Gossip

රටම බියෙන් සිටි දකුණේ පැතිරුණු වෛරසයට හේතුව සොයා ගනී – පරීක්ෂණවලින් අනාවරණය වූ දේ මෙන්න

දකුණේ ව්‍යාප්ත වන උණ රෝගයට හේතුව ‘ඉන්ෆ්ලුවෙන්සා A’ වෛරසය බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය කළ පර්යේෂණ මඟින් අනාවරණය වී තිබේ.

නමුත් මීට පෙර වෛද්‍ය මතය වූයේ වෛරස් විශේෂ තුනක එකතුවක් ශරීරගත වීම නිසා මෙම රෝගී තත්වය මතු වන බවයි.

කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළේය.

එහිදී ඒ මහතා කියා සිටියේ මෙම රෝගය සෑම වසරක් පාසම මෙම කාලය තුළ වාර්තාවන බවත්, මෙවර එය වැඩි වශයෙන් කුඩා දරුවන්ට වැළඳුන බවයි.

එමෙන්ම හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා අවශ්‍ය ඹෟෂධ සියල්ල ද අඩුවකින් තොරව ලබා දී ඇති බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මෙම රෝගල පාලනය කළ නොහැකි බවත්, තමන් විසින් පාලනයවීමක් කළ යුතු බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම මේ සඳහා දෙනු ලැබූ එන්නත සම්බන්ධයෙන් මේවන විට කතිකාවතක් ගොඩ නැගී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට විද්වත් කමිටුවක් පත් කර සාකච්ඡා කිරීමට නියමිත බවද සඳහන්ය.

මේ අතර දකුණු පළාත තුළ පැතිරෙමින් යන ඉන්ෆ්ලුවන්සා රෝගය වැළඳුන බවට සැකකෙරෙන රෝගීන් 48 දෙනෙකු තංගල්ල හා හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව එම රෝහලවල වෛද්‍ය බලධාරීන් පවසයි.

ඒ අනුව හම්බන්තොට මහ රෝහල තුළ රෝගීන් 38 දෙනකු ප්‍රතිකාර ලබන බවත්, ඉන් රෝගීන් 26 දෙනකුම ළමයින් බවත් කළ විමසීමකදී හම්බන්තොට මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධනුෂ්ක පෙරේරා මහතා සඳහන් ‍කළේය.

එමෙන්ම පසුගිය සති කීපයට වඩා මෙම දිනයන්හි එම රෝගීන් වැඩිවීමේ සීඝ්‍රත්වයේ අඩුවක් පවතින බවද හෙතෙම කියා සිටි අතර නමුත් නේවාසිකව දැනට ප්‍රතිකාර ලබන රෝගීන් හට අවශ්‍ය ඖෂධ අඩුවකින් තොරව පවතින බවත් වෛද්‍ය ධනුෂ්ක පෙරේරා මහතා පවසා සිටියේය.

මෙ‍හිදී වැඩිදුරටත් අදහස් දැක්වු රෝහල් අධ්‍යක්ෂවරයා මෙසේ පැවසීය.

” අතෙන්ම අපි එවැනි රෝග ලක්ෂණ තියෙන සියලුම රෝගීන්හට දැඩි අවදානයක් යොමුකරලා වෛද්‍යවරුන් මෙන්ම රෝහලේ සියලුම අංශවල සේවකයින් මේ වන විට කටයුතු කරනවා. ඒ වගේම රෝගීන් ලියාපදිංචිය පවා අපි වෙනම කඩිනමින්ම සිදුකරනවා.

රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු අපි වෙනම යොදවා තිබෙනවා රෝහලට පැමිණෙන එවැනි උන රෝගී ලක්ෂණ තිබෙන රෝගීන් පරික්ෂා කරන්න. ”

එමෙන්ම ඉන්ෆ්ලුවන්සා රෝගය වැළඳුණු බවට සැකකෙරෙන රෝගීන් 10 දෙනෙකු පමණ 03 වනදා වනදා වන විට තංගල්ල මුලික රෝහලින් වාර්තාවන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ.පි.ආර්.එස්.චන්ද්‍රසේන මහතා පවසා සිටියේය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මඟින් පසුගිය 02 හම්බන්තොටදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය උපුල් ගලප්පත්ති කියාසිටියේ හම්බන්තොට තිබෙන මෙම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන් තම අවධානයට නොගෙන වගකීම් විරහිතව කටයුතු කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සි‍ටියේ, දිනකට ‍බාහිර රෝගී ඒකකය සඳහා ‍රෝගීන් 300-400 ත් අතර ප්‍රමාණයක් පැමිණෙන අතර එම තත්ත්වය මේ වන විට රෝගීන් 400-600 ත් දක්වා වර්ධනය වී ඇති බවයි.

එමෙන්ම මෙම රෝගය ආසාධිත රෝගියෙක්ද කියල නිසියාකාරව පැවසීමට එම රෝගියාගේ ලේ නියැදි පරික්ෂා කිරීම සඳහා කොළඹට යැවිය යුතු බවත්, නමුත් මේ වන තෙක් හම්බන්තොට මහරෝහලේ උණ රෝගීන්ගේ රුධිර නියැදි කොළඹට යැවීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක්ද සකසා නොමැති බවද වෛද්‍ය උපුල් ගලප්පත්ති අවධාරණය කර සිටියේය.

මෙම තත්ත්වය හමුවේ රෝහලේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින කාල වකවානුවක හම්බන්තොට රෝහලේ සිටි විශේෂඥ වෛද්‍යවරුන් 31 දෙනාගෙන් 02 නෙකු හා අනෙකුත් වෛද්‍යවරුන් 86 දෙනා අතුරින් හය දෙනකු හට සෞඛ්‍ය ලේකම්ගේ අත්තනෝමතික තීරණයක් මත තිස්සමහාරාම රෝහලට මාරු කර තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!