Gossip

සරොම්, චීත්ත අන්දලා නැති සංස්‌කෘතියක්‌ මවාපාන්න පිරිසක්‌ උත්සාහ කරනවා – සහන් රන්වලගේ ඉවසීමේ සීමාව පනී

සහන් රන්වල කියන්නේ අපේ රටේ සිංහල සංස්කෘතියට වගේම රංගන ක්ෂේත්‍රයටත් මහඟු සේවයක් කළ කෙනෙක්.
මොහු සමඟ කළ සුහද පිළිසදරක් සතිඅන්ත පුවත්පතක මේ විදිහට සටහන් වෙලා තිබුණා.

සිංහල අවුරුදු හින්දා ගොඩක්‌ කාර්යබහුලයි වගේ ?
ඔව්. පසුගිය දවස්‌වල ලොකූ වැඩක්‌ කළා. මගේ තාත්තගේ කාලේ ඉඳන්ම හිටපු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් එකතු කරගෙන ගම අවුලඤ්ඤං ප්‍රසංගය පැවැත්වුණා.
ඒ 999 වැනි සංදර්ශනය. ඒක තමයි ලොකූ වැඩක්‌ විදියට කළේ. ඊට අමතරව අවුරුදු ගීතයක්‌ රූගත කළා “එරමුදු මල කෝ කෝ” කියලා. ඒ වගේම රටපුරා අවුරුදු වැඩකටයුතුවලටත් සහභාගි වෙනවා. සෑම මසකම අවසාන සෙනසුරාදා නිදහස්‌ චතුරශ්‍රයේ නොමිලේ පැවැත්වෙන “ගයමු” ප්‍රසංගයත් මේ මාසේ අවසාන සෙනසුරාදා ඒ විදියටම පැවැත්වෙනවා. සීෂෙල්ස්‌ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වෙන්නත් තියනවා. ඒව තමයි දැනට තියන විශේෂ වැඩ.

අලුත් ගීතය කවුද පද රචනා කළේ, ගායනය සහ සංගීතවත් කළේ ?
ඒක දිලුම් විරංජ තමයි සංගීතවත් කළේ. රචනා කළේ නුවන් කුමාර කටුගම්පල. ගීත රූප රචනාව කළේ තිමිල අනුෂිත වීරහන්දි. ප්‍රදීපා ධර්මදාස මහත්මියත්, ජනනාත් වරකාගොඩ මහතාත්, මමත්, රන්වල බළකායත් තමයි ගායනා කළේ. ඒක මේ දවස්‌වල රූපවාහිනී නාලිකාවල විකාශනය වෙනවා.

සහන් රන්වල සිංහල අවුරුදු කාලෙට විතරක්‌ මාධ්‍ය ඉදිරියට එන්න හේතුව?
මම කතා කරන්නේ සිංහලකම ගැන සහ දේශීයත්වයේ වටිනාකම ගැන. මාධ්‍යයට දේශීයත්වය දැනෙන කාලේ තමයි අලුත් අවුරුදු කාලේ.
එහෙම නිසා වෙන්න ඕනෑ ඒ කාලෙට විතරක්‌ සහන් රන්වල මතක්‌ වෙන්නේ. අපි දිගටම හැම කාලේදීම කතාකරන්නේ දේශීයත්වය ගැන. නැතුව කාලෙකදී වීදේශීයත්වය ගැන කතාකරලා කාලෙකදී දේශීයත්වය ගැන කතාකරන පිරිසක්‌ නෙවෙයි.
නමුත් මාධ්‍ය එහෙම නෑනේ. පෝය දවසට පන්සල මතක්‌ වෙනවා වගේ මාධ්‍යයට දේශීයත්වය ඕන කාලෙට විතරක්‌ අපිව මතක්‌ වෙනවා.

sahanනූතනයේ වැඩිපුර කතාබහට ලක්‌වෙන සංහිඳියාව කියන දේ මේ අලුත් අවුරුදු සංස්‌කෘතිකාංග තුළින් ඇතිකරන්න බැරිද?
මෙහෙමයි. සංහිඳියාව කියන දේ මුලින්ම අපි ඇතිකරන්න පටන් ගන්න ඕනේ තමන් තුළ. ඉන් පසුව තමන්ගෙ ගේ ඇතුළෙන්. තමන්ගෙ අම්මාට, තාත්තට, නෝනට, දරුවන්ට සලකන්නෙ නැති කෙනෙක්‌ගෙන් සංහිඳියාවක්‌ බලාපොරොත්තු වෙන්න බෑ. අවාසනාවකට සංහිඳියාව ගැන කතා කරන මිනිස්‌සු තුළ මේ කියන සංහිඳියාව තියනවද කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ. මොකද එයාල වැඩකරන විදිය දැක්‌කම ඕනෑ කෙනෙක්‌ට ඒක පේනවා. අපේ පැරණි දේ තුළ ඒ සංහිඳියාව හොඳටම තියෙනවා. ලෝකෙ මොඩර්න් වුණා කියල වෙන වෙන නම් වලින් නැවත ගේන්නේ අපි අතහැරගත් අපේ ඒ පැරණි සංකල්පම තමයි.

