Gossip

වැන්දඹු කාන්තාවට සිය ස්වාමියාගේ මළ සිරුර සේදූ ජලය පානය කරන ලෙස අණ කර පසුව ඇගේ හිසද බූ ගා දමයි

නයිජීරියාව සම්බන්ධයෙන් ලෝකයේ අවධානය වැඩිපුරම යොමුවුණේ බොකෝහරාම් ත්‍රස්තවාදීන් විසින් පාසල් දැරියන් 300කට අධික පිරිසක් පැහැර ගනු ලැබීමත් සමගය. වසරකටත් වඩා කාලයක් ගතවුවත් හැඬූ කඳුළින් සිටි දෙමාපියන් හමුවට යළි පැමිණියේ ත්‍රස්ත ම්ලේචිඡයන්ට දාව උපන් දරුවන් හෝ දරුගැබ් සහිත දැරියන්ය. ඒ සැම දෙනෙක්ම ත්‍රස්තයන් අතින් කායිකව මෙන්ම මානසිකව ද කුරිරු ලෙස හිංසනයට හා දූෂණයට ලක්ව සිටියහ.

අන්තවාදී කැරලිකරුවන් නිසා නයිජීරියානු දැරියන්ට මේ කණගාටුදායක තත්ත්වය උදා වුවත් තවමත් එරට පවතින ගෝත්‍රික සමාජය තුළද කාන්තාවන් සම්බන්ධයෙන් ඇත්තේ එතරම් සුවදායී වාතාවරණයක් නොවන බව පෙනේ. ගෝත්‍රික කාන්තාවන් ලිංගික වශයෙන් සුන්නත් කිරීම ඊට දිය හැකි එක් නිදසුනක් පමණි.<

ගුප්ත කටයුතු හා කට්ටඬිකම් පිළිබඳ නයිජීරියානුවන් තුළ ඇති පිළිගැනීම ඉතා ඉහළය. මෙය වැඩිපුරම දැකිය හැක්කේ එඩෝස් නමැති ගෝත්‍රික ජන කණ්ඩායම තුළය. කොතැනක හෝ සිදුවන කාන්තාවකගේ හෝ පුරුෂයෙකුගේ මරණයට හේතුව ගුරුකමකැයි සැක සිතුනහොත් එම ගුරුකම කළ බවට සැක කෙරෙන තැනැත්තා කට්ටඬියෙකු හෙවත් යකැදුරෙකු වෙත යොමු කෙරේ. සත්‍යය හෙළි කර ගැනීමට දෙනු ලබන අනන්ත දුක් පීඩා අවසානයේ සිදු වන්නේ චුදිතයා විසින් වරද පිළිගනු ලැබීමයි. එය යකැදුරා විසින් කෙරෙන බලකිරීමකි. සැකකරු වරද කළ බව නිගමනය කිරීමෙන් අනතුරුව ඔහු හෝ ඇය එම ජන කොට්ඨාශයෙන් නෙරපා දැමේ.

තරුණ වියට පත් අයෙකුට බිරියක ලබා ගැනීමට හැකි වන්නේ තම නිර්භීතභාවය සෙස්සන් ඉදිරියේ ප්‍රදර්ශනය කළහොත් පමණි. කස පහරදීම යන අරුතැති ශාරෝ නමැති ප්‍රසිද්ධ උත්සවයේදී එය සිදු කළ යුතුය. කොපමණ දරුණු ලෙස කසපහර කෑවද කිසිදු වේදනාවක් නොපෙන්වා සිටීමයි කළ යුත්තේ. පොදු වෙළෙඳ පොළ වැනි ස්ථානයක සතියක් පමණ පැවැත්වෙන මෙම උත්සවය නැරඹීමට සියලූ දෙනා පැමිණෙන්නේ මේ තරුණයන්ගේ අභීතභාවයට සාක්ෂි පිණිසය.

නයිජීරියානු ගෝත්‍රිකයන් බොහොමයක් අනාචාරය ප්‍රබල වරදක් ලෙස සලකති. ඇතැම් අවස්ථාවල පුරුෂයා මළ පසු ඔහුගේ සොහොයුරන්ට ඇය අත්පත් කර ගැනීමේ අයිතිය ඇත. එය බොහෝවිට මරණකරුගේ වත්කම් අත්පත්කර ගැනීමට දරන වෑයමකි. අද ඊට ඇති ලොකුම බාධකය කාන්තා අධ්‍යාපනයයි.

