Gossip

සමහර අයගේ ක‍්‍රියාකලාප දැක්කාම මට නම් හිතෙන්නේ එයාලා කලාව තෝරාගෙන තියෙන්නේ දේශපාලනය කරන්නද කියලයි – ගිහාන් ප‍්‍රනාන්දු

ප‍්‍රසිඩන් සුපර් ස්ටාර් චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයකට දායකව සිටින ප‍්‍රවීන රංග ශිල්පී ගිහාන් ප‍්‍රනාන්දු සතිඅන්ත පුවත් පතකට මේ විදියට අදහස් දක්වලා තිබුණා.

ගිහාන් මුලින්ම කිව්වොත් මේ දිනවල ඔබගේ වැඩකටයුතු මොනවද කියලා?
තිලිණ බොරලැස්සගේ නෝ පාකින් ටෙලිමාලාවේ රංගනයට දායක වී සිටිනවා. ඊට අමතරව බල්ලොත් එක්ක බෑ 2 සමග රටපුරා යනවා. ඊටත් අමතරව චරිතේ හොරු අරං සහ 361 වේදිකා නාට්‍ය එක්ක රංගනයට එක් වී සිටිනවා.

ප‍්‍රසිඩන්ට් සුපර් ස්ටාර් ඔබ රඟපාන චරිතේ ගැන කතා කරමුද?
උදයකාන්ත අයියා මට මේ චරිතය බාර කළාම ප‍්‍රධාන චරිතයක් නිසා මම ඔහු එක්ක ඒ ගැන පූර්ව කතාබහක් කරලා ඒ චරිතය ගැන දැන ගත්තා. එය චිත‍්‍රපට රංගනයේදී මට ලැබුණු ලොකු අවස්ථාවක්. ලංකාවේ රියැලටි කලාව කියන්නේ වෙනම දෙයක්. මේ චිත‍්‍රපටයේ මම රඟපාන්නේ රියැලටි නිවේදකයකු ලෙසයි. උදය අයියා කිසිම විටෙක මෙරට රියැලිටි කලාව හාස්‍යයට ලක් කරලා හෝ විවේචනය කරලා නැහැ. සමස්ත චිත‍්‍රපටයම ගත්තාම ඔහුගේ අනෙකුත් චිත‍්‍රපට වලට හාත්පසින් වෙනස් චිත‍්‍රපටයක්. මම විශ්වාස කරන විදියට ලංකාවේ කලා ක්ෂේත‍්‍රයේ සිටින බොහෝ දෙනා දේශපාලනය කරනවා.සමහර අයගේ ක‍්‍රියාකලාප දැක්කාම මට නම් හිතෙන්නේ එයාලා කලාව තෝරාගෙන තියෙන්නේ දේශපාලනය කරන්නද කියලයි. ඉස්සර බොහෝ දෙනා කලාව තෝරා ගත්තේ අරමුණක් ඇතිවයි. ඒත් දැන් බලපුවාම අද බොහෝ දෙනාගේ යටි අරමුණ දේශපාලනයට ඒමද කියන වගයි පෙනෙන්නේ. උදය අයියා ලංකාව දිහා බලන විදිය සහ ලංකාවේ රියැලිටි ෂෝ දිහා බලන විදියට වඩා ලංකාවේ දේශාපලනය ගැන දකින විදිය ගැන කියැවෙන ප‍්‍රකාශයක්. ලංකාවේ දේශපාලනයේදී මිනිස්සු කොච්චර අසරණ තත්ත්වයට පත්වෙනවද කියන තත්ත්වය පැහැදිලි වෙනවා. ලංකාවේ ඉහළ තලයේ දේශපාලනයේ වෙන සිදුවීම් බොහෝමයි. ඒවා මෙහි පෙළගස්වා තියෙන අයුරු හරි අපූරුයි. එයා මෙය සිනමාරූපීව සකස් කරගනෙ ලංකාවේ දේශපාලනය පිළිබඳව ඉදිරිපත් කරනවා. හතරට පහට පළලා කුඩු කරලා ගත්ත තේමාවක් කියලයි මට හිතෙන්නේ.

සැබෑ ජීවිතයේදී ඔබ රූපවාහිනි නිවේදකයකු ලෙසත් කටයුතු කරනවා. මෙහි කරන චරිතය ඔබට දැනුණේ කොහොමද?
හරි උපක‍්‍රමශීලීව සමහර දේ ගැන තමන්ගේ මතය ගෙනඒමටත් උත්සාහ ගත්ත නිවේදකයෙක්. රටේ ජනාධිපති වෙන්න තරඟ කරන අයගේ සමහර පොරොන්දු අදහස් ගැන තමන් හිතන දේ එළියට ගන්න හදන නිවේදකයෙක්. ප‍්‍රසිඩන්ට් සුපර් ස්ටාර් චරිත හසුරුවද්දී ඔබ අත්විඳි දේ මොනවද? මෙහි රූගත කිරීම් කරද්දි බොහෝ විට දර්ශන තලයේදී නිතරම වගේ හමුවුණේ ශ‍්‍රියන්ත අයියා, මහේන්ද්‍ර, මම සහ ඉසුරු ලොකු හෙට්ටිආරච්චිවයි.

ශ‍්‍රියන්ත අයියා කියන්නේ අපට කලින් පරම්පරාවේ දැවැන්තයෙක්. ඒත් ශ‍්‍රියන්ත මහේන්ද්‍ර ප‍්‍රවීන යුගලය එක්ක අපි දුරස්ථ වුණේ නැහැ. ඔවුන් අපිව දුරස්ථ කළේ නැහැ. මෙහි බොහොමයක් රූගත කිරීම් සිදුකළේ සරසවි චිත‍්‍රාගාරයේදියි. එහිදී අපි හතර දෙනා නිතර හමුවුණාම ආ ගිය කතා මෙනෙහි කරමින් ගත කළේ සොඳුරු විදියටයි.

