Gossip

ශිල්පීන් බහුතරයක් ඔවුන්ගේ ගීතවලට රූප රචනා කරන්න කැමැති නැති හේතුව බොහෝ දුරට අද වැඩි වශයෙන් දකින්න ලැබෙන බාල ගණයේ නිර්මාණ නිසා වෙන්න ඇති – වික්ටර් රත්නායක

දවසේ වැඩි වශයෙන් අපට සිදුවන්නේ ගීත ඇසීමට නොව නැරඹීමට. මේ වන විට ඔබත් ඒ කටයුත්තේ කොටස්කරුවෙක් වෙලා
ඇත්තටම අපිටත් අලූත් තාක්‍ෂණයේ වෙනස්කම්වලට අනුගත වීමේ ක්‍රමවේදය අනුගමනය කිරීමට සිදුවෙලා තියෙන යුගයක් මේක. මොකද අද ශ්‍රාවකයන් පුරුදු වෙලා තියෙන්නේ ශ්‍රව්‍ය සහ දෘෂ්‍ය කියන මාධ්‍ය දෙකම සංකලනය වෙච්ච රූප රචනාවක් සමග ගීතවල රස විඳින්න. ඒ තුළ අපි මේවට අනුගත වුණේ නැතිනම් මේවා හා සම්බන්ධ වෙලා රසිකයාට අපේ ගීත රස විඳීමේ අවස්ථාවක් නොදුන්නොත් අපේ නිර්මාණවලට නිසි තැන ලැබෙන්නේ නැති තත්ත්වයක් උදාවෙලා තියෙනවා.

මෙවැනි දේකට අතගැසීම ක්‍ෂේත්‍රයේ ප්‍රවිණයෙක් හැටියට ඔබට අවාසියක් කියල හිතෙන්නෙ නැද්ද?
සහතිකෙන්ම එහෙම හිතුණ සහ හිතපු කාලයක් තිබුණා. නමුත් අද තත්ත්වය දිහා බලපුවහම මම හිතනව අපේ ගීතයට නිර්මාණාත්මක උසස් තත්ත්වයේ රූප රචනාවක් බිහිවීම අපිට අවාසියක් වෙන්නෙ නැහැ කියලා. මේ වෙනකොට එෆ්. එම්. ගුවන් විදුලි නාලිකා පනහකට වැඩිය තිබුණත් ඒවායෙන් අපේ ගීත ප්‍රචාරය වෙනවා අඩුයි. ඒ තුළ අපේ ගීතයේ ගුණාත්මක බව රැකෙන විදියට මෙවැනි කටයුත්තකට සම්බන්ධ වීම වරදක් කියල අද මට හිතෙන්නෙ නෑ.

කොහොමද ලැබෙන ප්‍රතිචාර
ඉතා ඉහළයි.

පසුගිය කාලයේ අලූතින් මොකවත් කළේ නැද්ද?
අලූත් ගීතයක් ගායනා කළේ නැද්ද අපිට ඔබව දකින්න ලැබෙන්නෙ නැහැනෙ කියල චෝදනා ගොඩක් තිබුණ. නමුත් නව තාක්‍ෂණය හා සම්බන්ධ වෙලා කරපු මේ නිර්මාණය දිහා ආපහු හැරිල බැලූවම රූප රචනාවක් සමග යන මේ ගීතය බහුතරයක් නරඹල තියෙන නිසා ඒ සියලූ ප්‍රශ්නවලට උත්තර ලැබිල තිබෙනවා. ඒ වගේම ජනප්‍රියත්වයේ වර්ධනාත්මක පැත්තකට යන්න හැකිවෙලා තියෙනවා.

ඒ ඇගයීම් ප්‍රතිචාර මැද ඉදිරියේදී ඔබේ ගීතවලට දිගින් දිගටම රූප රචනා නිර්මාණය වෙයිද?
ගීතයක් කරපු පමණින් ඒ සඳහා රූප රචනා කරන්න බැහැ. මොකද මෙවැනි දේට යොමුවීම ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. ඒ සඳහා විශාල ලෙස වියපැහැදමක් කරන්න වෙනවා. ඉඳල හිටල තෝරාගත් ගීතයකට රූප රචනාවක් බිහිවෙයි. එතකොට ඉතින් බොහොම අතලොස්සක් තමයි නිර්මාණය වෙන්නේ.

