයගේ ස්වාමිපුරුෂයාත් එක්ව ඉදි කරන ලද නිවස යුද්ධයෙන් කැබලි බවට පත් වී ඇත. රජයේ ස්ථිර නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ කාමර තුනක නව නිවසක් ඒ ඉඩමේ ඉදි වන විට ඒ නිවස තමන්ට ලබා දෙන මෙන් සත්කුණදේවීගේ එකම පුතා ඇගෙන් ඉල්ලා සිටියේය.
”මගෙ පුතේ නංගිත් කසාද බැන්දෙ නෑනේ. උපාධියක් තිබ්බට රස්සාවක් තිබ්බට විවාහයක් නැතිව ගෑනියෙකුට ජීවත් වෙන්න බෑ. ඒත් උඹට එහෙම නෑනේ මගෙ පුතේ. උඹට ගෑනියක් ඉන්නවා. ළමයි දෙන්නෙක් ඉන්නවා. කඩයක් තියනවා. ගෙදරකුත් තියනවා. ළමයි දෙන්නටයි ගෑනිටයි උඹටයි ඒ ඔක්කොම ඇතිනේ. ඒක හන්දා මේ ගෙදර නංගි ඔහේ ඉදපුදෙන්. උඹත් අවිත් පුළුවන් වේලාවට නංගි ගැන බලපන්” ඇය කීවාය.
”හොඳයි අම්මා. ඒ ගෑනිමයි කිව්වේ අම්මා මේ ගෙදර හොඳට හදලා තියන හන්දා අම්මගෙන් අහන්න කියලා. නංගි විතරයි නේ ඉන්නේ අපිට. එයාවත් බලාගෙන මේ ගෙදර ඉන්න පුළුවන්නේ. මම කියන්නම්කෝ අම්මා මෙහෙම කිව්වා කියාලා. මම යන්නම් අම්මා” කියා ගෙන එදා සත්කුණදේවීගේ පුතා යන්නට ගියේය. පුතා නිවසින් යාමත් සමඟම සත්කුණදේවී බොහෝ දේ කල්පනා කළාය.
”ඕකට ඇවිත් මේ ගෙදර මේ යක්ෂ කෙල්ලත් එක්ක ඉන්න ලැබෙන්නේ නෑ. නිකන් තියන ඇයි හොඳයියත් නැති වෙලා සහෝදරකමත් නැති වෙන්න තැනක් තමයි. කොල්ලා ඔහේ ඉන්න තැන හිටපුදෙන්. මේකි ඔහේ මෙතැන හිටපුදෙන්”
මව එක එක දේ හිතමින් කල්පනා කරන විට දියණිය මහා සැරෙන් මවට කතා කළාය.
”අම්මා…මොනාද අයියා ඇවිත් අම්මත් එක්ක අද ගොඩාක් කතා කළේ… එයා මොනාද කියන්නේ…”
දියණිය විමසූ නිසාම මව තම පුතා කී සෑම දෙයක්ම දියණියට කීවාය.
ගෝනුස්සකු මෙන් කිපුණු ඇය “ අද එයා ආවේ ඕකටද,?..ෂුවර් එකටම මේ ගෙදර ඕනේ වෙලා තියෙන්නේ එයාට නෙමෙයි අර සක්කරවට්ටමට තමයි.
දෙනවා මම මේ ගෙදර බලාගෙන ඉන්නකෝ. මේක හරි වැඩක් නේ. මට ඇයි නිදහසේ ඉන්න දෙන්නේ නැත්තේ, අම්මටත් ඕනේනම් පුතා ළඟටම යන්න… මෙහෙ ඔව්වා බැහැ.” දියණිය කියාගෙන කියාගෙන ගියාය.
දින කීපයකට පසුව එක් සවස් වරුවක සත්කුණදේවිගේ පුතා මුළු පවුල සමඟම නිවසට ගොඩ වූවාය. ඒ කෝවිලට ගොස් ආපසු එන අතරතුරදීය.