බොහොම විනෝදයෙන් ගත කළ අවස්ථාවක්. ශ‍්‍රියන්ත එක්ක මීට පෙර වූ මතකයන් ගැන කිව්වොත්?
ශ‍්‍රියන්ත අයියා, ජැක්සන් අයියා මම ගත්තොත් අපි ඔක්කොම එක ගමේ අය. රාගම. පොඩි කාලයේ ඉඳලාම මම එයාව දැක්කේ දැවැන්තයකු ලෙසයි. ඒක හරි අපූරු අවස්ථාවක්. හරිම සුන්දර කලාකරුවෙක්. රූගත කිරීම් අවස්ථාවේ විවේකයක් ලැබුණාම අපි අද සෙට් වෙමුද කියලා සන්නිවේදනය කර ගන්නේ එයාටම ආවේනික වූ ආමන්ත‍්‍රණයකින්. ඊනෝ…. ඊනෝ…. කියමින් ඔන්න ඉතින් ෂූටිං ඉවර වූ පසු අපි ඒ විදියට තමයි සෙට් වුණේ. ශ‍්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා ඇතුළු වැඩිම ප‍්‍රවීන නළු නිළි පිරිසක් රංගනයෙන් දායකවූ චිත‍්‍රපටයක්. මීට පෙර මේ වගේ ප‍්‍රවීන පිරිසක් දායකවූ චිත‍්‍රපටයක් මම දැකලා නැහැ. දෙබසකට හෝ පුංචිම රූප රාමු කොටසකට පවා මෙහි දායකව සිටින්නේ ප‍්‍රවීන පිරිසක්. ඒක මම හිතන්නේ එක අතකට රෙකෝඞ් එකක්. මේ නිසාම මෙය පේ‍්‍රක්ෂකයින්ට වැඩි ආකර්ෂණයක් ගෙන දෙන චිත‍්‍රපටයක් ලෙසයි මා දකින්නේ. මේ චිත‍්‍රපයටය ෂූටිං කරන කාලයේදී අපට නිතර එකට හමු නොවන ප‍්‍රවීණයින් පවා හමු වුණා. ඒකත් හරි අපූරු අවස්ථාවක්. මේ චිත‍්‍රපටය නරඹන පේ‍්‍රක්ෂකයින්ට මම කියන්නේ ඡුන්දයට කළින් ප‍්‍රසිඩන්ට් සුපර් ස්ටාර් නරඹන්න කියලයි. ඡන්දෙට පසුවත් නරඹන්න.

ඔබගේ සැබෑ ජීවිතයේ අද දවසේ වැඩ හැඩතල මොන වගේද?
මේ කාලයේ තමයි මගේ ජීවිතයේ සතුටින්ම ගෙවන කාලය. මම කොහොමටවත් අසන්තෝෂයෙන් ජීවත් වුණේ නැහැ. හැමදාම වෘත්තිය ජීවිතය ගත කළේ හරිම සතුටින්. පසුගිය කාලයේදී චිත‍්‍රපට පහකට විතර දායක වුණා. ඒ සෑම චිත‍්‍රපටයකම තරමක් වෙනස් චරිත රඟපෑමට අවස්ථාව ලැබුණා. තවත් ලැබුණු චිත‍්‍රපට කීපයකට වෙනස් චරිත රඟපෑමට හිතාගෙන ඉන්නවා. මම හිතන්නේ දැන් මගේ රංඟනයේ වැඩිපුර අවස්ථා ලැබෙන්නේ සිනමාවටයි. මම රංගනයෙන් දායකවූ හිතුමතේ ජීවිතේ ළඟදීම තිරගතවීමට නියමිතයි. සුනාමි, නිව්ස් පේපර් තිරගතවීමට නියමිතයි. තවත් චිත‍්‍රපට කීපයක්. ඉතින් මම හිතන විදියට දැන් මට වැඩිපුර සිනමාවට දායකවීමේ කාලය ඇවිදින්. ඊට අමතරව වේදිකාවේ සහ ටෙලිනාට්‍ය වලට දායක වෙනවා. ඒ සියල්ල අතරේ මේ ක්ෂේත‍්‍රයට ආ දා සිට මා වඩාත් ප‍්‍රිය කළ අංශයක් තමයි රංගනය ගැන ඉගෙන ගනිමින් තවත් පිරිසකට කියා දීම. මම එකතු කරගත් දැනුම අලූත් පරම්පරාවකට බෙදාදීමේ වැඩසටහනක් කරගෙන යනවා. ඒකේ නම් (හිට් ඇක්ට්) රංගන පාසල. සුළු පිරිසකට එකවර වැඩි දැනුමක් ලබාදීම මගේ අරමුණයි. ආධුනිකයින් වගේම විවිධ වෘත්තියන්වල යෙදෙන අය පවා එතැනට එනවා. ඉතින් ජීවිතය හරි සතුටින්. බොහෝ දෙනා සමහර අවස්ථාවලදී මගෙන් අහන්නේ රංගනය ගැන ඉගෙන ගන්නේ කොහොමද කියලයි. ඉතින් ඔන්න ඒ වගේ උනන්දු වන අයට අපේ (හිට් ඇක්ට්) හොඳ අවස්ථාවක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!