Gossip

“වැසිකිලියක් නෑ ,වතුර නෑ ,අදින්න තියෙන්නේ එක සිවුරයි.” – වකුගඩුවක් අලෙවි කර සංඝාවාසය තනා ගන්න වෙර දරන බුද්ධ පුත්‍රයා – වීඩියෝ

සිය වකුගඩුවක් තවත් අයෙකුට ජීවත්වීම සඳහා ලබාදී තම විහාරස්ථානය ඉදිකරගැනීමේ දැවැන්ත උත්සාහයක නිරතව සිටින හිමිනමක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වයාඋල්පත පරණ ගමේ වැඩ සිටිති.
පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වයාඋල්පත පහලගම ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරාධිපති ඇටවීරගොල්ලෑව නන්දරතන හිමියන් මෙසේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ ඉතා දිළිඳු ජනතාවක් වෙසෙන ගම්මානයක අවාස ගෙය දහම් පාසල සකසා ගැනීම සඳහා වෙහෙස දරති.
මෙම විහාරස්ථානයේ තිබුණු පැරණි ගොඩනැගිල්ල කඩා වැටීමත් සමඟ උන්වහන්සේ දැඩි අසරණ තාවයකට පත්ව සිටින බව පවසති. උන්වහන්සේ සමග මෙම විහාරස්ථානයේ තවත් කුඩා සාමණේර භික්ෂූන් වහන්සේලා හතර නමක් වැඩ සිටි බවත් ඉන් සාමනේර භික්ෂූන් වහන්සේලා තුන් නමක් උපැවිදි කළ බව සඳහන් කරති. එසේ සිදුකර ඇත්තේ උන්වහන්සේලා පෝෂණය කිරීමට තරම් ප්‍රමාණවත් දාන මාන හා පහසුකම් මෙම පන්සලට නොලැබීම බව උන්වහන්සේ පවසති. දැනට පන්සලේ වැඩ සිටින කුඩා සාමණේර හිමි උපැවිදි කිරීමට උත්සාහ කළ ද උන්වහන්සේගේ අකමැත්ත නිසා එය සිදු නොකරන බව විහාරාධිපති හිමියෝ පවසති.
උන්වහන්සේ සඳහන් කර සිටින්නේ තම විහාරස්ථානයට අඩුම තරමේ වැසිකිලි-කැසිකිලි පහසුමකම හෝ නොමැති බවත් පන්සල ආසන්නයේ නිවසකට අවශ්‍යතාවයන් සපුරා ගැනීමට යන බවය.
එමෙන්ම ජල පහසුකම් මෙන්ම ඉදිකරගත් ගොඩනැගිලිවල අඩුපාඩු රැසක් පැවතීම නිසා දැඩි අසීරුතාවකට පත්ව සිටින බවද උන්වහන්සේ පවසති .එකම සිව්රක් තමන් වහන්සේ අඳින බව ද කියති. තම ගම්මානයේ දිළිඳු ජනතාවක් වෙසෙන නිසා දීනපතා දානය ද නොලැබෙන බව උන්වහන්සේ පවසති. කෙසේ හෝ කුඩා ස්වාමීන් වහන්සේගේ අධ්‍යාපන කටයුතු සිදුකර ගැනීමට දැඩි වෙහෙසක් දරන බවත් බුදුරජාණන් වහන්සේට ගිලන්පස දිවා දානය පුජා කිරීම සහ සාමණේර හිමි නමට අහල පහල නිවෙස්වලින් දානය ටිකක් ඉල්ලා දෙන බවද උන්වහන්සේ දැඩි දුක් මුසුව පැවසූහ.
තමන් වහන්සේ එක වකුගඩුවක් රුපියල් ලක්ෂ පහකට ලබාදී දැනට වැඩ හිටින ආවාස ගොඩනැගිල්ල අඩක් නිම කරගත් බවද සඳහන් කර සිටිති.
විශාල දායකත්වයක් නැතත් දහම් පාසල් ගොඩනැගිල්ල ආවාස ගෙයි පවතින අඩුපාඩු වැසිකිළි පහසුකම ජල පහසුකම සහ කුඩා සාමණේර හිමියන්ගේ අධ්‍යාපන කටයුතු වලට කාගෙන් හෝ උපකාරයක් ලැබෙන්නේ නම් එය මහඟු පිනක් බව උන්වහන්සේ පවසනවා.
මෙම විහාරස්ථානයේ වැඩ සිටින විහාරාධිපති ඇටවීරගොල්ලෑවේ නන්දරතන හිමියන් තමන් වහන්සේ සහ කුඩා සාමණේර හිමියන් විඳින දුක පිළිබඳව මෙසේ අදහස් දැක්වූහ.