ශ්‍රව්‍ය දෘෂ්‍ය කියන මාධ්‍ය දෙක එකට සංකලනය කිරීම ඉතා අසීරු කටයුත්තක්. මේ නිර්මාණයේදී ඒ දේ හරියට සිදුවුණාද?
ඇත්තෙන්ම ඒ දේ හොඳින් කල්පනා කරල බලල තමයි මම මේ රූප රචනාවට පෙනී ඉන්න තීරණය කළේ. මුලින්ම ගීතය මට ගායනා කළ යුතු තත්ත්වයේ තියෙනවද කියලත්, ගීතයේ අර්ථයත් ඒ අර්ථය තීව‍්‍ර කිරීමට යොදා ගන්නා නාද මාලා වගේම ගීතයට හරියන රංගන කටයුත්ත එකිනෙක ගැලපෙනවද කියල බැලූවා ඒවා හොඳින් නොගැලපුණා නම් ඇත්තටම මම රූපගත කිරීමකට මුහුණ දෙන්නෙ නෑ. මොකද පද රචනයට – සංගීතයට – අපේ හඬට හානියක් කරගෙන රූප රචනාවක් සිදු කිරීම තේරුමක් නෑ.

ඔය කියන සිද්ධාන්තය යම් ආකාරයකින් නොගැලපුණා නම් එය ඔබේ ප්‍රතිරූපයට හානියක් කියන එක ඔබට හැඟුණද?
අනිවාර්යයෙන්ම එහෙම නොවුණා නම් මම මෙතෙක් රැකගත් අනන්‍යතාව වගේම අපේ සිංහල ගීතයකට අසාධාරණයක් කළා කියන චෝදනාව ගායන ශිල්පියෙක් විදියට මට භාර ගන්න වෙනවා. ගීතයේ අර්ථයත් එක්ක බැඳුණු රූපගත කිරීමක් නිසා තමයි, මම ඒ වෙනුවෙන් පෙනී සිටියේ. මේ සඳහා ප්‍රතිචාර වැඩි වශයෙන් ලැබීමට හේතුවත් ඒකම තමයි.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රූප රචනා තරයේ ප්‍රතික්‍ෂේප කරන අතරෙ ඔබ මෙවැනි දේකට අතගැසුවේ.
අපේ යුගයේ ප්‍රවීණ ගායන ශිල්පීන් වගේම ශිල්පිනියන් බහුතරයක් ඔවුන්ගේ ගීතවලට රූප රචනා කරන්න කැමැති නැති හේතුව බොහෝ දුරට අද වැඩි වශයෙන් දකින්න ලැබෙන බාල ගණයේ නිර්මාණ නිසා වෙන්න ඇති. අනික ඒක දේවල් තම තමන්ගෙ කැමැත්තනෙ. ඒත් මම අර මුලින් කිව්ව විදියට මේ කටයුත්තේදී ප්‍රවීණයෙක් වුණත් නිවැරදිව නව තාක්‍ෂණයට යොමුවීමේ වැරැද්දක් නැහැ කියල මම හිතනව අනික ඒක මගේ කැමැත්තනෙ.

ඔබත් එවැනි දැඩි ප්‍රතිපත්තිවල සිටින ගායකයෙක් විදියට නේද සමාජය පිළිඅරන් තියෙන්නේ…?
සාමාන්‍යයෙන් මම දැඩි තීරණ ගන්න දැඩි ප්‍රකාශ ඉදිරිපත් කරන ශිල්පියෙක් හැටියට ප්‍රසිද්ධයි. ඒ ආකල්පය සීයට සීයක් සාධාරණ නෑ. මම ඔය කියන තරම් සැර පරුෂ විදියට කාටවත් දොස් කියමින් කලහකාරී ලෙස හැසිරෙන චරිතයක් නෙමෙයි. කියන්න ඕන තැනදී අදාළ දේ පැහැදිලිව එක පාරින් තේරුම් කරල මූණටම කියන කෙනෙක්. ඔන්න ඔය කාරණාව නිසා දැඩි මතධාරියෙක් කියන තැනට මාව ඉබේම පත්වෙලා.

මේ හරහා ඔබ වැඩි ජනප්‍රියත්වයක් බලාපොරොත්තු වුණා කියල කෙනෙක් චෝදනා කළොත්.
චෝදනා නම් මොනවද ඉතින් ඕන දේටයි එපා දේටයි තේරුමක් නැතිව එල්ල වෙන දෙයක්නේ. මෙතෙන්දී ඉතින් කියන්න තියෙන්නේ ගායන ශිල්පියෙක් විදියට මට ආදරේ කරන රසික රසිකාවියො නිසා මම ලබල තියෙන ජනප්‍රියත්වය ඉහටත් උඩින්. ආපහු ජනප්‍රියත්වයක් ඕනෙ නැහැ.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!