”අම්මා කියාගෙන නිවසට ගොඩ වුණු සැණින්ම කෝවිලේ කපුවාට වඩා හයියෙන් බෙරිහන් දෙන්නට වුණේ දියණියයි.
අයියටත් අයියාගේ හාමිනේටත් දෙහි කපමින් බැණ වැදුණේ නිවස ඉල්ලීම නිසාය. එක දිගටම පැයකට වඩා උපාධිධාරී ගුරුවරිය සිය අයියාට ලුණු ඇඹුල් ඇති භාෂාවෙන් බැණ වැදීම නිසා ඔවුහු යන්නට ගියහ .
සත්කුණදේවීගේ පුතා තමන්ව බැලීමට නොපැමිණීම ඇයට දරා ගත නොහැකිය.
ඇයට ඔහු සිටින නිවසට යෑමට තරම් හැකියාවක් නැත්තේ ඇවිදීමට නොහැකි නිසාය. දුව උපාධිධාරී ගුරුවරියක වුවත් ඇයට කී සෑම වාරයකදීම ඇය ඉතා සැරෙන් කියා සිටියේ
”නෑ… නෑ,… එහෙ යන ඕනේ නෑ කවුරුවත්… අපිට නෙමෙයි ඒ ගෑනියි මිනිහයි ආදරේ මේ ගෙදරටයි… අම්මට ඕනෙමනම් යන්න. හැබැයි ආය මෙහෙ එන්න බෑ… එහෙම ඉන්න..”
තමන්ගේ දුව වුණත් ඇගේ කල්කිරියාව දන්නා දුබල මාතාව අසරණ වනවා හැරෙන්නට වෙනත් කළ හැකි දෙයක් නොමැති විය.
දියණිය පාසල් ගිය එක දිනයක ඇය ඉතා අමාරුවෙන් ගේට්ටුව ළඟට රූටාගෙන ගියාය.
පාරේ යන එන හැම අයෙකුටම හැකි පුළුවන් තරම් හයියෙන් කෑ ගැසුවත් සත්කුණදේවිගේ වචන මුවින් පිටතට ගමන් නොකළේ ඇයගේ මහලු වියේ තරම නිසාය. අවසානයේදී ඇය ගේට්ටුවේ පොල්ලක් කකුලෙන් සෙලවූවාය. වැඩේ සාර්ථක විණි.
යාන්තමට ශබ්දය ඇසුණු අයෙක් පැමිණ මේ මව සමඟ කතා කළේය. වගතුග විමසන විට මව කියා සිටියේ තමන්ගේ පුතාට තමන්ව බලන්නට නිවසට එන ලෙස පණිවුඩයක් කියන ලෙසය. අමුත්තා මවත් පුතාත් දෙදෙනාම ඉතා හොඳින් දන්නා නිසා ඔහු ඒ පණිවුඩය කීමේ වගකීම බාර ගත්තේය.
දහවතාවකට වඩා පුතාට පණිවුඩය කියන්නම් යන වචන පෙළ මහ හයියෙන් කී අමුත්තා යන්නට ගියේය.
කාලය කෙමෙන් කෙමෙන් ඉගිළී ගියත් සත්කුණදේවීගේ පුතා නිවස අසලටවත් පැමිණියේ නැත. ඔහුගෙන් පණිවුඩයක්ද නොමැත. දියණිය පාසල් ගිය පසුව ඇය ඉතා අමාරුවෙන් මිදුලට රූටා පැමිණ දෑසේම කදුළු පුරවාගෙන බලා සිටින්නේ තම පුතාගේ සෙවණැල්ලක් හෝ දකින නියාවෙනි.
දින ගණන් සති ගණනින් ඇය මේ ක්‍රියාව කළත් ඇගේ පුතාව ඇගේ දෑසට දකින්නට නොලැබිණි.