“පන්සලේ විශාලතම අඩුපාඩුව තමයි වැසිකිළි පහසුකම් නොමැති වීම, මේ පන්සලේ දායක සභාවේ දහනව දෙනෙක් තමයි ඉන්නෙ එකෙනුත් දාහතර දෙනෙක් තමයි දානේ ගේන්නෙ, මේ ඔක්කොමලා එදිනෙදා කුලී වැඩ කරන අය ගිලන්පස සීනි ටික ගෙනත් දෙන්න වත් හැකියාවක් නැහැ. මමයි මේ පොඩි හාමුදුරුවෝ තමයි පන්සලේ වැඩ ඉන්නේ, හාමුදුරුවරු තව හතර නමක් මෙහෙ හිටියා. ඒ හතර නමට සිවුරු ඇරල යන්න කිව්වා මොකද ඒ අයට ඉගෙනගන්න පහසුකම් දෙන්න හැකියාවක් නැති නිසා මේ හාමුදුරුවොත් දිගම්පතහ හන්දියට කිලෝමීටර් හයක් යන්න ඕන පිරිවෙනට එතන ඉඳලා කිලෝමීටර් දහයක් යන්න ඕන හබරණ පිරිවර දවසකට රුපියල් 500ක මුදලක් යනවා පොඩි හාමුදුරුවො පිරිවෙන් යවන්න.”
“මේ විහාරස්ථානයේ තිබුණු පරණ ගොඩනැගිල්ල කඩා වැටුනට පස්සේ අලුතින් ධර්මශාලාව හදාගන්න ලොකු උත්සාහයක නිරත වෙමින් ඉන්නේ දහම් පාසලක් නැවතුනා පොඩි හාමුදුරුවන්ට මම කිව්වා සිවුරු ඇරලා ගෙදර යන්න කියල ඒත් පොඩි හාමුදුරුවො කැමති නැහැ සිවුරු ඇරලා ගෙදර යන්න මොකද බුද්ධශාසනය ආරක්ෂා කරන්න කියලා දරුවෝ පන්සල් වලට බාර දුන්නහම දුකට පත් කරන්න බැහැ. ඒ දරුවන්ගේ තියෙන ආශාවකට සහ පිනට තමයි බුද්ධ ශාසනයට ඇතුළු වෙන්නෙ ඒ නිසා මේ බුද්ධ ශාසනය පැවැත්මට අපි ගන්න උත්සාහයන් සාර්ථක කරන්න නොහැකි වෙලා තියෙනවා. මම එක වකුගඩුවක් දන් දීලා ඒ ඇත්තන්ගෙන් පිනට හම්බවුන රුපියල් ලක්ෂ 5ක් වියදම් කරලා තමයි මේ ගොඩනැගිල්ල හදාගන්න උත්සාහ කලේ මම ඉල්ලා සිටින්නේ කොහොම හරි මේකෙ ඉතිරි අඩුපාඩු ටික මට හදලා දෙන්න කියලා.”
“දැන් මේ වැඩ ඉන්න ආවාස ගේ හදන්න මම රුපියල් ලක්ෂ දෙකක් පොලියට ගත්තා දැන් පොලිය විතරක් ලක්ෂ තුනහමාරක් ගෙවන්න වෙලා ඒ අය හැමදාම පන්සලට ඇවිල්ලා මට බැනලා යනවා මම ජෝතිෂය කරනවා ඒකෙන් හොයාගන්න මුදලකින් තමයි දාන්නේ නැති වෙලාවට සීනි තේ කොළ ටිකක් හරි ගන්නේ. ඒ වගේම පොඩි හාමුදුරුවන්ට උගන්වන්නේ සිවුරු පිරිකරක්වත් අපිට ලැබෙන් නැහැ. කොහොමත් එක සිවුරයි මට තියෙන්නේ හැබැයි හොද තායි සිවුරු ගන්න රුපියල් හාරදාහක් විතර යනවා . සාමාන්‍ය සිවුරක් තමයි පොරවන්නේ අඩුම තරමේ අල්මාරියක කබඩ් එක දාලා හදිසියකට ගන්න සබන් කැටයක් සීනි ටිකක් නැහැ. පොඩි හාමුදුරුවන්ට දානෙ නැති වෙලාවට මේ අහල පහළ ගෙදරට කතා කරලා මම කියනවා බුද්ධ පූජාවට දානය ටිකකුයි පොඩි හාමුදුරුවන්ට බත් පිඟානට පොඩ්ඩකුයි දෙන්න කියලා හැබැයි ඒ අය ඒක කරනවා මට බඩගින්නෙ වුනත් ඉන්න පුළුවන් ඒත් පොඩි හාමුදුරුවො බඩගින්නේ තියන්න බෑනේ.”

උන්වහන්සේගෙන් ලිපිනය වන්නේ විහාරාධිපති ඇටවීරගොල්ලෑවේ නන්දරතන හිමි, ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරය, වයාඋල්පත, පහලගම පලුගස්වැව, දුරකථන අංකය 077 970 36 28.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!