තවත් කෙටි කාලෙකින් මේ සංස්‌කෘතිකාංග නැතිවෙලා යයිද ?
ඇත්තටම සමහර මාධ්‍යය මගින් පෙන්වන දේවලුත් එක්‌ක බලනකොට සමහරවිට එහෙම උත්සාහයනුත් තියෙනව කියල අපිට හිතෙනවා.
මේ සංස්‌කෘතිකාංග ගැන දන්න, හැමදාටම ඒ ගැන කතාකරන අතළොස්‌සක්‌ වෙනුවට අද මේ කිසිම දෙයක්‌ දන්නෙ නැති අය හරහා වැරදි සංස්‌කෘතිකාංග සමාජගත වන බවකුත් විටෙකදී අපි දකිනවා. සරං චීත්ත අන්දල, නැති සංස්‌කෘතියක්‌ මවාපාලා වාණිජ අරමුණු ඉටුකරගන්නත් පිරිසක්‌ උත්සාහ කරනවා. කොහොම වුණත් අපේ දේශීයත්වය, සංස්‌කෘතිකාංග එහෙම නැතිකරන්න පුළුවන් දේවල් නෙවෙයි. කොහොම වුණත් මේ දේවල් වෙනස්‌වෙමින් අලුත්වෙමින් යනවා. ඒක තමයි ලෝක ස්‌වභාවය.

ඒ වෙනස්‌ වීම තුළ ඔබ හිතන විදියට අඩංගු විය යුත්තේ මොනවද?
වෙනස්‌වන ලෝකෙ ඇතුළත ලෝකෙ හැම ජාතියක්‌ම, හැම රටක්‌ම උත්සාහ කරන්නෙ තමන්ගේ අනන්‍යතාවත් එක්‌ක යාවත්කාලීන වෙන්න.
ඉතිං අපිට ඒක තමයි කරගන්න බැරිවෙලා තියෙන්නේ. අපි හිතාගෙන ඉන්නෙ නූතනත්වයට එළැඹෙනවා කියල හිතාගෙන ඉන්නේ බටහිරකරණය වෙනවා කියන එක. නමුත් නූතනත්වය කියන්නේ බටහිරකරණය වෙනවා කියන එක නෙවෙයි.
හරි නූතනත්වය කියන්නෙ අපිට අනන්‍ය වූ දේවල් වලින් ස්‌වාධීනව අලුත් දෙයක්‌ කරන එක. නමුත් අවාසනාවකට අධිපතියාගේ යටත් විජිතකරණය තුළ වූ දේම අද නූතනත්වය කියල වැළඳගෙන තියනවා. නමුත් වෙන්නට ඕන තමන්ට අනන්‍ය වූ සංස්‌කෘතිය යාවත්කාලීන කර ගැනීමයි. ඒක සිදුවිය යුතු දෙයක්‌. මේ අපි කරමින් ඉන්නෙ ඒක.

අනාගත පරම්පරාවට මෙකී දේශීය සංස්‌කෘතිකාංග දායාද කරන්නට කළ යුතු දේවල්?
අපි ඉස්‌සෙල්ලම එකඟතාවකට එන්න ඕන අපිට ඒව ඕනද නැද්ද කියලා. අපි දන්නෙ නෑ අපිට ඒව ඕනයි කියලා. ඒක දැනෙන්නනම් අපි ලංකාවෙන් එළියට යන්න ඕනෑ. ලංකාවේ මේ දූපතටම වෙලා ඉන්න පිරිස හිතනවා ලෝකෙ ඔක්‌කොම වෙනස්‌වෙලා කියලා.
ඒ දූපත නෙවෙයි ලෝකෙ කියල කියන්නේ. ලෝකෙ එක්‌ එක්‌ රටට එක්‌ එක්‌ අනන්‍යතා තියෙනවා. ලෝකෙ හැම රටක්‌ම ඒ අයගේ අනන්‍යතාවත් එක්‌ක ඉදිරියට ගිහිල්ල තියනවා.
ඒ නිසා අපි සම්මුතියකට එන්න ඕනේ අපේ අනන්‍යතාව කියන්නේ මොකද්ද කියන එක ගැන. ඒ දේ ජාත්‍යන්තරයට ගෙනියන්න. ලෝකෙ ගැන මීට වඩා පුළුල්ව හිතුවොත් අපේ රටේ අනන්‍යතාව ගැන මිනිස්‌සු මීටත් වඩා හිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top