සැමියා මළවිට එම බිරියෝ තවත් ඛේදවාචකයකට ගොදුරු වෙති. එම මරණය සම්බන්ධයෙන් තමන් අත වරදක් නැතැයි ඔප්පු කිරීමට ඔවුනට සිදුවේ. නයිජීරියාවේ ඇතැම් ගෝත්‍රිකයන් වැන්දඹු කාන්තාවට බල කරන්නේ මළ සිරුර සේදු ජලය පානය කරන ලෙසයි. මරණකරුගේ ඥාතීන් ඉන් නොසෑහී ඇගේ හිසද බූ ගා දමා මිනිය සමග නිදා ගැනීමටද ඇයට බල කෙරේ. මේ ජුගුප්සාජනක සිරිත් සුළුතර පිරිසක් අතර අදද පැවතේ.

කළු අප්‍රිකානු ජනතාවක් වන නයිජීරියානුවන් අතරද රූමත් කාන්තාවන් සිටින බව පෙනේ. ඉග්බො, හවුසා හා යොරුබා ගෝත්‍රික කතුන් ඒ අතරින් ප්‍රමුඛ වේ. විවාහ වීමට පෙර අධ්‍යාපනය ලැබුමට මේ කාන්තාවෝ උනන්දු වෙති. ඔවුහු වැඩිහිටියන් දුටුවිට දණ නමා ආචාර කරති. මොවුන් තම සංස්කෘතියෙන් ඔබ්බේ ඇති රටවල මෝස්තර, කලා නිර්මාණ ආදිය වෙත තම මනස යොදවමින් සිටී.

යොරුබා ගෝත්‍රික දරුවෙකු උපන් විට මවගේ වයසට වඩා බාල ස්ත්‍රියකට දරුවා බැලීමට ඉඩ දෙනු නොලැබේ. දරුවා මත ජලය ඉස ප්‍රශස්ති ගී ගයනු ලැබේ. මවගේ වැදෑමහ වළලා දැමේ.

මල්වර සමයේ දැරියන් පවුලෙන් වෙන්කර තෙමසක් හෝ ඊට වඩා වැඩි කාලයක් හෝ කුටියක රඳවා තබා පෝෂ්‍යදායී ආහාර විශාල ප්‍රමාණයක් ලබා දෙනු ලැබේ. මේ කාලය වසරක් තරම් දිගු වීමටද ඉඩ ඇත. ඇයට වැඩිපුර නිදා ගැනීමටද අවස්ථාව ලබා දේ. එහි යැවීමට පෙර දැරියගේ පියා කොරල් මුතු ලබා දී දැරිය සතුටු කරයි. ඒ ඔවුන්ගේ ඇදහීම අනුව තම ‘නිවසේ ගංගා දේවතාවිය’ සේ එම දැරිය සැලකෙන හෙයිනි.

මේ තරකිරීමේ කුටියට යැවෙන්නේ දැරියන් ස්ත්‍රීත්වයට සූදානම් කිරීම සඳහාය. සිරුර වැඞී බරද වැඩිවන මේ අවස්ථාව දැරියන්ට ලැබෙන වරප්‍රසාදයක් සේ සැලකේ. එය හැදියාවේත් ලිංගික පාරිශුද්ධත්වයේත් සංකේතයක් බඳුය. මේ කාලය තුළ ඇය දැකිය හැක්කේ වැඩිහිටි කතුන්ට පමණි. ඔවුහු එහිදී ඇයට ස්ත්‍රිත්වය හා විවාහ දිවිය ගැන පාඩම් උගන්වති. සම්ප්‍රදායික තෙල් වර්ග තවරා දැරියගේ සිරුර සම්බාහනය කරති. මේ දියණියන් සුන්නත් කිරීමට ලක්වන්නේද මෙහිදීය. එද මේ කුටියෙන් බැහැරවීමට පෙර ඔවුන්ගේම මව්වරුන් අතිනි. විවාහ වන තෙක් දැරියන්ගේ පාරිශුද්ධිය හා විශ්වාසය රැකීම මෙහි අරමුණයි. ඔවුන් යළි සමාජගත කෙරෙන්නේ කාන්තාවන්ගේ නැටුම් ගැයුම් පිරි උත්සවයකිනි.