අවසානයේදී සත්කුණදේවී තීරණයක් ගත්තාය. පුළුවන් තරම් වෙර දරා රූටමින් පුතා සොයාගෙන ඔහුගේ නිවසට යන්නට ගියාය.
ඇයට ඉතාම සතුටුය. නිවස පසුකොට මද දුරක් ඇයට යෑමට හැකි විණි. අද නම් කොහොම හරි පුතාව දැක ගන්නට ලැබේවි යනුවෙන් සිතට වීරිය ගෙන මහමඟ රූටා ගියත් ඇගේ දෑස් නිලංකාර වී ගියේ ඇයවත් නොදැනුවත්වය.
පාරක් අද්දර සිහිසුන්ව සිටි මහලු කාන්තාව දුටු ගැමියෝ වහාම ඇයව රෝහල කරා රැගෙන ගියහ. ඒ අතරතුර පිරිසක් ඇගේ දියණිය උගන්වන පාසලට ගොස් ඇගේ මවට සිදුව ඇති විපත්තිය සැලකොට සිටියහ.
කතාව ඇසූ සැණින් දියණිය ගුරුවරයකු සමග යතුරු පැදියකින් රෝහල කරා පැමිණියාය. ඇය එන විට මවට පියවි සිහිය ලැබී තිබිණි. වාට්ටුවේ වෛද්‍යවරයා පැවසුවේ.
”අම්මා දුර්වලයි. කලන්තේ වගේ හැදිලා. ටිකක් හොඳට අම්මව බලා ගන්න. දැන් වයසයිනේ” යනුවෙනි.
මවගේ පුතාටද පණිවුඩකරුවෝ මව රෝහල්ගත කළ කතාව කියා තිබුණත් පුතාගේ බිරිඳ පවසා තිබුණේ ඇයව බැලීමට ගියහොත් තමන් ගෙදරින් යන බවය.
”එයාලට අපි නෙමෙයි ලොකු ගෙදරයි. ඒකත් කොහෙද එයාල හදාගත්ත නම්. ආණ්ඩුවෙන් ගෙදරක් ලැබුණම ඔය තරමට සහෝදරකම් නැත්නම් තමුසෙ එහෙම යනවා නෙමෙයි. ගියා කියලා ආරංචි වුණොත් මම මේ ගෙදරින් යනවා.”
මව රෝහලෙන් එදාම නිවසට පැමිණියාය. තමන්ගේ පුතා තමන්ව බැලීමට රෝහලට නොපැමිණියත් මේ මව දැන් සිය දියණිය පාසලට ගිය වහාම රූටාගෙන පාරදිගේ ගමන් කරන්නේ පුතා බැලීමට ඔහුගේ නිවසට යෑමටය.
පාරේ යන එන අය දුටුවහොත් මේ මවව උස්සාගෙන නිවසට පැමිණ ඇගේ ඇඳේ ඇයව තබා යන්නේය. පැය බාගයක විනාඩි හතළිස් පහක වැනි කාලයක් කිසිවකු සත්කුණදේවී මවව නොදැක්කහොත් ඇය සිහිසුන්ව පාරේ වැටෙන්නීය. එවිට ඇය නවතින්නේ රෝහලෙන්ය.
මේ දිනවල චක්‍රයක් ආකාරයට මෙය සිදුවන්නේ තමාගේ පුතාට මේ මව දක්වන ආදරය නිසාමය.සෙල්වපුරම් ගම්මානයේ වැසියන්ට සතියකට දවසක් දෙකක් මේ මවගේ දාරක ප්‍රේමය වෙනුවෙන් මහන්සි වීමට සිදුව තිබේ. රෝහලට යෑමට ද සිදු වේ. ලෝකය දකින්නේ සිය පුතු දකින්නට ඒ මව සිය දිවි පරදුවට තබා ඇති අයුරුය.

උපුටා ගැනීම – රැස පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!