Gossip

රතු පලස ලස්සන කරන්න ලස්සන නිළියෝ ඕනෙනේ – ඒ නිසා මට කතා කරනවදො කියලත් හිතුණා – යුරේනි නොෂිකා

කාලයක ඉඳන් තිබ්බ බලාපොරොත්තුවක් මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලෙදී හැබෑ වුණා නේද?
ඇත්තටම කාලයක් බලාපොරොත්තු වුණා. ඒ වගේම කාලයක් සම්මානයක් ගැන බලාපොරොත්තු රහිතව හිටියා. මොකද නිර්දේශ වුණත් සම්මාන ලැබුණෙ නෑ. ඒත් මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේදී ජනප්‍රිය නිළි සම්මානය මට ලැබුණා. හරිම සතුටුයි ඒ සම්මානය ලැබීම ගැන.

මෙවර ජනප්‍රිය නිළි සම්මානය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇත්තේ?
ඇත්තටම මම මේ සැරේ සම්මාන උළෙලට යන්නත් නෙවෙයි හිටියේ. මොකද මම විදේශගත වෙලා ඉඳලා 25 වැනිදා තමයි ලංකාවට ආවේ. මහන්සි නිසා සම්මාන උළෙලට නොගිහින් ඉන්නයි හිටියේ. ඒත් දෙරණෙන් කතා කරලා කිව්වා අනිවාර්යයෙන් සම්මාන උළෙලට එන්න කියලා. මම මගේ කලා ජීවිතය පටන් ගත්තේ දෙරණෙන්. මගේ නමත් සම්මානවලට නිර්දේශ වෙලා තිබුණු නිසා අන්තිම මොහොතේ ඇඳුමක් පටලවාගෙන සම්මාන උළෙලට ගියා.

ඔය කිව්වට ඔච්චර කතා කරන්නේ සම්මානයක සේයාවක් තියෙන නිසා කියලා යුරේනිට හිතෙන්න ඇති?
මට එහෙමත් හිතුණා. සම්මාන තුනකට මගේ නම නිර්දේශ වෙලා තිබුණු නිසා දෙවැනි පාර කතා කරද්දී යන්න තීරණය කළා. රතු පලස ලස්සන කරන්න ලස්සන නිළියෝ ඕනෙනේ. ඒ නිසා මට කතා කරනවදො කියලත් හිතුණා. කොහොම වුණත් ඒ ගිය ගමන වැරැදුණේ නැහැ. මෙවර දෙරණ සිනමා රාත්‍රිය මට අමතක නොවන රාත්‍රියක්.

ජනප්‍රිය නිළි සම්මානයක් අතට ගන්න සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වුණා නේද?
ඇත්තටම මේක නිළියක් විදියට මට ලැබුණු පළමුවැනි සම්මානය. අවුරුදු ගාණක් ගියා ඒ සම්මානය ලැබෙන්න. කලාව වෙනුවෙන් දෙයක් කරපු අය අගය කිරීම ගැන දෙරණට මම ස්තුතිවන්ත වෙනවා. මම හැමදාම කලාවට ආදරය කළ ඒ වගේම මට පුළුවන් දේ කලාවට දෙන්න උත්සාහ කළ කෙනෙක්. කරන දෙයට සාධාරණ ඇගයීමක් නැති එක ගැන දුකක් තිබුණා. ඒත් මගේ කැපවීමට උත්සාහයට මෙවර ඇගයීමක් ලැබුණා.

ඔබ දායක වූ පළමු චිත්‍රපටයට මේ සම්මානය ලැබීමත් විශේෂත්වයක්?
ඔව්. මගේ පළමුවැනි චිත්‍රපටය නිනෝ ලයිව්. ඒ චිත්‍රපටය ගැන අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. කාලයක් ගියා ඒ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට එන්න. නමුත් කාලයකට පස්සේ හරි ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබුණු ඒ චිත්‍රපටය නිසා මට ජනප්‍රිය නිළියට හිමි සම්මානය ලැබුණා.

යුරේනි ජනප්‍රිය නිළි සම්මානය වගේම තවත් සම්මානයක හිමිකාරියක් වුණානේ. ඒ ගැනත් කියමු?
සමාජ මාධ්‍යවල ජනප්‍රිය නිළිය ලෙසත් මට සම්මානයක් ලැබුණා. නව පරපුරේ නිළියක් ලෙස මට ඉස්සර ඉඳන්ම ප්‍රශංසා කරන්නත් මඩ ගහන්නත් පිරිසක් හිටියා. ප්‍රශංසා කිරීම වගේම මඩ ගැහීම ගත්තත් ඒ දෙකෙන්ම වෙන්නේ ජනප්‍රිය වීම. මම ඒ දෙකම දැක්කේ සුබවාදීව. ඒ නිසා සමාජ මාධ්‍යවල මාව කතා බහට ලක්වෙන චරිතයක් වුණා.

මඩ වැදෙද්දි ඒක සුබවාදීව දකින්න යුරේනි පුරුදු වුණේ කොහොමද?
මාව කවුරු හරි එක පාරක් වැට්ටුවොත් මම වැටි වැටී හරි නැඟිටින කෙනෙක්. මම උත්පත්තියෙන්ම ඒ ශක්තිය ගෙනත් තියෙනවා. චූටි චූන් මඩ ගහලා මාව කවදාවත් වට්ටන්න බැරි වුණා. මම ඒ මඩ ශක්තියක් කරගෙන ඉස්සරහට ගියා.

ජනප්‍රිය සම්මානයත් එක්ක දැන් යුරේනිට රංගනයේ වැඩ වැඩි වෙයිද?
ලංකාවේ ටෙලි නාට්‍ය, චිත්‍රපට ගැන මම දන්නේ නෑ. සම්මාන ලැබුණට දින දෙන්න බැරි තරමට මට වැඩ ලැබෙයි කියලා නම් හිතන්නේ නැහැ. මම ආවට ගියාට වැඩ කරන්නේ නෑ. හොඳ දෙයක් හම්බ වුණොත් කරනවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!