Gossip News

රාජ්‍ය ඇමැති පියල්ටත් කොරෝනා – බිරිඳ සහ ලේලියත් පොසිටිව්

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සංවර්ධන, අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාට සිදු කළ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඔහු කොවිඞ් ආසාදිතයකු බවට තහවුරු වී ඇත.

ඔහු මෙන්ම ඔහුගේ බිරිඳ සහ ලේලියට ද කොවිඞ් ආසාදිත බවට තහවුරු වී ඇත.

තමන්ට සෙම තත්ත්වයක් සහ කැස්ස පවතින බව ද එබැවින් තමන්ට ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කරන ලෙස ද රාජ්‍ය ඇමැතිවරයා ඊයේ පෙරවරුවේ ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව ඇමැතිවරයාගේ ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කළ අවස්ථාවේ ඔහු සහ ඔහුගේ නිවසේ සිටි බිරිඳ සහ ලේලිය කොවිඞ් ආසාදිත බවට තහවුරු වූ බව කළුතර දිස්ති‍්‍රක් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජේ. සිංහබාහු මහතා පැවසීය.

මේ හේතුවෙන් එම තිදෙනා කොග්ගල පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ බව ද හෙතෙම සඳහන් කළේය.

ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලයේ 22 දෙනකුට රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ මෙන්ම පී. සී. ආර්. පරීක්ෂණ ද සිදු කළ නමුත් ඔවුන් කිසිවකු ආසාදිත නොමැති අතර ඔවුන් සියලූ දෙනා ස්වයං නිරෝධායනයට යොමු කළ බව සිංහබාහු මහතා කියා සිටියේය.

පසුගිය සෙනසුරාදා (16 දා) කළුතර දිස්ති‍්‍රක් කාර්යාලයේ පැවැති සංවර්ධන කමිටු රැස්වීමකට පියල් නිශාන්ත මහතා සහභාගි වී තිබේ. එම කමිටු රැස්වීම පැවැත්වෙන අවස්ථාවේදී රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා අසලින්ම අසුන් ගෙන සිටි කළුතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයකු සහ සංවර්ධන නිලධාරිනියකට කොරෝනා ආසාදනය වී ඇති අතර ඔහුට සමීප පුද්ගලයින් 40 කට ආසන්න පිරිසකට ද මේ වනවිට පී. සී. ආර්. පරීක්ෂණ සිදු කර ඇත.

පසුගිය 16 දා කළුතර පැවති සංවර්ධන කමිටු රැස්වීම සඳහා පියල් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාට අමතරව කී‍්‍රඩා ඇමැති නාමල් රාජපක්ෂ, රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන සංජීව එදිරිමාන්න සහ ලලිත් එල්ලාවල යන මහත්වරුන් ඇතුළු 150 කට අධික පිරිසක් සහභාගි වී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!