සුන්නත් කිරීම අප්‍රිකානු රටවල සුලබ කරුණක් වන අතර එහිදී පුරුෂයන්ගේ ලිංගේන්ද්‍රියේ පෙරසම සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ ඉවත් කිරීම සිදුවේ. නයිජීරියාවේ කාන්තාවන් සම්බන්ධයෙන්ද එම කරුණ එලෙසම සිදු කෙරෙන බව ප්‍රකට කරුණකි. පුරුෂයන්ගේ මෙන් නොව මෙහිදී කාන්තාවන්ගේ ලිංගේන්ද්‍රියේ සංවේදිත්වය මුළුමනින්ම අහිමි ව’ම සිදුවේ. මෙනිසා ලොව පුරා සමාජ ක්‍රියාකාරීන්ගේ අප්‍රසාදය හා විරෝධය ඊට එල්ලව’ ඇත. අධ්‍යාපනය හා නව ලොව වෙත එරට නිරාවරණය වීමත් සමගම මේ සිරිත ඔවුන්ගෙන් ගිළිහුණද තවමත් ඇතැමුන් එම සංස්කෘතියෙන් ඉවත් වීමට මැළි වීිම කණගාටුවට කරුණකි.

සුන්නත් කිරීමෙන් පසු ගැහැනු පිරිමි දෙපිරිසම විවාහයට සුදුසු සේ සැලකේ. මෙනිසා විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගැනීමට සිරුරු පින්තාරු කර ගැනීම දෙපිරිසම සිදුකර ගනිති.

විවාහ මංගල්‍යයට පෙර මනාලියගේ දෑවැද්ද පරික්ෂා කරනු ලැබේ. ඉග්බො ගෝත්‍රයේ මනාලයා මනාලියගේ පවුලෙන් දෙනු ලබන භාණ්ඩ ලැයිස්තුව කෙසේ හෝ රැගෙන ආ යුතුය. එය මිල අධික මොටෝ රියක් වැනි දෙයක් වීමටත් කිඹුලෙකුගේ දතක් වැනි සොයා ගැනීමට අසීරු දෙයක් වීමටත් ඉඩ ඇත. ඉල්ලන දේ දිය නොහැකි අයෙකුට එම පවුලෙන් විවාහයකට ඉඩක් නැත.

ආගමික හා සම්ප්‍රදායික යනුවෙන් මංගල උත්සව දෙකකි. ඒ සඳහා කෙරෙන්නේ විවෘත ආරාධනයකි. එනිසා අමුත්තන් ගණන නිශ්චිත නැත.

මනාලියන් බටහිර පන්නයට සුදු ඇඳුමකින් සැරසීමේ ප්‍රවනතාවක් දැක්වුවද බහුතරයේ කැමැත්ත දීප්තිමත් පැහැයෙන් යුත් ලේස් හැටිටය හා සිරුර වටා එතෙන දිගු සාය ඇඳ කොරල් අබරණ පැළඳීමයි. හිසද පාට සළුවකින් අලංකාර කෙරේ. මනාල යුවළම එකම පාටකින් සැරසීම විශේෂත්වයකි.

මංගල තෑගි ලෙස මනාලිය මතට මුදල් විසුරුවාලීම නයිජීරියාවේ චාරිත්‍රයකි. ඇය නටන විට ඇය වෙත විවිධ බිල්පත් විසිකිරීමද සිදුකෙරේ.

නයිජීරියානුවන් අධ්‍යාපනය වෙත යොමුවීමත් සමග මේ බොහෝ සිරිත් සමාජයෙන් ඈත් වන බව පෙනේ. එහෙත් තවමත් එරට කාන්තාවන්ගෙන් අඩක් පමණ ශ්‍රම හමුදාවට එක්ව සිටිති. පාර්ලිමේන්තුවේ සියයට 7ක පමණ කාන්තා නියෝජනයක්ද දැකිය හැකිය

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!